‘අපිට ගොඩක් වෙලාවට ක්ෂේත්‍ර චාරිකා යන්න වෙනවා. ඒවට විශාල මුදලක් වියදම් වෙනවා. මෙහේ ඉඳලා සිංහරාජෙට යනව නම් එක ළමයෙක්ගෙන් රුපියල් පන්දාහක්වත් යනවා. මේවා ගොඩක් දුෂ්කර ගම්මාන. අපේ මවුපියන්ට මේ වගේ වියදමක් දරනවා තියා හිතන්නවත් බැහැ. එතකොට අපේ ගුරුවරු කරන්නේ එයාලගේ සොච්චම් වැටුපෙන් අර මුදල් දරන එක. මේ අවුරුද්දට විතරක් ලක්ෂ 26කට වැඩි මුදලක් විවිධ වැඩසටහන් සඳහා ප්‍රවාහන වියදම් විදියට වැයවෙලා තියෙනවා. මැතිතුමනි ඔබ කරපු මේ මහා පිංකම ඉතිහාසගත වෙනවා. අපිට මේක හිතාගන්න බැරි හීනයක් සැබෑවීමක්. මේ කරපු දේ අපේ පාසල් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා…’
වේදිකාවට ගොඩවූ දැරියක් දිදුලන ඇස් ඇතිව එහෙම කීවාය. ඇය මේ කියන්නේ මොනවාද? ඇය මේ ස්තුති කරන්නේ කාටද? ඇය සංවේදී හඬින් කතා කරන්නෙ කොහෙදීද?
දිනය හරියටම පසුගිය 27 වැනිදාය. තැන තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වළ වැඩසටහනට සමගාමීව පනස්වැනි බස් රථය පරිත්‍යාග කළේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය. තඹුත්තේගම යනු අනුර කුමාර දිසානායක මහතාගේ උපන් ගමය. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ඔහු ඉගෙනගත් පාසලය.
සජිත් සිය පනස් වැනි බස් රථය දෙන්නට දින දෙකකට පෙර අනුර දිසානායක කුරුණෑගලදී මෙහෙම කීවේය.
‘අර බස් මෑන් ඉන්නවා නේද, අයියෝ… මිනිහට පුළුවන් ඔහේ බස් එකක් එළවාගෙන ඉන්න. ඒවා ළදරු දේශපාලන වැඩ.’
අනුරගේ විවේචනයට සජිත් පිළිතුරු දුන්නේ ඔහුගේ ගමේ පිහිටි පාසලට ගොස්ය. සටහන ආරම්භයේදී සඳහන් වූ පරිදි දැරියක් වේදිකාවට පැමිණ කතා කළේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ දීය.
සජිත් එදා දුන්නෙ මෙහෙම උත්තරයකි.
‘74 වසරක් රටේ ආණ්ඩු කළේ, බදු ආදායම රාජ්‍යය ආදායම ලබාගෙන සංවර්ධනයේ නාමයෙන් ආපහු බෙදා දෙනවා. අවුරුදු 74ක් ඕක කළේ, අවුරුදු 74ක් විපක්ෂය කළේ කොහොම හරි ආණ්ඩු බලය ගන්න සැලසුම් කරනවා, කවදාවත් විපක්ෂය සේවය කළේ නෑ, අහලාවත් තියෙනවාද? කිසිම දවසක කරේ නෑ, ඒ නිසා තමයි සමහර අය කියව කියවා යනවානේ, උනුත් එකයි, මුණුත් එකයි අවුරුදු 74ක් කියලා. හැබැයි අමතක කරන්න එපා උනුත් ආණ්ඩුවල හිටියා, විපක්ෂවල හිටියා, මුනුත් ආණ්ඩුවල හිටියා, මුනුත් විපක්ෂවල හිටියා, හැබැයි කියන එවුනුත් ආණ්ඩුවල හිටියා විපක්ෂවල හිටියා, ඇමැතිකම් දරාගෙන, ඔන්න ඕක විතරක් අමතක කරන්න එපා, උනුත් එකයි, මුනුත් එකයි, කියන එවුනුත් එකයි, හැබැයි අපි වෙනස්, අපි වෙනස් වෙන්නේ, මුළු රටම දන්නවා, සක්වළ කිව්වොත්, හුස්ම කිව්වොත්, සජිත් ප්‍රේමදාස කිව්වොත්, අනිවාර්යයෙන් කිව්ව දේ කරනවා කියලා. මොන විපක්ෂයද මේ තරම් සේවයක් කළේ, අපි පාසල්වලට බස් රථ 50ක් දුන්නා, පාසල්වලට පරිගණක පද්ධති දුන්නා, රෝහල්වලට හුස්ම වැඩසටහනෙන් බෙහෙත් හා උපකරණ දුන්නා. අපි වෙනස් කියන්නේ ඒකයි. අපි යන්නේ මැද මාවතක, අපි යන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක, ඒ මාවත තුළ අපි අපේ සමාජ වගකීම හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. කොයිතරම් ආදි ශිෂ්‍යයෝ ඉන්නවාද මේ විද්‍යාලයේ, මහා ලොකුවට කතා කරනවා, අඩුම තරමේ අල්පෙනෙත්තක යුතුකමක් ඉටු කරලා තියෙනවාද? නමුත් තඹුත්තේගම මධ්‍ය විද්‍යායට 50 වැනි බස් රථය දෙනකොටත් මට හොඳටම බණිනවා, මට දැන් අලුත් නමක් දාලා, බස්මෑන් කියලා. ප්‍රශ්නයක් නෑ, මම ඔය අවලාදවලින් සැලෙන පුද්ගලයෙක් නෙමෙයි. කෝටි ගණන් වියදම් කරලා බස් දාලා, සෙනඟ ගෙනත් රැස්වීම් තියලා පෙන්වන්න හදනවා තමන් වැඩකාරයෝ කියලා. වැඩකාරයෝ කියන්නේ ගමේ පන්සලට, ආගමික ස්ථානයට, පාසලට, රෝහලට යම්කිසි අගයක් එකතු කිරීම නේද වැඩක් කරනවා කියන්නේ. මේ රටේ වැඩකරන දේශපාලනඥයෝ බොහෝම අඩුයි. ලකුණු දමාගන්නා දේශපාලනඥයෝ හුඟක් ඉන්නවා. සමහරු කැමැතියි පාසල් දියුණු වෙනවාට වඩා හිරගෙවල් ඇරෙනවට. අපේ රටේ ඉන්නේ, අපේ වර්තමාන තත්ත්වය හොරුන්ට මල් ඉසින රටක් බවට පත්වෙලා. රට විනාශ කරපු අයට රතු පලස එළන කොට, වැඩ කරන අයට මඩ ගහනවා. මම කියන්නේ ජනතාවට සේවය කරන්න වැඩවලින්, මඩ දේශපාලනයෙන් රටට සේවාවක් වෙන්නේ නෑ. මඩින් නැතිව ගොඩින් වැඩ කටයුතු කරන්න…’
සජිත් එහෙම කීවේය.
සජිත් ප්ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස සක්වළ වැඩසටහන ආරම්භ වන්නේ මීට වසරකට පමණ පෙරාතුවය. ඒ හරහා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක ය.එකක් තොරතුරු තාක්ෂණය සහ සුහුරු පුවරු සහිත පන්ති කාමර වැඩසටහනය. අනෙක පාසල්වලට බස් රථ ලබාදීමේ වැඩසටහනය.
මේ වන විට පාසල් සඳහා බස් රථ 54ක් ලබාදීමට හෙතෙම සමත්ව සිටියි. ඒ හරහා ශක්තිමත් වන පාසල් පද්ධතිය අතිවිශාලය.
වසරක් තුළ එක් පාසලක් ප්‍රවාහනය සඳහා දරන වියදම ලක්ෂ ගණන්ය. ඒවත් දරාගත නොහැකි තරම් මිල අධිකය.
‘අපි පාසල් චාරිකාව යන්න පොළක් තියලා අයිස්ක්‍රීම් වික්කා. එහෙම කරලා තමයි අපේ චාරිකාව යන්න බස් එකට වියදම හොයා ගත්තේ…’
එක් පාසලක දරුවෙක් කීවේ එහෙම කතාවකි.
‘සමහර ළමයි ඉස්කෝලේ ඇරිලා ගෙවල්වලට ගිහිල්ලා අහල පහළ ගෙවල්වල කුලී වැඩ කරලා තමයි චාරිකා යන්න සල්ලි හොයාගත්තේ. සමහර වෙලාවට සල්ලි නැති නිසා තරගවලට නොයා ඉන්න අවස්ථා ගොඩක් තිබුණා…’
මෙවැනි කතා අප්‍රමාණය. ඒ සෑම කතාවකම පිටුපස ඇත්තේ වේදනාවකි.
බස් රථ ලබාදෙන සෑම පාසලකම උත්සව අවස්ථාවට ගිය විට සජිත් කළේ එම පාසල්වල ඒ වසරේ ප්‍රවාහන වියදමට අදාළ වාර්තාවක් ලබාගැනීමය. බොහෝ විට ඒවා ලක්ෂ 20, 30 පැනපු වියදම්ය.
පිළියන්දල ධර්මරාජ විද්‍යාලයට සක්වළ වැඩසටහන යටතේ බස් රථයක් පරිත්‍යාග කරනු ලැබීය. එහිදී පාසලේ විදුහල්පතිවරයා පෙන්වාදී ඇත්තේ 2022 වර්ෂය සඳහා ධර්මරාජ විදුහල දැරූ ප්‍රවාහන වියදම ලක්ෂ 22ක් බවකි. එය තඹුත්තේගම විදුහලේ ලක්ෂ 30කට ආසන්නය.
සජිත් බස් රථ ලබා දන්නේ එවන් අති විශාල වියදමක් දරමින් සිටින පාසල් පද්ධතියට ශක්තියක් වෙමින්ය.
‘අර සජිත්. එයා ඉස්කෝලෙකට බස් එකක් දීලා, මිනිහම ඒක එළවගෙන යනවා. මොකද කියන්නේ. සීටීබී එකට දෙමුද රට පාලනය කරන්න….?’
ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස සජිත්ගේ වැඩසටහන විවේචනය කළේ එහෙමය.
‘මං දැක්කා ඔය ස්ටේජ් වීරයොන්ගෙන් එක්කෙනෙක් කියනවා සීටීබී එකේ ඩ්‍රයිවර්ලාට රට පාලනේ කරන්න දෙමුද කියලා.’
‘අපි කියනවා, කෝච්චියේ තේ විකුණපු නරේන්ද්‍රසිංහ මෝඩිට ඉන්දියාවේ අගමැති වෙන්න පුළුවන් වුණා. උත්සාහය හැකියාව ධෛර්යය සහ මානව හිතවාදීකම තියෙනව නම් ඕනෙම පුද්ගලයකුට රටක නායකයෙක් වෙන්න පුළුවන්…’ සජිත් උත්තර දුන්නේය.
‘ඉස්කෝලෙකට බස් එකක් දෙනවා කියන වැඩේ විවේචනය කරන්න පුළුවන් හෘද සාක්ෂියක් නැති මනුස්සයෙක්ට විතරයි. එහෙම විවේචනය කරන කෙනෙක් ඉන්නවනම් එක්කෝ ජීවිතයට ඉස්කෝලෙකට ගිහින් නැහැ. එක්කෝ මේ රටේ අධ්‍යාපනය ගැන අබමල් රේණුවක හැඟීමක් නැහැ…’
ගුරුවරයෙක් එහෙම කීවේය.
මොන තරම් අවලාද නින්දා අපහාස එල්ල වුවද සජිත් සුවිශේෂ සමාජ සත්කාර කටයුතු තුනක් මේ වන විට සිදුකරමින් සිටී. එකක් සක්වළ හරහා පාසල් පද්ධතියට බස්රථ ලබාදීමය. නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස ‘ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ආරම්භ වුණේ ඉකුත් වසරේ මැයි මාසයේදීය. එයද අඛණ්ඩව ක්‍රියාත්මකය.
Online අධ්‍යාපනය හේතුකොටගෙන සිග්නල් සොයා සැතපුම් ගණන් දුර ගෙවන්නට ඇති මේ රටේ දරුවන්ට සහනයක් අත්පත් කර දීම ඔහුගේ එම ව්‍යාපෘතියේ අරමුණය. පසුගිය දිනවල Online අධ්‍යාපනය හේතුවෙන් මේ රටේ දරු පරම්පරාව සහ මවුපියන් මොන තරම් අසරණභාවයට පත්වූවාද යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
ඔහු සිදුකරන සමාජ සත්කාරමය කාර්යය වන්නේ රෝහල් පද්ධතියට ‘හුස්ම’ හරහා සෞඛ්‍ය උපකරණ ලබාදීමය. අදටත් රෝහල් පද්ධතිය තුළට ඔහුගේ මැදිහත්වීමෙන් ලබාදී ඇති සෞඛ්‍යමය මෙවලම් සහ ඖෂධ හේතුකොටගෙන හුස්ම ගන්නා පිරිස දස දහස් ගණනකි.
මේ කටයුතු තුනම පිළිබඳ ලෝකයේ විවිධ රටවල තානාපතිවරු පවා සජිත්ට ප්‍රශංසා කොට ඇත. ඉකුත් ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ සජිත් එදා මෙදාතුර අපේක්ෂකයකු කිසිවිටෙක සඳහන් නොකළ මට්ටමේ සුවිශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඒ මෙරට කාන්තා සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ තීරණාත්මක ප්‍රකාශයකි. ඔහු පවසා සිටියේ මේ රටේ කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් මැදිහත් වී කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවය. මෙය ප්‍රකාශය ඇසූ සැණින් ප්‍රතිවාදීන්ට ඊට වඩා දෙයක් නැති විය.
වේදිකා හෙල්ලෙනතුරු සජිත්ට පහර පිට පහර ගහන්නට පටන් ගත්හ. කලාකරුවන්, දේශපාලන නායකයන්, සිවිල් ක්‍රියාකාරිකයන්, පොහොට්ටුවේ ඡන්දදායකයන් පමණක් නොව ඇතැම් අවස්ථාවල සජිත්ගේම පාර්ශ්වයේ පිරිස් ලවා පවා මේ ප්‍රකාශයට එරෙහිව පහර දෙන තරමට තත්ත්වය ආන්දෝලනාත්මක විය.
වහාම රාජපක්ෂවාදී සමාජජාලකරුවෝ ‘ද පෑඩ් මෑන්’ යැයි නමක් ප්‍රේමදාසට පටබැඳ පෑඩයක් ඔසවා ගෙන සිටින පින්තූරයක් ද සාදා ප්‍රහාරයක් දියත් කළහ.
‘පෑඩ් මෑන්’ යනු ඉන්දියාවෙහි දුගී ස්ත්‍රීන්ට පහසු මිලට සනීපාරක්ෂක තුවා සැපයීමේ ව්‍යාපෘතියකට මූලිකත්වය ගත් දකුණ ඉන්දියනු ජාතික අරුනාචලම් මුරුගනාදම්ගේ ජීවිත කතාව අල්ලා ඉන්දියාවෙහි හින්දි බසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක නමය. සජිත් ප්‍රේමදාස අපහාසයට පත්කරනු පිණිස රාජපක්ෂවාදීන් යොදාගත්තේ ‘ද පෑඩ් මෑන්’ චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරයයි. ඔවුහු එහි ප්‍රධාන නළු ආක්ෂේ කුමාර් පෑඩයක් අත උස්සා පෙන්වන පොස්ටරයෙහි ඔහුගේ හිස වෙනුවට සජිත් ප්‍රේමදාසගේ හිස එක් කළහ. වැරදීමකින් හෝ මෙම ජනාධිපතිවරණ සටන පැවැතියේ දකුණු ඉන්දියාවෙහි නම් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයට රාජපක්ෂවාදීන් සකස් කරන ලද එම පෝස්ටරයම ප්‍රමාණවත් වෙන්නට තිබිණි.
මන්ද යත් ‘පෑඩ් මෑන්’ අති සාර්ථක සිනමා පටයක් වී 2018 වසරෙහිදී වැඩිම ආදායම ලැබූ සිනමාපට දහයෙන් එකක් බවට ද පත් වූ නිසාය.
‘ජනාධිපති අපේක්ෂකයකුට කිසිම ලැජ්ජාවක් නැතුව මේ දේවල් (සනීපාරක්ෂක තුවා) අපේ ගෑනුන්ට නිකන් දෙන්න හදනවා. බිරිඳගේ සනීපාරක්ෂක තුවාය අරන් දෙන්න මේ සිංහල පිරිමින්ට හොඳ ජවයක් හොඳ හැකියාවක් තියෙනවා. මම බය නැතුව ඒක කියනවා. කාන්තාවන්ගේ ලැජ්ජා බය දෙක නැති කළා ඔබතුමා ඡන්ද ටික ගන්න. අපේ පිරිමි ඉන්නවා බොහොම ගෞරවනීය සැමියන්. ඒගොල්ලෝ ඒවා කරයි. ඔබතුමා කලබල වෙන්න එපා ඒවා ගැන….’ සංජීවනී වීරසිංහ නමැති කලා ශිල්පිනිය සජිත්ට විවේචනය කළේ එහෙමය.
‘අයියෝ, විලි ලැජ්ජාවයි. මොනවද මේ කියල කතා….’ බන්දු සමරසිංහලා වේදිකා දෙදරන්න විහිළු කළේ එහෙමය.
කුඩා දැරියන් ද ඇතුළු ස්ත්‍රීන් සියදෙනකු දූෂණයට ලක්කොට එහි සතුට සමරනු සඳහා පොහොට්ටු නායකයන් සාදයක් පැවැත්වීම කාන්තාවන්ගේ අභිමානයට හේතුවක් බැව් අදහන පොහොට්ටු ආධාරකරුවන්, ‘සනීපාරක්ෂක තුවා’ හෙවත් ‘පෑඩ්’ නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂකයකු විසින් ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කිරීම කාන්තාවන්ට අවමානයක් සේ සැලකීය.
සජිත් එදා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කළේ අහම්බෙන් නොවේ. ඊට විශාල පදනමක් තිබිණි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක්ම කාන්තාවන් වන අතර දළ වශයෙන් ඉන් මිලියන 5.7ක් ඔසප් වන කාන්තාවන් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. දරිද්‍රතාවයෙන් පෙළෙන දුෂ්කර ගම්වල සිසුවියන්ගෙන් 30%ක් මාස් ශුද්ධිය දාට පාසල් නොයයි. අතිවිශාල පිරිසක් මුදල් නොමැති නිසාත් සනීපාරක්ෂක තුවා භාවිත නොකරයි. මෙය අතිශය සංවේදී ප්‍රශ්නයක් නොවේ ද?
‘වෑන් මෑන්’ වෙනවට වඩා මට ‘පෑඩ් මෑන් වෙන එක ආඩම්බරයක්’ කියලා එදා සජිත් මේ විවේචනය ඉදිරියේ පැවැසීය. හැබැයි එදා සජිත්ට සරදම් කළ බොහෝ අය ඉන්පසුව ඔහු කරුණු ලැබූ යෝජනාව මොන තරම් බලගතු දැයි තේරුම් ගත්හ.
එහෙත්, සනීපාරක්ෂක තුවා හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැමට නොමිලේ ලබාදෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය තීන්දු කරද්දී ලංකාව සනීපාරක්ෂක තුවා වෙනුවෙන් බද්දක් පනවන්නට තීන්දු කළහ. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ සනීපාරක්ෂක තුවා අලෙවි කෙරෙන්නේ රු. 120 – 175ත් අතර මිලකටය. ආනයනික වෙළෙඳ නාම රු. 350 දක්වා මිලකට අලෙවි කෙරේ. එම නිසා ආනයනික සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම බහුතර කාන්තවන්ට ඉතා අසීරු කරුණක් සේම එයින් එය සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්කර තිබෙන බව විශ්ලේෂකයෝ පවසති. සාමාන්‍ය කාන්තාවකගේ ඔසප් කාලසීමාව දින 5ක් පමණ වන අතර දිනකට සාමාන්‍යයෙන් සනීපාරක්ෂක තුවා 4ක් භාවිත කරනු ඇත. ඒ අනුව පෙර බදු ක්‍රමය යටතේ කාන්තාවකට මසකට රුපියල් 520ක් ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා වැය කිරීමට සිදුවන බවට ගණන් බලා ඇතැයි ඔවුහු පෙන්වා දෙති. එය අද වන විට ඊටත් වඩා මිල අධිකය.
සජිත් එදා අප්‍රමාණ ගැරහුම් අපහාස උපහාස මැද කළ යෝජනාවේ බර අද බොහෝ දෙනාට දැනෙමින් තිබේ. මේ ඛේදවාචකයටම ඔහුගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ද මුහුණ දුන්නේය.
ගම් උදාව, ජන සවිය, ඇඟලුම් කම්හල් 200ක් ආරම්භ කිරීම, සෙවණ සරණ මාපිය කැපකරු ක්‍රමය, පාසල් ළමයින් සඳහා නිල ඇඳුම් සහ දිවා ආහාරය ලබාදීම, ප්‍රාදේශීය ලේකම් ක්‍රමය ස්ථාපිත කිරීම, රජයේ සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාග ක්‍රමය හඳුන්වාදීම ආදී වැඩසටහන් රැසක් ස්වකීය කෙටි පාලන කාලය තුළ දියත් කරමින් මෙරට ඉතිහාසය තුළ නොමැකෙන නමක් සනිටුහන් කළේ රණසිංහ ප්‍රේමදාස මහතාය.
මෙරට දුගී දුප්පත් ජනතාව නගාසිටුවීම වෙනුවෙන් ඔහු සිදුකරන ලද බරසාර මෙහෙවර එදාට වඩා කතිකාවට නැගෙමින් තිබෙන්නේ වර්තමානයේදීය. රුපියල් දාහතරදහසකට ආසන්න මුදලක් වැයකොට එක් දරුවකුට පාසල් උපකරණ ලබාගන්නට සිදුවීම, වර්තමානයේදී හතළිස් ලක්ෂයකට වැඩි දරුවන්ගේ අතිබහුතරයක් මවුපියන්ට ප්‍රේමදාස මහතා ඉතිහාසය සිදුකළ මෙහෙවර සිහිපත් වනවාට සැක නැත.
පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමට ගත් විප්ලවීය පියවර හේතුකොටගෙන අද මේ රටේ දරු පරපුර විශාල සහායක් අත්පත් කරගෙන තිබේ.
‘ඉස්කෝලෙ ළමයින්ට පාසල් නිල ඇඳුම් දෙන්න සාකච්ඡාවක් සුචරිතේ කැඳවල තිබුණා. ඒකට රජයේ නිලධාරීන් ව්‍යාපාරිකයන් ගොඩක් සහභාගි වුණා. කෝ බලන්න මොනවද සාම්පල්. ප්‍රේමදාස මහත්තයා විසින්ම ඔවුන් ගෙනා සාම්පල් වෙන වෙනම පරීක්ෂා කළා. කෝ මේ සේරම ලෝකල් බඩුනෙ. එහෙම නෙමෙයි. හොඳ රෙදි දෙන්න ඕනෑ. අර මම අඳින නිල් ඉර තියන සුදු රෙද්ද නැද්ද? එතුමා ඇහුවා. නිලධාරීන් කිවුවා, ඒ රෙදි වර්ගය තියනවා, ගාන වැඩියි කියලා. එතකොට ප්‍රේමදාස මහත්තයා අහනවා ඒකට කමක් නෑ මම සල්ලි වෙන් කරන්නම්. ළමයින්ට ඇඳුම් මහන්න බාල රෙදි දෙන්න එපා. හොඳ රෙදි දෙන්න කටයුතු කරන්න කියලා. මහත්තයො මෑත යුගයෙත් මෙහෙම දේවල් වෙනවද…?’
දීර්ඝ කලක් සුචරිත කාර්යාලයේ වැඩකළ, ප්‍රේමදාස මහතා ළඟ සිටිද්දී එතුමාට එන ලියුම් සියල්ල කැඩූ, විවිධ නිලධාරීන්ට දෙන දුරකතන ඇමතුම් එතුමාට සම්බන්ධ කළ සුචරිතේ අබේරත්න මහතා වරක් එහෙම පැවැසීය.
‘ප්‍රේමදාස මහත්තයාට දුප්පත් ළමයි වෙනුවෙන් කරන්න තිබුණු තව හීනයක් තමයි සපත්තු ලබාදීම. එතුමා සපත්තු සාම්පල් එහෙමත් පරීක්ෂා කරල තිබුණු වෙලාවකයි හදිසියේම ඝාතනයට ලක්වුණේ. ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයින්ට දහවල් කාලයේදී බනිස් ගෙඩියක් ලබාදීමේ වැඩපිළිවෙළ නැවත ආරම්භ කළා. මෙය ඊට පෙර තිබිලා පසුව නැවතී ගිය වැඩසටහනක්. ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයි වෙනුවෙන් හැමවිටම බැලුවෙ හොඳම දේ ලබාදෙන්න. නිල ඇඳුම් බැලුවත් සපත්තු බැලුවත් එහෙමයි….’ ඔහු වැඩිදුරටත් එහෙම කීවේය.
අද පාසල් සපත්තු ජෝඩුවක මිල රුපියල් 4,000කට වැඩිය. පවුලක දරුවන් දෙදෙනෙක් පාසල් යනවා නම් සපත්තු ජෝඩු දෙකට රුපියල් 8,000කි.
මෑතකදී සජිත් කියා සිටියේ තමන්ගේ අරමුණ පාසල් දරුවන්ට සපත්තු ජෝඩු දෙකක් ලබාදීම බවය.
සමහරු ඊටද සිනාසෙන්නට පටන් ගත්හ. අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජන සම්බන්ධයෙන් සිනාසිය හැක්කේ කාටද? ලංකාව එහෙම රටකි.
‘මට මඩ ගැහුවට කමක් නැහැ. මට චෝදනා කළාට කමක් නැහැ. මම දෙන බස් රථවල නැඟලා, මාව විවේචනය කරන අයගේ දරුවෝ පාසල් යයි. මම දෙන සෞඛ්‍ය උපකරණවල පිහිටෙන් මාව විවේචනය කරන අයත් අනාගතයේදී හුස්ම ගනී. මම දෙන සුහුරු පන්ති කාමරවල මාව විවේචනය කරන අයගෙ දරුවොත් ඉගෙන ගනියි. මම කරන වැඩේ හොඳද නරකද කියලා අන්න එදාට මුළු රටම තීන්දු කරයි…’
විවේචකයන්ට සජිත් දෙන්නෙ එහෙම පිළිතුරකි.
එදා ජනාධිපතිවරණයේදී මිනිස්සු සජිත්ට ‘පෑඩ් මෑන්’ කියා ‘අයන් මෑන්’ කෙනෙක් බලයට ගෙනාවේය. ඒ අයන් මෑන් අන්තිමේදී රටම විනාශ කොට අවුරුදු දෙකක් අවසානයේදී පැදුරටත් නොකියා රටින් පැන ගියේය. දැන් ජවිපෙ ‘බස් මෑන්’ කරළියට ගෙනැවිත් තිබේ. අවසානයේදී බස් මෑන් වෙනුවට ‘ස්පයිඩර් මෑන්’ කෙනකු සොයන්නට ගොස් රටේ ඉතිරි ටිකත් විනාශ කරගන්නවා නිසැකය.
ටි්‍රක්සි ජයවර්ධන










