• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ඡන්දෙට හපුහින්න ගහපු ලියුමේ කවුරුත් නොදත් ඇතුළත කතාව! (රාජ්‍ය රහස්) EXCLUSIVE

January 14, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 17 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ඇත්තටම කැබිනට් එකෙන් එහෙම තීන්දුවක් ගත්තාද?

කොමිසම බලය පෙන්වන්න පටන් ගනී!

ඡන්දෙ එපා වෙලා තියෙන්නේ පොහොට්ටුවට!

මහින්ද දේශප්‍රියත් වෙනස් වෙයි!

කොළඹ එජාප කණු ගැලවෙයි! පෝලිමේ සජිත් ළගට!

දිස්ත්‍රික් ලේකම්වරු ගැන වජිර කරපු රහස් හෙළිදරව්ව!

‘සියලු දෙනා හිතන්න ඕනෙ බංකොලොත් රටකයි ඡන්දය තියන්නේ. ජනාධිපතිතුමා තාම ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳලා නෑ. දිසාපතිලා 25 දෙනාට ජනාධිපතිතුමා භාරදීපු විශේෂ වැඩසටහන් ගණනාවක් තියෙනවා. දිසාපතිලා ඒ වැඩ සියල්ල අතහැරලා තමයි මේක කරන්නේ. අතහැරියොත් මහජනතාවගෙන් ආපහු ගුටිකන්න වෙනවා දේශපාලනඥයන්ට. මෙතැන දිසාපතිලා ඔක්කොම වැඩ කරන් යන්නේ අසීරුතා මැද්දේ. ඒ අයට ෆොටෝකොපියක් ගහගන්න කොල නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 378 ගණනත් එහෙමයි. මේ පසුබිමේ ඡන්දයක් තියනවා කියලා කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ආපහු ගමේ ඉන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී කොටස් ගෙයින් ගෙට කැන්වසින් යන්න පටන්ගනී. ඒක ආරම්භ වුණාම ඔය කාටවත් ගමේ ප්‍රජාතන්ත්‍රවාදය කරන්න හම්බවෙන්නේ නෑ. ඒක පාලනය වෙලා නෑ හරියට. ඒ තතත්වය උඩ ජනාධිපතිතුමා ඡන්දෙට සම්බන්ධ නොවෙන එක හරි. ජනාධිපතිතුමා බාරගෙන තියෙන්නේ වෙනත් වගකීමක්. ඒ වගකීම එතුමා ඉටුකරන්න තියෙනවා. අපි පක්ෂයක් හැටියට මොකක්ද කරන්නෙ කියලා හිතන්න ඕනෙ….’

රෝසි කණ්ඩායමක් එක්ක රනිල් හම්බවෙන්න ඇවිත්!

මේ, පසුගිය 07 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අතිශය රහසිගත සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ විශේෂ කරුණකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එජාප ප්‍රබලයන් වන වජිර අබේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, රංගේ බණ්ඩාර සහ කොළඹ නගර සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියද සහභාගි වී සිටියහ. මීට අමතරව කොළඹ නගර සභාව නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද ඊට එක්ව සිටියහ. මෙහිදී සමස්ත සාකච්ඡාව යොමුව තිබුණේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන්ය. වජිර අබේවර්ධන විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් මුල් කරගෙන පළමු වරට ප්‍රකාශයක් සිදුකරන ලද්දේද මෙම සාකච්ඡාවේදීය. මෙහිදී ජනාධිපතිවරයාද ආණ්ඩුවට මුදල් නොමැති බව පවසමින් මැතිවරණය කල්දැමීම පිළිබඳ අනියමින් අදහස් ඉදිරිපත් කරනු දැකගත හැකි විය. රෝසි මෙන්ම නාගරික මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයාට කියා සිටියේ කෙසේ හෝ මෙම මැතිවරණය කල්දමා දෙන ලෙසත්, ඉන් අනතුරුව පක්ෂය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කාලය ගත හැකි බවත්ය.

හපුහින්නත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට එන්න කියයි!

රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පසුගිය අඟහරුවාදා දිනයේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අමාත්‍යාංශයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ මෙවන් පසුබිමකය. ඒ, ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක වූ තැනය. ඇත්තටම ඡන්දය කල් දැමීමට මෙපමණ කාලයක් ගැසූ තුරුම්පු බාල්දු වී ගියද ආණ්ඩුවට එතරම් ලැජ්ජාවකට මුහුණ පාන්න සිදු නොවුණත් අඟහරුවාදා වූ මෙම සිදුවීමෙන් ආණ්ඩුවේ සායම සම්පූර්ණයෙන්ම සේදී ගොස් රටත් ලෝකයත් ඉදිරියේ නිරුවත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී පළාත් පාලන මැතිවරණයේ සූදානම පිළිබඳ කෙටි සාකච්ඡාවකින් පසු සියල්ලන්ම පුදුමයට පත්කරමින් හපුහින්න ඒ පැමිණි සියලු දෙනාටම ලිපියක් යොමු කිරීමට පියවර ගත්තේය. එම ලිපියේ සඳහන්ව තිබුණේ මෙවැනි කරුණකි.

බෙදපු ලියුම මෙන්න!

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත,
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023
අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ 23 misc
001* හා 2023.01.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා බැඳේ.

02) 2023.01.09 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙනතුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා වන අපේක්ෂක ඇප තැන්පතු මුදල් භාරගැනීමෙන් වළකින ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කරන ලෙස මා වෙත දන්වා ඇත.

ඒ අනුව කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

නීල් බණ්ඩාර හපුහින්න,
ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය.

ලියුම වැරදියි! ආපු අය හපුහින්නට තේරුම් කර දෙයි!

ඒ අනුව හපුහින්න විසින් මෙම කරුණ සඳහන් ලිපිය බෙදා දී මොහොතක් යෑමට මත්තෙන් රැස්වීමට පැමිණ සිටි දිස්ත්‍රික් ලේකම්වරුන් බොහෝ දෙනෙක් මෙම ලිපියෙහි අඩංගු කරුණු පිළිබඳ ප්‍රශ්න කරන ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඔවුන් හපුහින්නට පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණයකදී අපේක්ෂිත ඇප තැන්පතු තමන් විසින් භාරනොගන්නා බැවින් මෙම ලිපියේ කිසිදු වලංගුභාවයක් නොමැති බවකි. තමන් අපේක්ෂක ඇප මුදල් භාරගන්නේ මහමැතිවරණයකදී පමණක් බවත්, පළාත් පාලන මැතිවරණයකදී තේරීම් භාර නිලධාරීන් විසින් බවත් එහිදී දිස්ත්‍රික් ලේකම්වරු හපුහින්නට පෙන්වා දීමට පියවර ගත්හ. එමෙන්ම කලක් ගාල්ල ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කොට මනා පලපුරුද්දක් ඇති හපුහින්න වැනි අයකු විසින් මෙවැනි ලිපියක් ලබාදීම පිළිබඳ ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිය අසතුට පළකරන ආකාරයද මෙහිදී දැකගත හැකි විය. එමෙන්ම මේ ලිපිය හරහා රටේ ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය වන ආකාරයද පැමිණ සිටි දිස්ත්‍රික් ලේකම්වරු හපුහින්නට පෙන්වා දීමට පියවර ගත්හ.

ගේම ආපහු කැරකෙයි! ලියුම ආපහු හරවයි!

ඒත් සමගම පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට ගැසූ තවත් තුරුම්පුවක් එසැණින්ම අසාර්ථක වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව වැඩේ වැරැදී ගිය බව වටහා ගත් හපුහින්න කිසිවක් සිදු නොවුණා සේ වහාම කියා සිටියේ මෙවැනි ලිපියක් නොලැබුණා සේ සලකා ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යන ලෙසටය.

ලියුම ලීක් වෙයි! මුලින්ම සජිත්ගේ අතට එයි!

ඒ අනුව මෙම සාකච්ඡාව අවසන් කෙරුණු අතර හපුහින්න සිතා සිටියේ ලිපිය නොලැබුණා සේ සලකා කටයුතු කරන්න යැයි කියා රැස්වීම අවසන් කිරීමෙන් පසු සිද්ධියද එතැනින් අවසන් වනු ඇතැයි කියාය. නමුත් එම ලිපිය මහා දේශපාලන පිපිරුමක් බවට පෙරළී තවත් සිද්ධි දාමයක ආරම්භයක් බවට එම ලිපිය පත්වීමට ගතවූයේ නිමේෂයකි. එක්තරා තැනකින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු දුරකතන ඇමතුමකින් කියැවුණේ පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්ෂිත ඇප තැන්පතු භාරගැනීම අත්හිටුවන ලෙසට සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇති බවත්, ඒ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න මහතා විසින් මීට සුළු මොහොතකට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදී ඒ බව ලිඛිතව දැනුම් දී ඇති බවත්ය. එමෙන්ම ඊට අදාළ හපුහින්නගේ ලිපියද ඒ මොහොතේම සජිත්ට ලබාදීමට පියවර ගැනිණි.

සජිත් වහාම නීතීඥවරු කැදවයි! උසාවි යන්න තීන්දු කරයි!

මෙම තොරතුර ලද වහා සජිත් කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනකු වහාම කැඳවා මෙම ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. එහිදී නීති ක්ෂේත්‍රයේ සියලු දෙනා නීති තර්ක පෙන්වමින් අවධාරණය කොට සිටියේ මෙම ලිපිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, මෙවැනි ආකාරයේ ලිපියක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්ය. එපමණක් නොව මැතිවරණය කැඳවා ඇති අවස්ථාවක මෙවැනි තීන්දුවක් ගැනිමට කැබිනට් මණ්ඩලයට හෝ නොහැකි බවටද එහිදී නීතිඥවරුන් විසින් සජිත්ට පෙන්වා දෙනු ලැබිණි. ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සජිත්ට කියා සිටියේ වහාම මේ පිළිබඳ රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලෙසය. මෙම අනීතික ලිපිය පිළිබඳ පළමු වරට රටට දැනුම් දෙමින් අඟහරුවාදා සවස් වරුවේ විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා මීට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර සිටියේ ඒ අනුවය.

හතර වටෙන්ම පහර පිට පහර!

මේ ආකාරයට සජිත් ඡන්දය කල් දමාගැනීමේ මෙම ලිපිය පිළිබඳ පළමු වරට රටට හෙළිදරව් කිරීමත් සමග විවිධ පාර්ශ්වවලින්ද එම ලිපියට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල වන ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම විපක්ෂය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය, ශ්‍රීලනිපය, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව සිවිල් සංවිධාන වන මාර්තු 12 ව්‍යාපාරය, අරගලය වෙනුවෙන් නීතිඥයෝ වැනි සංවිධානද ඊට එරෙහිව නිවේදන සහ ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගත්හ.

ඇමැතිවරුන්ට කතා කළාම දුන්නා කියන උත්තරේ!

ඒ සමගම හපුහින්න ඇති කළ මේ දේශපාලන ගින්න ඒ වන විට දේශපාලන ක්ෂේත්‍රය පුරාද පැතිර යන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව රාජ්‍ය ඇමැතිවරුන් බොහොමයක් තම තමන්ට හිතවත් කැබිනට් ඇමැතිවරුන්ට කතාකොට මෙම ලිපියේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ තොරතුරු විමසීමට පටන් ගත්හ. එසේ කතා කළ සියලු දෙනාටම කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුම සඳහන් කොට තිබුණේ තමන් එවැනි කැබිනට් පත්‍රිකාවක් නොදුටු බවත්, අවම වශයෙන් එවැනි සාකච්ඡාවක් හෝ කැබිනට් මණ්ඩලයේදී සිදු නොවුණු බවත්ය. එම නිසා තමන් මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවද එහිදී කැබිනට් ඇමැතිවරුන් තමන්ට කතා කළ සියලු දෙනාටම පිළිතුරු ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම කැබිනට් ලේකම්වරයා එවැනි ලිපියක් හපුහින්න වෙත යොමුකොට ඇති බවක් තමන් නොදන්නා බවද ඔවුහු සඳහන් කර සිටියහ.

ඇත්තටම පත්‍රිකාවක් කැබිනට් එකට ආවාද?

මෙසේ ඇමැතිවරුන් ලබාදී තිබූ පිළිතුරත් සමග තවත් ප්‍රශ්න ගණනාවක් මතුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් පළමු ප්‍රශ්නය වූයේ ඇත්තටම අපේක්ෂකයන්ගේ ඇප තැන්පත් මුදල් භාර නොගන්නා ලෙසට කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූවාද, එසේ නම් එය ඉදිරිපත් කළ ඇමැතිවරයා කවුද, එසේත් නොමැති නම් ජනාධිපතිවරයා ඒ ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාද යන්නය. දෙවැනි ප්‍රශ්නය වනුයේ එසේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවුණේ නම් එවැන්නක් සම්මත වූ බවට කැබිනට් ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙන්නේ කුමන පදනමක් යටතේද යන්නය. ඇත්තටම කැබිනට් ලේකම්වරයා එසේ කළාද, එසේත් නැතිනම් කැබිනට් ලේකම්වරයාට එසේ කරන ලෙස කිසිවකු විසින් උපදෙස් ලබාදුන්නේද යන්න ඊළඟ ප්‍රශ්නයය.

හපුහින්නට හරි වැරැද්ද තේරුණේ නැත්තේ ඇයි!

කෙසේ වෙතත් තමන් යොමු කළ ලිපිය පාරාවළල්ලක් වී රට ගිනිගෙන ඇති බව මොහොතක් යාමට මත්තෙන් හපුහින්නටද දැනගන්නට ලැබිණ. ඒ සමගම මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ හපුහින්න කියා සිටියේ අදාළ ලිපිය යළි කැඳවීමට පියවර ගත්තා යැයි කියාය. නමුත් ප්‍රශ්නය එම නීති විරෝධී ලිපිය ආපසු කැඳවීම හෝ අකුළා ගැනීම නොවේ. ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය, ආයතන සංග්‍රහය පිළිබඳ මනා පරිචයක් මෙන්ම අත්දැකීම් සම්භාරයක් ඇති හපුහින්න වැන්නකු අතින් මෙවැනි නීති විරෝධී කටයුත්තක් සිදුවූයේ කෙසේද යන්නය. ඒ සම්බන්ධයෙන් විමසීම් කළ හිතවතුන් බොහොමයකටම හපුහින්න කියා තිබුණේ තමන්ට කැබිනට් ලේකම්වරයා විසින් එවන ලද ලිපියකට අනුව කටයුතු කළ බවය. නමුත් කැබිනට් ලේකම්වරයා එවැනි ලිපියක් එවුවාද යන්න සම්බන්ධයෙන්ද මේ වන විට ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. එමෙන්ම හරි වැරැද්ද කුමක්ද යන්න තේරුම් ගෙන ඍජුව කටයුතු කිරීමේ හැකියාවද හපුහින්නට තිබිය යුතු බව බොහෝ දෙනාගේ අදහසය. නමුත් මෙහිදී ඒ කිසිවක් සිදු නොවී තිබීම දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම විය.

හපුහින්නට කොමිසම උත්තර දෙයි!

කෙසේ වෙතත් හපුහින්නගේ මෙම ලිපිය කරළියට පැමිණ පැයක් ගතවීමට මත්තෙන් මැතිවරණ කොමිසමෙන් ඊට පිළිතුරු ලිපියක් නිකුත් විය. ඒ, කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අස්සනින් යුතුවය. එම ලිපිය මගින් රත්නායක මහතා සියලු තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දී තිබුණේ මැතිවරණයේ ඇප තැන්පත් කිරීමට පැමිණෙන දේශපාලන පක්ෂවලින් එම ඇප මුදල් ලබාගැනීමට පියවර ගතයුතු යැයි කියාය. ඒ අනුව හපුහින්නගේ ලිපිය සත පහකට වැඩක් නැති තත්ත්වයකට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. රත්නායක මහතා යැවූ එම ලිපිය මෙසේය.

තේරීම් බාර නිලධාරීන්ට යවපු ‌ලියුම මෙන්න!

සියලුම තේරීම්භාර නිලධාරීන් වෙත
පළාත් සභා ආයතන ඡන්ද විමසීම 2023
ඇප තැන්පත් ලබාගැනීම

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥාපනත් 4(1) වැනි වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රාකාරව අංක 2311/26 හා 2022-12-26 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් එක් එක් දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී ලෙස ඔබව පත්කර ඇති බැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඔබ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප තැන්පත් කරන්නේ නම් එම ඇප තැන්පතු නියමිත පරිදි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම ඔබගේ වගකීම බව මෙයින් අවධාරණය කරමි.

(02) තවද ඔබ වෙත නිකුත් කරන ලද අංක ඛ්ෑ /2023/02 හා 2023-01-02 දිනැති ලිපියෙන් දැනුම් දී ඇති පරිදි පළාත් පාලන අයතන ඡන්ද විමසීම ආඥාපනත (262 අධිකාරිය) 26වැනි වගන්තිය ප්‍රාකාර වූ දැන්වීම 2023-01-04 දිනැතිව නිකුත් කර ඇති බැවින් එකී පනතේ 05 වැනි වගන්තිය අනුව 2023-01-18 දින සිට 2023-01-21 දින මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම ඔබගේ වගකීමක් වේ.

සමන් ශ්‍රී රත්නායක
මැතිවරණ කොමසාරිස් ජෙනරාල්

ඊළග නාට්ටිය සල්ලි! නලුවො බන්දුල-අනූප-මනූෂ!

හපුහින්න ලවා මෙසේ මැතිවරණය කල්දමා ගැනීමට ගැසූ ගේම ආපසු කැරකෙද්දී ආණ්ඩුව පැත්තෙන් මැතිවරණය කල්දැමීමට තවත් ලස්සන නාට්‍යයක් රඟදැක්වෙමින් පැවැතිණි. එහි පිටපත සම්පූර්ණයෙන්ම සකස් වී තිබුණේ ‘ඡන්ද තියන්න ආණ්ඩුවට සල්ලි නෑ’ යන මාතෘකාව ඔස්සේය. ඒ අනුව පළමු වටයේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ලවා මැතිවරණයට මුදල් නොමැති බව ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ සැලසුම විය. එය ආරම්භ වූයේ පසුගිය අඟහරුවාදා පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් නොමැති බවත්, ඊට මුදල් වෙන් කළහොත් සමෘද්ධිය, විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවීමට නොහැකි වනු ඇති බවත්ය. එමෙන්ම ඉන්ධන සහ ගෑස් නැව් ගෙන්වාගත නොහැකිව නැවතත් ඉන්ධන සහ ගෑස් පෝලිම්වල සිටීමට ජනතාවට සිදුවනු ඇති බවද බන්දුල ගුණවර්ධන කියා සිටියේය. බන්දුලගෙන් පසු අමාත්‍ය මනුෂ නානායක්කාරද, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්ද ඡන්ද තැබීමට ආණ්ඩුවට මුදල් නොමැති බව පවසමින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ ආකාරයක් දැකගත හැකි විය.

බන්දුලට ඇතුළෙන්ම ප්‍රහාරයක්! ‌

අඟහරුවාදා බන්දුල මෙම ප්‍රකාශය කරද්දී එදිනම විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමේ දිනය යෙදී තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප ලබාගැනීමට බැංකු වෙත ගොස් සිටියද භාණ්ඩාගාරයෙන් ඊට අදාළ මුදල් එවා නොමැති බව පවසා බැංකුවලින් ඔවුන් ආපසු හරවා එවන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී මෙම විශ්‍රාමිකයන් කෙතරම් අසරණ වූවාද කියනවා නම් දැඩිව ආණ්ඩුව විවේචනය කරන ආකාරයක් මෙන්ම ආණ්ඩුවට සාප කරන ආකාරයක්ද දැකගත හැකි විය. එය එක්තරා ආකාරයකට ආණ්ඩුව කෙරෙහි දැඩි කෝපයක් පළ කරන සිදුවීමක් විය. එම ප්‍රකාශයන් එදින සවස මාධ්‍ය ඔස්සේ රටට පෙන්වද්දී එන පොට හොඳ නැති බව ආණ්ඩුවටද දැනෙන්නට විය. ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වූ ෂෙහාන් සේමසිංහ මහතා අඟහරුවාදා රාත්‍රියේම බන්දුල කී කතාව ප්‍රතික්ෂේප කරමින් සමෘද්ධි, විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත්, ආණ්ඩුව එම මුදල් නියමිත වේලාවට ගෙවීමට පියවර ගනිමින් සිටින බවත් කියා සිටියේය. එතැනින්ද නොනැවතී බදාදා පෙරවරුවේම අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමෘද්ධි දීමනා, රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් නියමිත පරිදි ගෙවීමට ආණ්ඩුව කටයුතු කරනවා යැයි කියාය.

ආණ්ඩු වෙනසක්! නිලධාරීන්ට දඩුවම්!

මේ ආකාරයට මුදල් නොමැති බව පවසමින් ආණ්ඩුව ඡන්ද කල්දැමීමට සැරසෙන බව අප මෙම තීරය ඔස්සේ වාර්තා කළේ මීට මාසයකට පමණ ප්‍රථමයෙන්ය. අප කී පරිදිම ආණ්ඩුව මෙම තුරුම්පුවද එළියට ගැනීමත් සමග විපක්ෂයද ඊට සූදානම්ව ප්‍රතිප්‍රහාර එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ, පසුගිය බදාදා (11) දිනයේ සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක මෙන්ම මාධ්‍ය ප්‍රකාශක වූ එස්.එම්. මරික්කාර් මහතා පැවැත් මාධ්‍ය හමුවකදීය. එහිදී මරික්කාර් ඍජුවම කියා සිටියේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව යමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ඉදිරි ආණ්ඩුවකදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්, එම නිසා ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව, ව්‍යවස්ථා විරෝධීව සහ නීති විරෝධිව කටයුතු කරන නිලධාරීන්ට ඉදිරි ආණ්ඩුවකදී ජම්පර් ඇඳීමට සිදුවනු ඇති බවත්ය. එමෙන්ම ආණ්ඩුව තෙල් නැව්, ගෑස් නැව් ප්‍රමාද වන බව කියමින් ජනතාව අතර මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් බොරු බියක් මවාපෑමට කටයුතු කරමින් සිටින බවද මරික්කාර් පෙන්වා දුන්නේය.

පත්තර අල්ලගෙන කොමිසම ඇතුළේ නැති බෙදීමක් හදයි!

මේ ආකාරයට මුදල් නොමැති බවට ගැසූ තුරුම්පුවද බාල්දු වෙද්දී ආණ්ඩුව තවත් මෙහෙයුමක් හීන් සීරුවේ තිරය පිටුපස දියත් කරමින් සිටියේය. ඒ, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තුළ බරපතළ බෙදීමක් ඇති බවට තමන්ට හිතවත් මාධ්‍ය කිහිපයක් අල්ලාගෙන දිනපතාම පාහේ පුවත් පළකිරීම මගිනි. පසුගිය සතියේ ආණ්ඩුව මෙම මෙහෙයුම දියත් කරද්දීම ‘මව්රට’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදුන් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අවධාරණය කර සිටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු බෙදීමක් කොමිසම තුළ නැතැයි කියාය. මේ ආකාරයේ බොරු පුවත් එක් තැනකින් මාධ්‍ය වෙත නිකුත් කරන ඒවා බව පෙන්වා දුන් පුංචිහේවා මහතා, සැලසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද කියා සිටියේය.

කොමිසම එළියට ඇවිත් උත්තර දෙයි!

කෙසේ වෙතත් පුංචිහේවා මහතා එසේ කියද්දීද ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුනුත් කොමිසම තුළ බෙදීමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළ ආකාරයක් දැකගත හැකි විය. ඒවා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ලවා ප්‍රචාරය කළ ආකාරයක්ද දැකගන්නට හැකි විය. නමුත් ඊටද කොමිසම පසුගිය බදාදා සැර පිළිතුරක් ලබාදීමට කටයුතු කළේය. ඒ, කොමිසම නියෝජනය කරන සෙසු සාමාජිකයන් සිව්දෙනාම සභාපති නිමල් පුංචිහේවා මහතා පෙරටුකොට ගෙන මාධ්‍ය හමුවකට පැමිණ කොමිසම තුළ බෙදීමක් නොමැති බව රට හමුවේ පෙන්වීම හරහාය. ඒ අනුව කොමිසම තුළ බෙදීමක් ඇති බව සඳහන් කරමින් ඡන්දය කල්දැමීමට ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළද සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබිණි. එමෙන්ම කොමිසම තවත් විශේෂ පියවරක් ඉදිරියට තබමින් සිකුරාදා දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේ සැලසුම් කළ පරිදිම මැතිවරණය පැවැත්වීමට කොමිසම කටයුතු කරනු ඇතැයි කියාය.

මහින්ද දේශප්‍රියත් හරි පාරට එයි!

මේ අතර හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වූ මහින්ද දේශප්‍රිය මහතා පිළිබඳවද මෙහිදී යම් සඳහනක් කළ යුතුය. මහින්ද දේශප්‍රිය පසුගිය කාලයේදී දැන හෝ නොදැන ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ ව්‍යාපෘතියේ එක් පරිච්ඡේදයක් නියෝජනය කළේය. ඒ, සීමා නිර්ණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ආණ්ඩුව ලබාදුන් තනතුරක් භාරගනිමිනි. අප ඒ අවස්ථාවේදී කියා සිටියේ ආණ්ඩුව මෙම සීමා නිර්ණය කමිටුව හරහා මැතිවරණය කල් දමාගැනීමට සැලසුම් කර ඇති බවත්, ඊට මහින්ද දේශප්‍රියද සම්බන්ධ වී ඇති බවත්ය. අප කළ මෙම අනාවරණයෙන් පසු ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මහින්ද දේශප්‍රිය කියා සිටියේ සීමා නිර්ණ කොමිසම හරහා ඡන්ද කල්දැමීම කළ නොහැකි බවත්, මැතිවරණය පැවැත්වීමේ අයිතිය කොමිසම සතුව ඇති බවත්ය. එසේ කී මහින්ද දේශප්‍රිය පසුගිය සතියේ තවත් විශේෂ ප්‍රකාශ දෙකක්ද සිදුකිරීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ හපුහින්න මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවනු ලැබූ ලිපිය වැඩකට නැති නිකන්ම නිකන් කඩදහියක් යැයි ප්‍රකාශ කිරීමය. දෙවැනි ප්‍රකාශය වූයේ මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති නම් රටේ ජනතාව ලුණුයි බතුයි කා හෝ මැතිවරණ පැවැත්වීමට මුදල් සපයා දීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව මහින්ද දේශප්‍රියද මැතිවරණයක් වෙනුවෙන් මේ වන විට පෙනීසිටින ආකාරයක් දැකගත හැකි විය.

ඇප තැන්පත් කරලා බැසිල් ගහන්න යන්නේ එදා විමල්ලට ගහපු ගේමමයි!

මීට අමතරව මේ වන විට බොහෝ දෙනෙක් කතාබහ කරන කාරණාවක් වී ඇත්තේ මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහා පොහොට්ටුව ලහිලහියේම දිස්ත්‍රික් මට්ටමින් ඇප තැන්පත් කිරීමට කටයුතු කළේ කුමන හේතුවක් මතදැයි කියාය. බොහෝ දෙනකු මෙය ප්‍රචාරක උපක්‍රමයක් ලෙස කරන දෙයක් බව සිතා සිටියද මෙසේ දිස්ත්‍රික් මට්ටමින් වහාම ඇප තැන්පත් කිරීම පසුපස කිසිවෙක් නොදන්නා කාරණාවක්ද තිබේ. ඒ, බැසිල් උපක්‍රමයක් ලෙස මෙසේ ඇප තැන්පත් කිරීම මීට පෙර අත්හදා බලා තිබීම නිසාය. 2019 ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පොහොට්ටුව යටතේ සන්ධානගතව සිටි විමල් ඇතුළු පාර්ශ්ව කිහිපයක් 2019 මහ මැතිවරණය අලුත් සන්ධානයකින් තරග වැදිය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කර තිබිණි. විමල්ලා එය ගෝඨාට ඉදිරිපත් කර, ගෝඨාගේ අනුමැතියද ඊට ලබාගැනීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව විමල්ලා ගේ අදහස ගෝඨා හරහා පොහොට්ටුවට පැමිණීමට නියමිතව ඇති බව දැන සිටි බැසිල් වහාම කළේ මැතිවරණය කැඳවීමත් සමග පොහොට්ටුව යටතේ සියලු දිස්ත්‍රික්කවලට ලහි ලහියේ ඇප තැන්පත් කිරීමය. ඒ අනුව විමල්ලා 2019දී ගහන්නට ගිය ගේම විමල්ලාගේම අතේ පත්තු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම ප්‍රයෝගයෙන් සියල්ලන්ටම තරග කිරීමට සිදුවූයේ බැසිල්ගේ පොහොට්ටුව යටතේය.

අද පොහොට්ටුවට ඉල්ලුමක් නෑ!

නමුත් එදා පොහොට්ටුවට ජනතාවගෙන් විශාල ඉල්ලීමක් තිබුණද මෙදා පොහොට්ටුවට එවැනි විශාල ඉල්ලුමක් ඇති බවක් දැකගන්නට නැත. පොහොට්ටුව මෙවර තරග වැදීමට සූදානම් වන්නේ කෙසේ හෝ තම පක්ෂයේ ජාම බේරාගැනීමේ අරමුණෙන් යුතුවය. අනෙක් අතට මේ වන විට අපේක්ෂකයන් රැසක් පොහොට්ටුවෙන් ඡන්දය නොඉල්ලන ස්ථාවරයක සිටින ආකාරයක්ද දැකගන්නට තිබේ. අපේක්ෂක ලැයිස්තුව සකස් කරද්දී පොහොට්ටුවේ ප්‍රධානීන්ට මේ බව පැහැදිලිවම දැකගන්නට ලැබී තිබිණි. බැසිල් මෙවරත් වහාම ගොස් ඇප තැන්පත් කරනු ලැබුවේ එම ගැටලුවෙන් අත්මිදීමේ උපක්‍රමයක් ලෙසටය.

ඡන්දෙ එපා කියන්නේ පොහොට්ටුව! නම් ගම් එක්ක ඔක්කොම එළියට එනවා!

එමෙන්ම මේ වන විට දිනපතාම පාහේ ඇප තැන්පත් කරමින් පොහොට්ටුව පළාත් පාලන මැතිවරණයට දැඩි උනන්දුවක් දක්වන බව රටට පෙන්වන්නට කටයුතු කළත්, ඇත්ත වශයෙන්ම මැතිවරණය කල්දමා ගැනීමේ දැඩි උනන්දුවක් තිබුණේ වෙන කාටවත් නොව පොහොට්ටුවටය. එම නිසා පොහොට්ටුව මැතිවරණය කෙසේ හෝ කල්දමා ගැනීමට තිරය පිටුපස විශාල මෙහෙයුමක්ද දියත් කරමින් සිටියේය. ඉදිරියේදී අප ඡන්දය කල්දමා ගැනීමට පොහොට්ටුව දියත් කළ මෙහෙයුම් මොනවාද, ඒවා පසුපස සිටින පුද්ගලයන් කවුරුන්ද, ඒවා මෙහෙයවූයේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට සූදානම්ය. එපමණක් නොව ඇතැම් අවස්ථාවලදී පොහොට්ටුවේ යම් යම් ප්‍රධානීන් ඍජුවම නීති අංශවල සිටින පුද්ගලයන්ට කතා කොට මැතිවරණය කල්දමා ගැනීම පිළිබඳ නීති උපදෙස් ගැනීමට පැවැත්වූ සාකච්ඡා පිළිබඳවද අප වෙත තොරතුරු වාර්තා වී තිබේ. ඒ සියල්ල අප ඉදිරියේදී මේ තීරය ඔස්සේ අනාවරණ කිරීමට සූදානම්ය.

අලියයි පොහොට්ටුවයි එකතු වුණා!

මේ අතර පසුගිය සතියේ තවත් වැදගත් සිදුවීමක් වූයේ එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව දේශපාලන වශයෙන් එකතු වී මෙවර මැතිවරණයට තරග වැදීමට තීන්දු කිරීමය. මීට සතියකට ඉහතදී ජනාධිපතිවරයා තමන් මෙවර මැතිවරණයේදී කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි නොවී ස්වාධීනව සිටින බව පැවැසුවත්, ඊට අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදීම බොහෝ දෙනකුට ප්‍රශ්නයක් මතු කළ කාරණයක් විය. පසුගිය අඟහරුවාදා පැවැති එම සාකච්ඡාවට එජාපය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර, අකිල සහ සාගල සම්බන්ධ වී සිටි අතර, පොහොට්ටුව නියෝජනය කරමින් සහභාගි වී සිටියේ මහින්දානන්ද, රෝහිත සහ සංජීව එදිරිමාන්නය. ඒ අනුව මෙම සාකච්ඡාවලදී ප්‍රධාන කරුණු තුනක් යටතේ දෙපාර්ශ්වය එක්වීමට එකඟතාව ලැබී තිබිණි. ඉන් පළමු යෝජනාව වී තිබුණේ එජාපයට වාසිසහගත පළාත් පාලන ආයතන සඳහා දෙපර්ශ්වයම එජාප ලකුණ යටතේ තරගවැදීමය. දෙවැනි යෝජනාව වී තිබුණේ පොහොට්ටුවට වාසිසහගත පළාත් පාලන ආයතන සඳහා පක්ෂ දෙකම පොහොට්ටුව යටතේ තරගවැදීමය. තුන්වැනි යෝජනාව වී තිබුණේ අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා වෙන් වෙන්ව තරගවැදී සභාව පිහිටුවීමේදී දෙපාර්ශ්වය එක්ව කටයුතු කිරීමය.

සිරිකොතින් රංගේට ප්‍රහාරයක්!

මෙම යෝජනා තුනට එළැඹීමෙන් අනතුරුව අඟහරුවාදා පෙරවරුවේ රංගේ බණ්ඩාර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවතට පැමිණ මේ බව මාධ්‍යයට ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබුණත් පැය කිහිපයක් යෑමට මත්තෙන් එජාප පක්ෂ මූලස්ථානය වූ සිරිකොතින් ඊට හාත්පසින්ම වෙනස් මාධ්‍ය නිවේදනයක් නිකුත් වීම හරහා යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණු බවක් දැකගන්නට ලැබිණි. එහිදී සිරිකොතෙන් නිකුත් කෙරුණු නිවේදනයෙන් කියැවුණේ එජාපය සහ පොහොට්ටුව අතර සාකච්ඡා දිගටම පැවැත්වෙන බවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් තවමත් ගෙන නොමැති බවත්ය. මීට අමතරව ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වූ රුවන් විජේවර්ධන සිය පවුලේ මාධ්‍ය හරහා නිවේදනය කර තිබුණේ එජාපයත්, පොහොට්ටුවත් එකතු වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවකි. ඒ අනුව පොහොට්ටුව සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් එජාපය ඇතුළේ තවමත් මත දෙකක් පවතින ආකාරයක් ඒ හරහා දැකගන්නට ලැබිණි.

කොළඹ එජාප බළකොටුව පුපුරයි! පෝලිමේ සජිත් ළගට!

කෙසේ වෙතත් එම අර්බුදය පුපුරා ගියේ එජාපය සහ පොහොට්ටුව එක්වන බවට නිවේදන නිකුත් කොට මොහොතක් යෑමට මත්තෙන් එජාප පළාත් පාලන නියෝජිතයන් රැසක් සමගි ජන බලවේගය සමග එක්වීමට පියවර ගැනීමත් සමගය. මෙහිදී කඩුවෙල, මහරගම, අත්තනගල්ල යන පළාත් පාලන ආයතන නියෝජනය කළ එජාප සභිකයන් රැසක් සජබයට එක්වීමට පියවර ගෙන තිබිණ. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එජප බළකොටුව වූ කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36ක් එකවර පැමිණ සජිත් සමග එකතු වීමය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

දෙපැත්තටම දීලා ඇතිවෙලා! ඉතිහාසයේ පළමු වතාවට වන්නිල ඇත්තන්ගේ නායකත්වයෙන් වැදි රැහේ අයත් ඡන්දෙට!

Next Post

කොමිසම ඡන්දෙට තවත් ළං වෙයි! දේශපාලන පක්ෂවලට විශේෂ දැනුම්දීමක් කරයි! දිනය 15!

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.