එප්පාවලදී පැහැරගැනීමට ලක් වූ බව කියන දරුවා සැබෑ ලෙසම පැහැරගැනීමකට ලක්ව නැති බවත්, ඔහු සිය කැමැත්තෙන්ම විදුලි කාර්මිකයා සමඟ ගොස් තිබෙන බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි එප්පාවල පොලීසිය සඳහන් කරයි.
එප්පාවල පොලිස් වසමේ පිහිටි කිරලෝගම, ගැටදිවුල, පොල්වත්තේ පදිංචිව සිටි ගෞරව ප්‍රේමසුන්දර නමැති අවුරුදු 09ක් වයසැති දරුවකු පසුගියදා නිවෙසින් අතුරුදන්ව ඇති බව වාර්තා විය.
භාරකරුවන්ගේ අනුදැනුමකින් තොරව බාල වයස්කරුවකු සිය කැමැත්තෙන් වුවත් රැගෙන යෑම වරදක් බැවින් එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේය.
දරුවා රැගෙන ගියේ යැයි කියනුයේ ප්‍රියන්ත පුෂ්පකුමාර නමැති 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 19 දා උදෑසන දරුවා පාසලට ඇරලවීමට යැයි කියා රැගෙන ගොස් ඇත්තේත්, පාසලේ සිට උපකාරක පන්තියකට රැගෙන යන බව කියා රැගෙන ගොස් ඇත්තේත් මෙම පුද්ගලයා බව පොලීසිය කියයි. දරුවා එම පුද්ගලයාට ඉතා සමීපව සිටි බැවින් මව එම පුද්ගලයාගේ ත්‍රිරෝද රථයෙන් දරුවා රැගෙන යාමට කිසිදු විරෝධයක් දක්වා නැති බවද පොලීසිය කියයි.
දරුවා 19 දා සවස උපකාරක පංති ගොස් පැමිණීමෙන් පසු රාත්‍රී කාලයේදී නිවැසියන්ට නොදන්වා මෙම පුද්ගලයා සමඟ ත්‍රිරෝද රථයේ නැගී ගොස් ඇති බව පොලීසිය කියයි. එන්.සී.වයි.අයි. 1752 අංකය දරන එම ත්‍රිරෝද රථය ඔහුට අයත් එකකි. දරුවා එදින රැගෙන ගොස් ඇත්තේ මාතලේටය. ඒ ඔහුගේ සහෝදරියගේ නිවෙසටය. පසුදින උදෑසන එම නිවෙසින්ද ඔහු පිටත්ව ගොස් ඇත්තේ දරුවා කටුගස්තොට ඔහු අධ්‍යාපනය ලබන පාසලට ඇරලවීමට බව කියාය.
මෙම දරුවාගේ පියා යුද හමුදාවේ සේවයේ නිරතව සිටින අයෙකි. දරුවාට වැඩිමහල් සහෝදරියකද සිටින බව පොලීසිය කියයි. විදුලි කාර්මිකයා දරුවා රැගෙන ගියේ කුමන අරමුණක් ඇතිවදැයි පැහැදිලි නැතත්, දරුවා රැගෙන තැනින් තැන සැරිසරමින් සිටින බවට තොරතුරු දුරකතන දත්ත විශ්ලේෂණයකදී පෙනී ගොස් තිබේ. බොහෝ විට අද හෙටම දරුවා සොයා ගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බව එප්පාවල පොලීසිය විශ්වාස කරයි.










