ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සිහිකරමින් එම පක්ෂය වාර්ෂිකව පවත්වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣානය ඊයේ (31) රාත්‍රියේ කතරගම පූජා භූමියේදී පැවැත්විණි.
මෙවර එහි සංවිධාන කටයුතු සිදුකර තිබුණේ ඉකුත්දා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තනතුරුවලින් ඉවත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසිනි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු නායකයින් මෙම පිංකමට සහභාගි වී නොමැත.
කෙසේ වෙතත් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම පිංකමට එක්ව සිටීම විශේෂත්වයකි.











