‘ශ්‍රී ලංකාවේ පාරිසරික දත්ත පිළිබඳ මනා අවබෝධයක් ඇති කෙනෙක් නම් දන්නවා ඔන්න වනාන්තර සිතියමේ වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඉන්නේ උතුරු පළාත හා ඒ අවට ප්‍රදේශය බව. ඒ අතරින් යාපනේ සිට මන්නාරම දෙසට සංගුපිට්ටි පාලම පසුකර පූනගරී වෙත ධාවනය කරන කල මාර්ගයේ දෙපස ඇති අපූරු වන ඝනත්වය දැකබලාගත යුතුමය. මන්නාරම – පූනගරී ප්‍රධාන මාර්ගයේ පැල්ලවරායන්කට්ටු සන්ධියට නුදුරු කිලෝමීටර් හතක් අටක් පමණ ඇතුළින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි වේරවිල් නම් සුන්දර ග්‍රාමයකි. පෙරදා නම් මේ ඉසව්ව ගොවි බිම්වලින් සශ්‍රීක වූ ප්‍රදේශයක් මෙන්ම පසෙකින් වූ ඉන්දියන් සාගරය නිසා සමුද්‍ර සම්පත්වලින්ද ස්වයංපෝෂිත විය. නමුත් ‘කොළඹට කිරි අපිට කැකිරි’ යන අපූරු කියමන පසක් කරමින් පවුල් සියයකට වැඩියෙන් ජීවත්වන මේ ග්‍රාමයට ඇත්තේ දශක තුනක යුද්ධයටත් එහා කාලසීමාවක සිට හිමිවූ රතු පස් සහිත මාර්ගයකි.’
ඔන්න මේ කතාව පටන්ගන්නේ වේරවිල් ඉඳන්. උඳුවප් මහේ එන නත්තල් සුළඟට වේරවිල් යන පාරේ රතු පස්වලින් මගේ පෙට්‍රල් දඬුමොනරෙ හොඳටම නෑවිලා. කිසි අතුරු අන්තරාවක් නැතිව මේ ගමන යන්න අපිට පිහිට දුන්නේ මේ අඩවියට දිවැස් හෙලන වයිරවර් දෙයියන්. ඒ ඇරෙන්න අපේ දියවන්නා ඔය මැද පාර්ලිමේන්තුවේ ඉඳන් පිස්සු කෙළින නාකි අයියලා සෙට් එක නෙවේ. මොකද මේ පළාත්වල උදවිය 1948 නිදහසෙන් පස්සේ සංවර්ධනය කියන දේ දැකලම නෑ.
ඉර මුදුන්වෙලා හෝරා දෙකක් පහුවෙලා. ගමනාන්තය කලින් කිව්ව පරිදි වේරවිල් නැත්නම් ඊළාම් කියන අපූරු නම හැදුණු ඊල ඌර්. මේ අවට ගම්මාන තමා පාලාවි, පොන්නාවලී, වලෙයිපාඩ්ඩු, කිරාන්චි. නමුත් සුද්දගේ නිදහසට කලින් ඒ කියන්නේ 1930 වගේ මේ පළාතට කියල තියෙන්නේ ‘ඊල ඌර්’ කියලා. ඒකට හේතුව තමා දෙමළ සාහිත්‍ය ඉතිහාසයේ තිබූ සංඝ කාලේ මහා කිවි ‘ඊලත්ත පූදන් දේවනාර්’ ජීවත්වූ භූමිය මෙයයි. ඒ වගේම ලංකාවට කලින් කියලා තියෙන්නේත් ‘ඊළම්’ කියලා. තවත් අපූරූ කතාවක් තමා ඔන්න යාපනේ රාජධානිය සමයේ මේ පළාත හඳුන්වලා තියෙන්නේ ‘වෙලිනාඩු’ කියලා. ‘වෙලි’ කියන්නේ පිට (දෙරුසටබ) කියන එකයි. ‘නාඩු’ කියන්නේ රටක් කියන එකයි. ඒ කියන්නේ කලින් වේරවිල් කියන්නේ පිටරටක් බවයි. යාපනේ පිහිටි ඩෙල්ෆ්ට් පුන්කුඩතිව් දූපත්වල සිටි උදවිය පවා විවිධ කාලසීමාවලදී මෙහි සේවයට බොහෝ උදවිය ගොස් ඇත. ඒ කියන්නේ යාපන අර්ධද්වීපය අවට වූ සියලු දූපත්වලට බෝට්ටු හරහා පිවිසිය හැකි පහසු මාර්ගයකි. වාර්ෂිකව කච්චතිව් දූපතේ ඇති දේව මෙහෙයට මේ ප්‍රදේශවල වූ කතෝලික බැතිමතුන්ද සහභාගි වන බව තමා දැනගන්න ලැබුණේ.
මේ ඊල ඌර්වල තිබ්බ ස්වයංපෝෂිත ආර්ථික රටාව නිසාම ඒ කාලේ ඉන්දියාව සමග මෙන්ම යාපන අර්ධද්වීපය සමග යහමින් සහල් එළකිරි ආදී වූ භවභෝගයෙන් ගනුදෙනු සිද්ධ කර තිබෙනවා. ඒ කාලේ ලංකාව යටත් කරගන්න ආව පෘතුගීසිකාරයා පවා තම ආගමික ප්‍රචාරය උදෙසා සන්ධිස්ථානයක් බවට පත්කරන් තියෙන්නේ මේ ඊල ඌර්. මොකද මේ ප්‍රදේශයේ ජන ඝනත්වය අධික වූ නිසාවෙන්ලු. තවත් දෙයක් අපි කවුරුත් දන්න ආර්මුග නාවලර්තුමා පවා පොන්නාවලී වේරවිල් කියන ග්‍රාමීය ප්‍රදේශ සමග බොහෝ සමීපව කටයුතු කරලා තියෙනවා. නාග කාලයේ සිට පුරාවිද්‍යා උරුම රැසක් තවමත් පාංශු ස්ථර තුළ නිදා සිටින භූමියක් තමා මේ ඊල ඌර්.
යාපනේ තිබූ විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල වැසීගිය කලක මුහුදට බොහෝ ආසන්න 1964 සිදුවූ සුළි සුළං ආපදාව නිසා මිනිස් ඝනත්වය බොහොමයක් අඩු හුනුගල් පාෂාණ ඇති පොන්නාවලීහි නැවත සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මුල්ගල් තැබූවද එයින් ඇතිවන පරිසර හානිය නිසා එය ක්‍රියාත්මක නොවූයේ යහපත් පරිද්දෙනි.
දැන් තුනේ හෝරාවත් පහුවෙලා. ආයෙත් රතු පස් පාරේ වළවල්වල වැටි වැටී යන්න කාරි නෑ. ළඟම පාර මහා ඝන වනාන්තරයක් නැත්නම් රක්ෂිතයක් මැදින් මන්නාරම ් 32 පාරට යන කැලෑ පාර.
මේ පාරේ නම් වළවල් නැති එකයි අඩුව. ඒත් තැනින් තැන වතුර පිරුණු දියකඩිති. දෙපැත්තෙන්ම මහ කැලේ. පොත්ත ඝන, පත්‍ර වැඩි කොළ පාටට හුරු ස්වභාවයකින් වූ ශුෂ්ක කලාපීය වීර, පළු ගස් නම් ඕසේට. ඔබමොබ හැසිරෙන මුවෝ, ගෝන්නු, වල් ඌරෝ යහමින් ඇති. ඒත් දැක්කේ තැනින් තැන පෙරදාක අලියන් දමා ගිය අපූරු මං සලකුණු අලි බෙටිය.
මගේ වචනයෙන් කිවහොත් කැමරා බඩු උස්සාගත් මගේ සගයා හා මා හැරුණු කොට මිනිස් පුළුටක් හෝ බලු බල්ලෙක් නැත. ඇත්තේ පෙනෙන නොපෙනෙන මානයේ ගල් බොරළු පිරි පාරක් සමග නොනවත්වා දිවෙන කැළේ පමණි. අලියෙක්ගෙන් පණ කෙන්ද රැකගෙන දඬුමොනරේ රෝදත් රැකගෙන එහෙනම් කඩා බිඳගෙන වන මැදින් එළියට යා යුතුය.
මොන වයිල්ඩ් ලයිෆ් ෆොටෝගැෆ්‍රිද?
අහෝ වයිරවර්……
ඔය ආසන්නයේ වූ කච්චතිව් දූපතේ භාරකාරීත්වය පිළිබඳවත් මේ නුදුරේදී බොහෝ ගැටලු ඇති වුණා. දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය ගොඩ ඒමට උතුරුකරයේ ධීවරයන්ට අයත් කච්චතිව් දුපත බිලි දීමේ වෑයමක් පවතින බවට උතුරුකරේ ධීවර සංගම් බොහෝසෙයින් බිය පළකළේ එවන් පසුබිමකය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටීම නිසා පීඩා විඳින ජනතාවට සහන සැලසීමට ප්‍රතිඋපකාරයක් වශයෙන් කච්චතිව් දූපත ආපසු ලබාගැනීමට ඉන්දීය ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට එරට ධීවරයන් විශ්වාසය කරන උතුරෝ ධීවරයෝ කීප වතාමක්ම මාධ්‍ය හමු පැවැත්වූයේ ඒ නිසා විය හැකී.
මේ කච්චතිව් දූපත බි්‍රතාන්‍ය ජාතිකයන් 1815 දී අප රට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමෙන් පසුව වසර 133ක පාලන කාලය තුළ බි්‍රතාන්‍යයන් සකස් කළ සිතියම් කිහිපයකට කච්චතිව් දූපත ඇතුළත් කර තිබුණා. ඒ අතුරින් එක් සිතියමක් ජෝන් ඇරෝස්මිත් 1857 දී නිර්මාණය කර තිබුණා. එම සිතියමේ කච්චතිව් යාපන අර්ධද්වීපයට අයත් දූපතක් බව දක්වා තිබුණා. බි්‍රතාන්‍ය ජාතික සිවිල් නිලධාරියෙක් වුණු සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට්ගේ 1860 දී ප්‍රකාශයට පත්කළ ‘සිලෝන්’ ග්‍රන්ථයේ අඩංගු වුණු සිතියමක දක්වා තිබුණේ කච්චතිව් දූපත ලංකාවේ උතුරු ප්‍රදේශයට අයත් වුණු බවයි.
තෙත් කලාපීය භූ විෂමතාවන්හි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ සොබාදහම් මාතාවගේ අපූරු අංගයන් වූ සේද සළු මෙන් කඩා හැලෙන දියඇලි, රුහිරු මෙන් ගලාබසින ඇළ දොළ ගංගා, පෙර මුතුන් මිත්තන්ගේ හඬ නැවත නැවත අවදි කරමින් කවි ගී ගයන සියොතුන්ද හරිත කඳුවැටි පසුකර නිම්නයේ සිට ශුෂ්ක කලාපීය කඨෝර ග්‍රීෂ්ම වනපෙත් මැදින් සංචාරයේ පියසටහන් තැබීමට මගේ ගමන ආරම්භ කර සිවු වසක් අහවර වී ඇත. ඒ සංචාරයන් නැවත ආවර්ජනය කරන කල්හි මා මතකයට එන්නේ අලිමංකඩ පසුකර ඇදෙන යාල්දේවී, යාපනේ නිහඬ නගරය වූ කරෙයිනගර්, පන්නායී කෝස්වේට නුදුරු මන්ඩතිව්, යටත්විජිත මංසලකුණු ශේෂ වූ කයිට්ස්, කැලෑ අශ්වයන්ගේ භූමිය වූ නෙඩන්තීව් හා ලංකාදීපයේ කෙළවර කන්කසන්තුරේ හරහා පේදුරුතුඩුව ආදියයි. නමුත් මා මෙවන් ස්ථාන දැක ඇතත් මගේ පන්හිඳ එතරම් ශක්තිමත් වූයේ නැත.
හරිත නිම්නයේ වූ කඳු වැටි අතරින් හමා එන සිසිල් මඳ පවන අදටත් ඔබලාට නම් උරුමය. නමුත් විඩාබර මා ගත සොම්නසින් වැලඳගන්නේ ගව් ගානක් ඈත මහා සාගරයේ සිට හමා එන ලවන මුසුවූ කඨෝර සුළඟක්ය. නමුත් දැන් නම් එය මට බොහෝ හුරු පුරුදුය. වර්ෂ ගණනකට මත්තෙන් ඔබ මෙහි පැමිණියේද?
මෙහි පැමිණි කල ඔබගේ නෙත ගැටුණු හිස සුන් මෙන්ම, කය විච්ඡේදනය වූ තල් රුක් වෙනුවට අද දස අත ඇත්තේ මනු දරුවන් තම ශරීර ධාතුව භූමිදානය කලා වූ සාරවත් පසේ පීදී දලුලන්නා වූ ළපටි තල් රුක්ෂයෝය. ගව් ගානකට විහිදෙන කිරිවැදුණු කුඹුරු ඉඩම්ය. මන්ද ඔවුන් මේ භූමියට ප්‍රේමයෙන් මිහිදන් වූ උදාරතර පුත්‍රයෝ මෙන්ම දියණිවරු වූහ.
එසේ නම් සංවර්ධනයේ කලඑළිය මේ පළාත්වලටත් ලැබිය යුතුමය. මන්ද මොවුන්ද රටේම එක් මිනිසුන් කොටසකි. මේ ගම්මානවලින් ගුරුවරුන්, රාජ්‍ය සේවකයන්, මාධ්‍යවේදීන්, හෙද සේවක සේවිකාවන් ආදී විවිධ ක්ෂේත්‍රයන්හී කටයුතු කරන උදවිය බිහිවි ඇත.
එසේ නම් මේ මා දුටු හෙළිකළ යුතු තවත් එක් අනාවරණයකි.
විදුනි බස්නායක / ශර්මිලා විනෝදිනී










