මැතිවරණ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බව පෙන්වීම සදහා සමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය උපයෝගී කොටගෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ඉදිරි දින කිහිපය ඇතුළත ආරම්භ කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බවට විපක්ෂයට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
එහිදී ආණ්ඩුව සූදානමින් සිටින්නේ මැතිවරණය පැවැත්වීම සදහා මුදල් නොමැති බවටත්, ජනවාරි මාසය තුළ උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා එම කාලසීමාව ඇතුළත මැතිවරණය පැවැත්විය නොහැකි බවටත් රට ඇතුළේ ජනමතයක් නිර්මාණය කිරීමට බව එම තොරතුරුවලින් විපක්ෂය වෙත දැනගන්නට ලැබී තිබේ.
රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය සහ සියලුම සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මෙම මතය රටට ගෙන යාමට මෙහිදී ආණ්ඩුව පිඹුරුපත් සකස් කොට ඇති බවද එම තොරතුරුවලින් දැනගන්නට ලැබී තිබේ.
කෙසේවෙතත් විපක්ෂයේ සියලු පක්ෂ මේ වනවිට පළාත් පාලන මැතිවරණය ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුවී ඇති අතර ඔවුන් අවධාරණය කොට සිටින්නේ කිසිදු හේතුවක් නිසා හෝ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට නොහැකි බවකි.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නීති විරෝධී අයුරින් කටයුතු කළහොත් ඊට එරෙහිව ආණ්ඩුව සමග සිටින පක්ෂ නොමැතිව සෙසු සියලු පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් ඒකරාශී කොට දෑවැන්ත සන්ධානයක් නිර්මාණය කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
එම කටයුත්ත සදහා රටම පිළිගත් වෘත්තිකයන් රැසක් එක්වී සිටින බව දැනගන්නට ඇති අතර ඔවුන් දැනටමත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ සහ කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම දැවැන්ත සනධානය සදහා මැතිවරණයක් මේ මොහාතේ අවශ්‍ය නැති බවට ප්‍රකාශ නිකුත් කරන පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂයත්, නිහඩව සිටින ජනතා විමුක්ති පෙරමුණත් එක්කර නොගැනීමට තීරණය වී ඇති බවද දැනගන්නට ඇත.