ශ්‍රී ලාංකේය ව්‍යාපාරික සහ ක්‍රිකට් පරිපාලනය ගැන කතාකරන විට ෂාෆ්ටර් නාමය යමෙකුට මග හැරෙන්නේ නම් හේ නිසැකවම ක්ෂේත්රයට ආගන්තුකයෙක් විය යුතුය. ඊට හේතුව ඉහත සඳහන් ක්ෂේත්‍ර දෙකටම ෂාෆ්ටර් නාමය පතල කීර්තියක් සහිත එකක් වීමය. කලකට ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකාරීත්වය දැරු චන්ද්‍රා ෂාෆ්ටර් මේ පරපුරේ වඩාත් ප්‍රකටම පුද්ගලයාය. ජනශක්ති රක්ෂණ සමාගමේ සමාරම්භක සභාපතිවරයාද වූ ඔහු දෙස් විදෙස් ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. එහෙත් අද ලංකාවම කතා කරන්නේ ඔහුගේ පුත් දිනේෂ් ෂාෆ්ටර් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ගැනය.
ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්යක්ෂවරයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් විවාහ වී සිටියේ ටානියා ෂාෆ්ටර් සමගය. මෙරට සුපිරි ධනවතුන් පදිංචිව සිටින කොළඹ 07, මල් පාරේ පදිංචිව සිටි ඔහු පසුගිය 15 වැනිදා පස්වරු 2.05ට පමණ සිය නිවෙසින් බැහැර වූයේ අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් හමුවීමට යන බව පවසමිනි. එහෙත් ඔහු එදින පෙරවරුවේ සිය සමාගමේ විධායක නිලධාරියෙක්ට පවසා ඇත්තේ තමන් සමග කළ ගනුදෙනුවක දී රුපියල් කෝටි 143ක් වංචා කළ බව කියන ඊඔ නමැති ව්‍යාපාරිකයා හමුවීමට යන බවය. ඒ අනුව විධායක නිලධාරියා ෂාෆ්ටර්ට ‘සර් මට සර්ගේ Live Location එවන්නැ’යි පවසා ඇත. අවසානයේ ෂාෆ්ටර් සහ ඔහුගේ වාහනය සොයාගන්නට හේතු වූයේ මෙකී Live Location පහසුකම සක්‍රීය කිරීම බව මේ වන විට පැහැදිලි වෙයි. එමෙන්ම තමා යන ගමනේ යම් අවදානමක් ඇති බවට දිනේෂ් ෂාෆ්ටර්ට අති වූ හැඟීම අවසාන මොහොතේ Live Location සක්‍රීය කිරීමට හේතුව විය හැකිය.
කෙසේ වෙතත් BT නමින් හඳුන්වන ව්‍යාපාරිකයා හමුවීමට යායුතු බවට එදින පෙරවරුවේ ෂාෆ්ටර් පවසා තිබුණ ද පස්වරුවේදී නිවෙසින් පිටව ගියේ BT නමැති ව්‍යාපාරිකයා හමුවීමටම ද යන්න පිළිබඳ නිෂ්චිත තොරතුරක් තවමත් අනාවරණ වී නැත. සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් නිවෙසින් පිටත්වූ දිනේෂ් ෂාෆ්ටර් පණ පිටින් නැවත පැමිණියේ නැත. සැබැවින්ම මේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඉරණම විසඳුණේ කෙසේද? අදටත් පරීක්ෂණ කණ්ඩායම් හතරක් දිවා රෑ නොබලා ඒ ගැන වෙහෙසෙමින් සිටී.
සමාන්‍යයෙන් දිනේෂ් ෂාෆ්ටර් නියෝජනය කරන පන්තියේ ව්‍යාපාරිකයන් රියැදුරෙක් සමග ගමන් කිරීම සිරිතකි. ඇතැම් අවස්ථාවලදී ඔවුන් සිය පුද්ගලික ආරක්ෂකයන්ද කැටුව යයි. එහෙත් මේ දෛවෝපගත දිනයේ දිනේෂ් සිය මෝටර් රිය පදවාගෙන යන්නේ තට්ට තනිවමය. නිවෙසින් පස්වරු 2.05ට නික්මෙන සිය සැමියාට ටානියා ෂාෆ්ටර් කෙටි පණිවුඩයක් යවන්නීය. ඒ, එදින පස්වරු 2.15ට පමණය. නැතහොත් දිනේෂ් ෂාෆ්ටර් නිවෙසින් පිටවී විනාඩි 10ක් වැනි සුළු කාලයකදීය. ‘දැන්මම පැමිණෙනවාදැ’යි ඇය එම පණිවුඩයෙන් විමසා තිබිණි. එම පණිවුඩයට දිනේෂ් ෂාෆ්ටර් කුමනාකාරයේ පිළිතුරක් එව්වේද නැද්ද යන්න තවමත් මාධ්‍යයට අනාවරණ වී නැත.
මෙලෙස නිවෙසින් පිටව ගිය කෝටිපති ව්‍යාපාරිකයා නැවතත් සොයාගනුයේ බොරැල්ල කනත්තේදීය. වයර් සහ කේබල් ටයිට් (අගුල් සහිත ප්ලාස්ටික් පටි) වලින් රියැදුරු අසුනට තබා ගැටගසා තිබූ ඔහු ඒ වන විටත් අසධ්‍ය තත්ත්වයකින් පසුවූ අතර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය.
බොරැල්ල කනත්තේදී දිනේෂ් ෂාෆ්ටර් සොයාගනු ලබන්නේ ඔහුගේම සමාගමේ පෙර සඳහන් විධායක නිලධාරියා විසිනි. ඔහු නමින් ක්‍රිෂ් පෙරේරාය. ක්‍රිෂ් තම හාම්පුතා සොයා බොරැල්ල කනත්තට යන්නේ අහම්බෙන් නොව ටානියා ෂාෆ්ටර්ගේ ඉල්ලීමට අනුවය. ඇය එසේ ක්‍රිෂ් පෙරේරා බොරැල්ල කනත්තට යවන්නට හේතුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වෙයි. තම සැමියාට දුරකතන ඇමතුමක් ලබා දුන්නද ඊට ප්‍රතිචාර නොලද නිසා ක්‍රිෂ් පෙරේරා බොරැල්ල කනත්තට යැවූ බව ඈ පවසා ඇත.
සිය සැමියාගේ රථය බොරැල්ල කනත්ත අවට තිබෙන බව ඇය දැනගෙන ඇත්තේ දුරකතනයේ සක්‍රීයව තිබූ Live Location පහසුකම අනුවය.
දිනේෂ් ෂාෆ්ටර් සිය විධායක නිලධාරියා සහ බිරිඳ සමග Live Location හුවමාරු කරගෙන ඇත්තේ පස්වරු 2.48ය. ඒ අවස්ථාවෙ ඔහු සිට ඇත්තේ බොරැල්ල කනත්තේය. ඒ අනුව 2.05ට මල් පාරේ නිවෙසින් පිටවන ඔහු, 2.45 වන විට බොරැල්ල කනත්තේ සිටි බවට පොලිසිය කරන උපකල්පනය තාක්ෂණික කරුණු මත තහවුරු වෙයි. ටානියා ෂාෆ්ටර්ට සිය සැමියා අනතුරකට පත්ව ඇතැයි සැක පහළ වනුයේ ඔහුගේ ජංගම දුරකතනය සමග පැවැති Live Location පහසුකම එක්වරම අක්‍රීය වීම නිසාය.
ටානියාගේ ඉල්ලීමට බොරැල්ල කනත්තට යන විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරා කනත්තට යාබද කිතුල්වත්ත පාරේ පාගමනින් යමින් සිටියදී සිය හාම්පුතාගේ රථය කනත්ත තුළ තිබෙනු දැක ඇත. ඔහු කනත්තට යන්නේ ඉන් අනතුරුවය. විධායක නිලධාරියාට දිනේෂ් ෂාෆ්ටර් සහ ඔහුගේ රථය බොරැල්ල කනත්තේ තිබී හමුවනුයේ පස්වරු 3.30ට පමණ වන අතර ඊළඟ විනාඩි 15 තුළ ඔහු තම හම්පුතා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ටානියා සිය සැමියාට කෙටි පණිවුඩය යවූ වේලාව පස්වරු 2.15 ලෙස සඳහන් වන බැවින් එම කෙටි පණිවුඩය යැවූ වේලාවේ සිට පැය එකයි කාලක් තුළ දිනේෂ් ෂාෆ්ටර් සොයාගැනීමට විධායක නිලධාරියා සමත්ව ඇත. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට අනුව ෂාෆ්ටර් සිය රියෙන් බොරැල්ල කනත්තට පැමිණ ඇත්තේ පස්වරු 2.45ට පමණය. ඒ අනුව නිවෙසින් පිටවූ මොහොතේ සිට විනාඩි 50ක් තුළ ඔහු බොරැල්ල කනත්තට පැමිණ තිබේ. මේ විනාඩි 50 තුළ මුණගැසුණු අය මෙන්ම කළ කී දෑ පිළිබඳවද මේ වන විට පොලිසිය සිය දැඩි අවධානය යොමුකර ඇත. දැනට වාර්තා වන පරිදි මල් පාරේ නිවෙසින් පස්වරු 2.05ට නික්මෙන ඔහු මලලසේකර මාවතේ Rodrigo’s Lozingry Flavours නම් අවන්හලට ගොඩවැදී ඇත. එපමණක්ද නොව ඔහු එහිදී කෙටි කෑම කිහිපයක්ද මිලදී ගෙන ඇති බව පොලිසිය අනාවරණ කරගෙන ඇත. නිවෙසේ සිට කිලෝමීටර් දෙක තුනක් දුරින් පිහිටි කනත්තට එන ගමනේදී ඔහු කෙටි කෑම කිහිපයක් රැගෙන ආවේ හමුවීමට බලාපොරොතු වූ පුද්ගලයා එනතෙක් රැඳී සිටීමට වේ යැයි සිතා විය හැකිය.
දිනේෂ් ෂාෆ්ටර් සිය නිවෙසින් පිටවූ මොහොතේ සිට බොරැල්ල කනත්ත තෙක් ආ ගමන් මඟේ ඇති සී.සී.ටී.වී. දර්ශන පිළිබඳ විමර්ශනය කරන පරීක්ෂණ කණ්ඩායම් යම් කිසිවෙක් ඔහු පසුපස ගමන් කළේද යන්න ගැන සොයා බලමින් සිටී. මේ ඝාතනය සම්බන්ධව මුල් අවස්ථාවේ සිට ප්‍රශ්න කිරීම්වලට ලක්වුණු බ්‍රයන් තෝමස් නම් ක්‍රිකට් විචාරකයාගේ දුරකතනයට දිනේෂ් ෂාෆ්ටර්ගෙන් ලද කෙටි පණිවුඩ පිළිබඳ මේ වන විටත් පොලිසිය සිය දැඩි අවධානය යොමුකර තිබේ. පස්වරු 2.42ට ලැබී අති එම පණිවුඩයෙන් කියැවෙන්නේ ‘ඔබ පැමිණෙන තෙක් මා රැඳී සිටිනවා’ යන්නය. ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රයන් තෝමස් ‘ඔබ කියන දේ මට නොතේරේ’ යන පණිවුඩය යවා ඇත. ඊළඟ විනාඩියේදී බ්‍රයන් තෝමස් වෙත ෂාෆ්ටර්ගේ දුරකතනයෙන් වට්ස්ඇප් පණිවුඩයක් ලැබී ඇත. ‘ඔබ පැවසූ ලෙස සියලු පණිවුඩ මකා දැමූ බව’ එහි සඳහන්ව තිබූ බවත්, ‘මා ඔබට පණිවුඩ මකන්න කීවේ කවදාද?’ ලෙසින් ඊට පිළිතුරු යැවූ බවත් බ්‍රයන් තෝමස් පරීක්ෂණ කණ්ඩාම් හමුවේ පවසා ඇත. කෙසේ වෙතත් මේ පණිවුඩ යවා ඇත්තේ ෂාෆ්ටර් විසින් නොව ඝාතකයා විසින් යැයි පොලිසිය සැක කරයි. බ්‍රයන් තෝමස් පරීක්ෂණ කණ්ඩායම් හමුවේ පවසා ඇත්තේද එම පණිවුඩවල බස් වහර ෂාෆ්ටර් භාවිත කරන භාෂාවට වඩා වෙනස් බව තමාටද වැටහුණු බවයි. ඒ අනුව එම පණිවුඩ ඝාතකයා විසින් පරීක්ෂණ කණ්ඩායම් නොමඟ යැවීමට එවන ලද ඒවා විය හැකි බවට ඔවුන් සැක කරයි.
මේ වන විටත් මෙම ඝාතනය ගැන සිදුකරන පරික්ෂණවලදී 25 දෙනකුට ආසන්න ගණනකින් ප්‍රකාශ ලබාගෙන ඇත. ටානියා ෂාෆ්ටර්, ක්‍රිෂ් පෙරේරා සහ තවත් දෙදෙනකුගේ ජංගම දුරකතන පොලිස් භාරයට ගෙන ඇති අතර ඒවායේ ඇමතුම් විස්තර ලබාගනු වස් අධිකරණ නියෝගයක් ලබගෙන ඇත. එමෙන්ම දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික කටයුතු සහ ඒවායේ හවුල්කරුවන් පිළිබඳවද ඔවුනගේ අවධානය යොමුව තිබේ. ඊට අමතරව පසුගිය කාලයේ ව්‍යාපාරික ආරවුල් පිළිබඳ ඔහු ක්‍රියාකළ ආකාරය, සිදුකළ පොලිස් පැමිණිලි යන කරුණුද ඔවුන්ගේ අවධානයට ලක්ව අත. ඝාතනය කරන ලද දිනේෂ් ෂාෆ්ටර් කැපිටල් ට්රෂෙරීස් නම් සමාගමේ සභාපති ධුරයද හොබවයි. එම සමාගම මෙරට ප්‍රාථමික මූල්‍ය වෙළෙඳපොළ කටයුතුවලට දායක වන සමාගමකි. එහි සභාපතිවරයා වන දිනේෂ් ෂාෆ්ටර් මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක්ද වෙයි. 2015.02.01 සිට 2015.03.14 දක්වා මෙරට සිදුවූ බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බලන්නට පත්කළ ජනධිපති කොමිසමේ ඔහු තීරණාත්මක සාක්ෂිකරුවෙකි.
ෂාෆ්ටර් ඝාතනය පිළිබඳ සිදුකරමින් පවතින පරීක්ෂණ ඉදිරියේ පවතින ගැටලු රැසකි. සමාගමේ විධායක නිලධාරියා Live Location පහසුකම සක්‍රීය කරන ලෙස දිනෙෂ් ෂාෆ්ටර්ගෙන් ඉල්ලා සිටියද ඔහු එය කර අත්තේ බොරැල්ල කනත්තට පැමිණීමෙන් අනතුරුවය. එසේ කළේ යම් අනතුරක සේයාවක් දුටු නිසාද? ඔහු කනත්තට පැමිණියේ කවුරුන් මුණගැසීමටද යන කරුණු පරීක්ෂණ ඉදිරියේ ඇති අභියෝග වෙයි. දිනේෂ් ෂාෆ්ටර් සිය දුරකතනයේ Live Location සක්‍රීය කරනුයේ පස්වරු 2.48ටය. එහෙත් ඔහුගේ බිරිඳ පවසන ආකාරයට එම පහසුකම පස්වරු 3.15 වන විට බිඳවැටී ඇත. ඇය විධායක නිලධාරි ක්‍රිෂ් පෙරේරාට සිය සැමියා ගැන සොයා බලන්නැයි දන්වන්නේ ඉන් පසුවය. ඒ අනුව 3.15 වන විට දුරකතනයේ Live Location පහසුකම විසන්ධි කළේ කවුද? ඔහු ඝාතකයාද යන ගැටලුව මතුවේ. ‘ඔබ පමිණෙන තෙක් මා බලා සිටිනවා’ යන කෙටි පණිවුඩය බ්‍රයන් තෝමස්ට දිනේෂ්ගේ දුරකතනයෙන් ලැබෙන්නේ පස්වරු 2.42ටය. එම පණිවුඩය එව්වේ ඝාතකයා නම් ඒ වන විටත් දුරකතනය පැවතියේ ඔහු භාරයේද? එසේ නම් 2.48 දුරකතනයේ Live Location සක්‍රීය කළේ කවුරුන් විසින්ද? එය ඝාතකයා අතින් වැරදීමකින් සිදුවූවක්ද? නොඑසේ නම් පරීක්ෂණ අවුල් කිරීමට කළ උපක්රමයක්ද? මේ සියල්ල විසඳාගත යුතු ගැටලුය.
දිනේෂ් ෂාෆ්ටර් මේ ගමන තනිවම යන්නේ එය අතිශය පුද්ගලික එකක් වූ නිසාද? එවැනි ගමනක් නම් ඔහු Live Location පහසුකම සක්‍රීය කරනුයේ තම ජීවිතය අවදානම් බව වටහා ගත් නිසාද? මෙතරම් ප්‍රකට ව්‍යාපාරිකයෙක් පුද්ගලයෙක් හමුවීමට සුසාන භූමියක් තෝරාගත්තේ ඇයි? BT යනු බ්‍රයන් තෝමස්ද? දැනට වාර්තා වී ඇති පරිදි කෝටි 143ක මුදලක් සම්බන්ධව ඊඔ හමුවීමට යන බව දිනේෂ් පවසා ඇත්තේ සිය විධායක නිලධාරියාට පමණි. ඔහු එවැන්නක් සිය බිරිඳට නොකියූ බව ඈ පවසා ඇත. BT හමුවීමට යන බව කියූ දිනේෂ් ෂාෆ්ටර්ට විධායක නිලධාරියා Live Location පහසුකම තම දුරකතනයට ලබා දෙන්නැයි කීවේ ඒ ගමනේ අවදානමක් ඇතැයි සැක සිතූ නිසාද? කෝටි 143ක ගනුදෙනුවක් ගැන කතා කරගන්නට සුසාන භූමියක් තෝරාගැනීමට ෂාෆ්ටර් වැනි ව්‍යාපාරිකයෙක් පෙළඹුණේ ඇයි? බ්‍රයන් තෝමස්ට කෙටි පණිවුඩය සහ වට්ස්ඇප් පණිවුඩය යැවූ පුද්ගලයා ඔහු සහ දිනේෂ් අතර පැවැති නෝක්කාඩුව දැන සිටියේද? මේ සියල්ල විසඳුණු දිනට දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයන්ගෙ දෑතට යකඩ වළලු වැටෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










