‘මේක ඇත්තටම හරිම පුදුමාකාර තීන්දුවක්. එල්ලා මරාදැමීමට දහස් ගණනක් වරදකරුවන් සිටිද්දී ජනාධිපති සමාව ලබාදීමට රෝයල් පාර්ක් ඝාතනයේ චූදිතයා පමණක්ම තෝරාගැනීම හරිම පුදුමසහගත දෙයක්. මෙම තේරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව සිදුකළ තේරීමක් නොවේ. මෙය විශේෂ සමාවදීමක්. රෝයල් පාර්ක් මිනීමැරුම චේතනාන්විතව සිදුකළ මිනීමැරුමක් නොවන බවට එදා මහාධිකරණය ලබාදුන් තීන්දුව පසුව වෙනස් කර, චූදිතයා චේතනාන්විත මරණයකට වරදකරු කරමින් අභියාචනාධිකරණයෙන් මරණ දඬුවම ලබාදුන්නා. චූදිතයාගේ අභියාචනයන් අධිකරණය මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කළා. කෙසේ හෝ පසුව ඔහුට මරණ දඬුවම හිමිවෙලා සිරගත වෙලා තවම වසර 10ක්වත් ගියේ නැහැ. එදා ඒ නඩුවේ නීතිඥවරයා වෙන කවුරුවත් නෙවෙයි. එවක අතිරේක සොලිසිටර් ජනරාල් වූ අද අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන ජයන්ත ජයසූරියයි. මීට වඩා අඩු වරදවලට චෝදනා ලැබ මරණ දඬුවම හිමිවුණු විශාල පිරිසක්ද සිරගෙවල්වල ඉන්නවා. ඒ වගේම අනුකම්පාසහගතව සැලකිය යුතු සිරකරුවන්ද විශාල පිරිසක් ඉන්නවා. ඒත් මේ වගේ මරණ දඬුවම හිමිවූ සිරකරුවකුට ජනාධිපති සමාව ලබාදීමෙන් සමාජයට ලබාදෙන්නේ මොන වගේ සාධාරණ අදහසක්ද? මෙය හරිම පුදුමාකාර තීන්දුවක්. එසේම මෙය නීතියෙහි ආධිපත්‍යය නොසලකා හැරීමක්. අනෙකුත් වැදගත් සිදුවීම්වලට නීතිඥ සංගමය මැදිහත් වන්නා සේම මෙම සිද්ධියටත් නීතිඥ සංගමය මැදිහත් විය යුතුයි. එය අත්‍යාවශ්‍ය මෙහෙවරක්…’
කුමක්ද මේ කතාන්දරය? මෙම ආන්දෝලනාත්මක අදහස් කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙයට හරියටම වසර 17කට පෙර මෙරට තුළ මහත් කැලඹීමක් ඇතිකළ ‘රෝයල් පාර්ක්’ මිනීමැරුම යැයි ප්‍රසිද්ධියට පත්වූ ඝාතනයේ සිදුවීම ආශ්‍රිතව ඉහත කතාන්දරය ගොඩනැගී ඇත. එනම් එකල 2005 වසරේදී ශ්‍රී ලංකාවේ සිටි ඉවෝන් ජොන්සන් නමැති 19 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණිය කොළඹ පිහිටි රෝයල් පාර්ක් සුපිරි මහල් නිවාස සංකීර්ණය තුළදී ඝාතනයට ලක්කිරීම එම අපරාධය විය. මෙම ඝාතනය සිදුකරනු ලැබුවේ එකල ඇගේ පෙම්වතා වූ ජූඩ් ශාමන්ත ජයමහ නමැති තරුණකු විසිනි. ඔහු ඉහත තරුණියගේ ගෙල සිරකරමින්, තියුණු ආයුධයකින් ඇන මහල් නිවාස සංකීර්ණයේ පඩිළෙක් අසලදී ඉතා අමානුෂික අයුරින් ඝාතනය කරන ලදී. ඉන් පසුව මෙම චූදිතයාට මරණ දඬුවම ලැබුණු අතර ඔහුට සිරගත වීමට සිදුවිය. කෙසේ හෝ මෙලෙස සිර දඬුවම් ගෙවමින් සිටියදී හදිසියේම 2019 වසරේ නොවැම්බර් 09 වැනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම චූදිතයාට ජනාධිපති සමාව ලබාදී සිරෙන් නිදහස් කෙරිණි. මෙය මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර එම නිදහස් කිරීම සිදුවූ දිනවලදී මෙම ලිපියේ ආරම්භයේදී දැක්වූ ප්‍රකාශය සිදුකළේ එවක ශ්‍රී ලංකා අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රකට නීති විශාරදයකු වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාය. ඔහු මෙම සිදුවීම ඉතා ප්‍රබල ලෙස විචාරයට ලක්කරමින් අදහස් ප්‍රකාශ කර සිටියේ ඒ ආකාරයටය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යනු අද අප සමාජයේ සිටින බොහෝ නිර්භයව අදහස් ප්‍රකාශ රන එමෙන්ම නිර්භයව කටයුතු කරන සුවිශේෂ චරිතයකි. ඔහු දැනට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිත්වය දරන අතර පසුගිය කාලයේ මෙරට සිදුවුණු නොයෙකුත් අර්බුදකාරී සිදුවීම් ගණනාවකටම මැදිහත් වූ පුද්ගලයෙකි. ඔහු එලෙස නිර්භයව තම අදහස් ප්‍රකාශ කරමින් කටයුතු කළේ පසුගිය 2022 වසරේ මැද භාගයේදී සිට සිදුවූ ජන අරගලයේදීය. මුලින්ම ආරම්භ කෙරුණු කොළඹ ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ ජන අරගලයේ සිටම මේ දක්වා සිදුවන විවිධ ජනතා ක්‍රියාකාරකම් සඳහා ඔහු මැදිහත්වී තිබීම විශේෂත්වයකි. එසේම තමන් නායකත්වය ගෙන කටයුතු කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත්වීමද අපට පසුගිය කාලවකවානුවේදී දක්නට හැකි විය. ජනතා අරගලයට සම්බන්ධ වූ විවිධ පිරිස් රාජ්‍ය අංශ විසින් මර්දනය කරන විටදී එලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත්වීම් බොහෝ අවස්ථාවලදී දක්නට හැකි විය. එහිදී නීතිඥ සාලිය පීරිස් පෙරටු කරගත් නීතිඥ සංගමය බොහෝ ක්‍රියාමාර්ගයන් රැසකට තම දායකත්වය ලබාදුන්නේය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා බොහෝ විට තම අදහස් සහ මතිමතාන්තර සමාජයට ඉදිරිපත් කළේ බොහෝ ස්වාධීන, නිර්පාක්ෂික සහ ජනතාවාදී ආකාරයෙනි. ඔහු නිරන්තරයෙන්ම රාජ්‍ය මර්දනයට එරෙහිව තම අදහස් නිර්භයව ප්‍රකාශ කර සිටියේය. එසේම එකල ජන අරගලයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව සහ රාජ්‍ය ආරක්ෂක අංශවල මර්දනයට එරෙහිව තම හඬ අවදි කිරීමට සාලිය පීරිස් මහතා පෙරමුණ ගෙන සිටියේය. ඔහුගේ මෙම කැපකිරීම සැබෑ ලෙසම බොහෝ නිර්ව්‍යාජව සිදුවූ ක්‍රියාවලියකි. එසේම එය දිග කතාන්දරයකි.
සාලිය පීරිස් යනු සැබෑ ලෙසම විප්ලවකරුවකු ලෙස හැඟෙන්නේ ඔහු ප්‍රකාශ කර ඇති අදහස් දෙස අවධානය යොමුකරන විටදීය. මේ අනුව ඔහු පසුගිය කාලයේදී ‘වැඩබිම’ නමැති සංවිධානය පවත්වනු ලැබූ සංවාදශීලී සම්මන්ත්‍රණයකදී අවධාරණය කළ කරුණු මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
‘පුරවැසියකුට හිමි භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැති වුවත් මේ වන විට විවිධ අණ පනත් රෙගුලාසි තුළින් එකී නිදහස බරපතළ ලෙස උල්ලංඝනය වෙමින් තිබේ. එහිදී විශේෂයෙන්ම සාමකාමීව රැස්වීමේ, උද්ඝෝෂණ පැවැත්වීමේ, විරෝධතා පෙළපාළි පැවැත්වීමේ නිදහස ඉතා නින්දිත ලෙස අමු අමුවේ උල්ලංඝනය වෙමින් තිබේ. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට යම් යම් සීමාවන් තිබිය හැකි වුවත් සිතීමේ නිදහස මෙන්ම වධ හිංසාවෙන් මිදීමට ඇති අයිතියටද කිසිදු සීමාවක් පැනවිය නොහැකිය. හදිසි නීති රෙගුලාසි ආදියෙන් ජනතා මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි වුවත් අහෝසි කිරීමට හැකියාවක් නැහැ. මේ තත්ත්වය අප හොඳින් අවබෝධ කරගත යුතුයි…’
මේ ආකාරයට ඔහු පසුගිය කාලය පුරාම ජනතාව වෙනුවෙන් සත්‍යය ඉදිරිපත් කරන්නටත්, කතා කරන්නටත් පෙරමුණ ගෙන කටයුතු කළේය. පසුගිය 2022 නොවැම්බර් මාසයේ ආරම්භයේදී ඔහු නීතිපතිවරයා ගැන අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේය. එහිදී ඔහු නීතිපතිවරයා යනු විශේෂ පරප්‍රසාද ඇති පුද්ගලයකු නොවන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට සහ සහකාර පොලිස් අධිකාරිවරයකුට නිකුත් කර ඇති සිතාසිය යළි කැඳවන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහු එම ප්‍රකාශය සිදුකර තිබුණේය. එසේ නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් නියෝගයක් ලබාගැනීම නරක පූර්වාදර්ශයක් බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. ඔක්තෝබර් 10 වැනිදා ගාලුමුවදොර අසල පැවැති සාමකාමී ජන උද්ඝෝෂණයක් සාවද්‍ය ලෙස වැළැක්වීමට කටයුතු කළ සාපරාධී චෝදනාවක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුට සිතාසි නිකුත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඔක්තෝබර් 21 වැනිදා තීරණය කර තිබුණේය. මේ ආකාරයට නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන සාලිය පීරිස් මහතා ප්‍රසිද්ධියේ තම විරෝධතාව ඉදිරිපත් කර තිබුණේය. කෙසේ හෝ ඔහු දැනට වසර දෙකකට පෙර සිට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නායකත්වය භාරගත්දා සිට ඔහු විසින් මෙහෙයවන ලද සමාජ සාධාරණීකරණ ක්‍රියාවලීන් රැසක් වෙයි. එම තොරතුරු තවත් කතා කරන්නට පෙර මෙම සාලිය පීරිස් නමැති සුවිශේෂ මිනිසා කවුදැයි අපි සොයා බලමු.
දැනට 54 වැනි වියෙහි පසුවන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ආදි සිසුවෙකි. එනම් ඔහු 1973 සිට 1987 දක්වා එහි අධ්‍යාපනය හැදෑරූ අතර, පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය ඇතුළු තවත් ශිෂ්‍ය සංගම් ගණනාවකම නායකත්වය උසුලනු ලැබුවේය. ඔහු 1986 වසරේදී එවක අගමැති ආර්. ප්‍රේමදාස මහතා අතින් පාසලේ හොඳම ශිෂ්‍යයා ලෙසටද සම්මානයට පාත්‍ර විය.
පාසල් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට බැඳී 1989-1992 දක්වා අධ්‍යාපනය හදාරා නීති උපාධිය හිමිකර ගැනීම.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය – 1995 සිට 1998 දක්වා අධ්‍යාපනය හදාරා LL.B නීති උපාධිය තවත් අමතර නීති උපාධියක් ලෙස හිමිකර ගැනීම.
2005-2006 දක්වා එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිපති (LL.M) උසස් උපාධිය හදාරා ජාත්‍යන්තර ව්‍යාපාර නීති විෂය යටතේ කුසලතා මට්ටමින් එම උසස් උපාධිය හිමිකර ගැනීම.
1993-1996 දක්වා වසර 04ක් රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙහි කටයුතු කිරීම. එහිදී ඔහු ප්‍රධාන වශයෙන් අපරාධ නඩුවලට අදාළව රාජකාරි කටයුතු සිදුකළේය.
2015-2017 දක්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ධුරය දැරීම.
2015-2017 දක්වා ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනයේ කළමනාකරණ මණ්ඩල සාමාජිකත්වය දැරීම.
1997 සිට 2018 දක්වා නොකඩවා අවුරුදු 21ක් CFPS නීති විද්‍යාලයේ සභාපතිත්වය දැරීම.
2015 සිට 2018 දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ධුරය දැරීම.
2018 සිට 2020 දක්වා ශ්‍රී ලංකා අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ධුරය දැරීම.
1997 වසරේදී ජනාධිපති නීතිඥ ධුරයට පත්වීම. එතැන් සිට නොකඩවා වසර 26ක් එම ධුරය උසුලයි.
2021 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තේරීපත්වූ අතර එම තනතුර ඔහු මේ දක්වා උසුලනු ලබයි. එම සංගමයේ 26 වැනි සභාපතිවරයා ඔහුය.
අද ශ්‍රී ලංකාවේ ඇති අතිශය වගකීම් සම්භාරයක් ඇති ගෞරවනීය සංගමයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා ලෙසට පත්වන්නට සාලිය පීරිස් නමැති මිනිසා වටා ගොඩනැගුණේ මහා බලවේගයකි. එනම් මෙම සුවිශේෂ තනතුර යම් නීති වෘත්තිකයකුට ලබාදෙන්නේ ඡන්දයක් හරහාය. එය සංගමයේ පැවැතෙන සාමාජිකත්වය හරහා සිදුවන ඡන්දයකි. ඒ අනුව 2021 වසරේ පෙබරවාරි පැවැති එම ඡන්දය සඳහා ඔහුට එක් ප්‍රබල ප්‍රතිවාදියකුද විය. එහෙත් ඔහුද අභිභවා සාලිය පීරිස් වාර්තාගත ජයග්‍රහණයක් ලබාගත්තේය. එනම් එම ඡන්දයෙන් සාලිය පීරිස් ඡන්ද 5162ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ලබාගත්තේ ඡන්ද 2,807ක් පමණි. මේ අනුව ශ්‍රී ලංකාවේ පොදු මහත් නීති ක්ෂේත්‍රය තුළ සාලිය පීරිස් නමැති සුවිශේෂ මිනිසාගේ අතිප්‍රබල ජනප්‍රියත්වය කැපීපෙනෙයි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා යනු අපරාධ නීතිය, මහජන නීතිය සහ මානව හිමිකම් අයිතිවාසිකම් නීතිය පිළිබඳ ප්‍රවීණ නීති විශේෂඥයකු සහ නීති විශාරදයකුද වෙයි. ඔහු යමක් ගැන අදහස් ඉදිරිපත් කරන්නේ එම විෂය ගැන දෙතුන් වතාවක්ම හොඳින් සොයාබැලීමෙන් පසුවය. සමහර විද්වත් පිරිස් මෙන් ඔහු කිසි විටෙකවත් සිතු මනාපයට අදහස් ඉදිරිපත් කරන්නේ නැත. එහෙයින් ඔහු පසුගිය කාලයේදී සිදුකළ සමාජ ක්‍රියාකාරකම්වලදී ඔහුට එරෙහි වන්නට කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් වූයේ නැත. ඔහු බොහෝ විට ඉදිරිපත් කරන ලද තර්ක විතර්ක සහ සිද්ධාන්ත කඩාබිඳ දමන්නටද කිසිවකුටත් හැකි වූයේ නැත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ශක්තිමත් කිරීම සහ නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්ද තම ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වීම ඔහුගේ සිරිත විය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙලෙස තම සමාජ මෙහෙවර ඉටුකළ ආකාරය ඉතිහාසයේ බොහෝ තැන්වල අමරණීය අයුරින් සටහන්ව ඇත. අප එම තොරතුරු ටිකක් සොයා බලමු.
2012 වසරේදී එවක අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට රාජපක්ෂ රජය විසින් ගෙන එනු ලැබූ දෝෂාභියෝගයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීමට මුල් වූ ප්‍රධානතම නීතිඥයන් දෙදෙනකු වූයේ පසුකාලීනව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය දැරූ ප්‍රවීණ නීති විශාරදයකු වන ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සහ වත්මන් සභාපති ධුරය දරන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාය. එකල ඔවුන් රාජපක්ෂ රජයේ මර්දනයන්ට බිය නොවී එම විරෝධතා ව්‍යාපාරය දිවා රෑ නොබලා මෙහෙයවූයේය. ඔවුන් ප්‍රධාන කරගත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එකල එම මෙහෙවර ඉතා උච්ච ලෙස ඉටු කළේය. මෙය රට පුරාම සංවිධානය කෙරුණු ඉතා ප්‍රබල වූ විරෝධතා ව්‍යාපාරයක් වූ අතර එකල උපුල් ජයසූරිය සහ සාලිය පීරිස් නමැති නීති වෘත්තිකයන් තම ජීවිතය පරදුවට තබා එම කටයුතු සිදු කළහ. මෙම ව්‍යාපාරය කෙතරම් ප්‍රබල වූයේද යත් 2015 දී රාජපක්ෂවරුන් පරාජය කිරීමට තරම් එය ප්‍රබල විය.
පසුගිය ජන අරගලයේදී ජනාධිපති මැඳුරට කඩාවැදුණා යැයි ප්‍රබල ලෙස චෝදනා නැඟුණු නීතිඥ නුවන් බෝපගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රධාන නීතිඥවරුන් 50ක් ඉදිරිපත් වීම. මේ අනුව නීතිඥ බෝපගේට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනුකර තිබිණි. කෙසේ හෝ පසුව නීතිඥ නුවන් බෝපගේ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාලිය පීරිස් මහතා අවස්ථා ගණනාවකදීම පෙනීසිටීම. එනම් එම සිදුවීමට අදාළ අධිකරණ ක්‍රියාමාර්ගවලදී මෙම මැදිහත්වීම් සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ වත්මන් ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මියගේ ප්‍රශංසාවට සහ පිළිගැනීමට සාලිය පීරිස් මහතා පත්වීම. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ ප්‍රජාව වර්තමානයේදී බොහෝ සමාජ අර්බුද උදෙසා සත්‍යය ප්‍රකාශ කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමටත් දරන සැබෑ උත්සාහය ගැන තානාපතිනිය මෙම පැසසුම සිදුකර ඇත.
යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතා අභිලාසයන්ට පටහැනි බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් පෙන්වා දීම. දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට නම් එකී සංශෝධනය සිදුකළ යුත යැයි ඔහු අවධාරණය කිරීම.
හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම වහා අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම. හදිසි නීතිය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැසක් විනාශ වී යන බව පෙන්වා දීම.
ජන අරගලයේදී රඹුක්කන සිද්ධියට අදාළව සාලිය පීරිස් මහතා ප්‍රමුඛ නීතිඥ සංගමය ස්වාධීන පරීක්ෂණ ඉල්ලා සිටීම.
පසුගිය ජන අරගලවලදී නොයෙකුත් ආකාරයේ චෝදනා ලැබූ විශාල පිරිසක් වෙනුවෙන් නොමිලයේ නීති ආධාර ලබාදීම. ශ්‍රී ලකා නීතිඥ සංගමය ප්‍රධානව එය මෙහෙයවීමට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛත්වය ගත්තේය.

ප්‍රියන්ත හෙට්ටිගේ









