පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසින් සිටින්නේ නම් ඔවුන්ට කිසිම විටෙක නීතියෙන් කට්ට පැනීමට ඉඩක් නොතබන බව ඇමැති විජයදාස රාජපක්ෂ වරක් කීවේය. ද්විත්ව පුරවැසිභාවය සහිත මැති ඇමැතිවරුන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් ජනතාවට ඒ පිළිබඳ දැනුම් දියහැකි බවද ඔහු පැවැසීය. දැන් ඒ වැඩෙත් කරන්න සිදුවී ඇත්තේ ජනතාවටය. ද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු අනාවරණ වී තිබේ. ඒ කවුද කියා ජනතාව ගොස් බෙල්ලෙන් අල්ලා පෙන්වනතුරු ඔවුන්ව රටට හෙළිදරව් කිරීමට පාර්ලිමේන්තුවේ සිටින උදවිය කටයුතු කරන්නේ නැත. මේ සියල්ල අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා ආන්දෝලනාත්මක ලිපියක් සභාගත කළේය. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවත්, ඇයට ලංකාවේ පුරවැසිභාවය නොමැති බවත්, ඒ හේතුවෙන් ඇයට රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් යූ.වී. සරත් රූපසිරි මහතා විසින් 2021.12.15 දින නිකුත් කරන ලද ලිපියකි.
‘ආගමන හා විගමන දෙපාර්තමේන්තුව 2021.12.15 ලිපියක් නිකුත් කරනවා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ට. ඒ ලිපියෙන් කියනවා පාර්ලිමේන්තු මහලේකම්තුමාගේ ලිපියේ අංකය දාලා 2021.09.21 දිනැති ලිපිය සමග බැඳේ. 2021.12.15 දින රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා සිය උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ මින් පෙර ලබාගත් රාජකාරි ගමන් බලපත්‍රයක් සහිතව අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වූ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය අනුව අනාවරණ වූ පහත කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන ලදී. මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය 2004 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන අංක 521398876 දරන බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය භාවිත කරන බව. ඒ අනුව එම කාලසීමාව තුළ ආගමන හා විගමන පනතේ ප්‍රතිපාදන අනුව මේ මන්ත්‍රීතුමියගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී ඇත. නමුත් මන්ත්‍රීතුමිය විසින් තමන්ගේ විදේශීය පුරවැසිභාවය පිළිබඳ තොරතුරු හෙළි නොකොට 2014.01.24 දින නැවත ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව. ඉන් පසුව 2018.11.05 දින මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ මත නැවතත් විදේශීය පුරවැසිභාවය හෙළි නොකර රාජකාරි ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව. ඊළඟට එතුමා කියනවා මන්ත්‍රීතුමිය විසින් නැවතත් ගුවන් ගමන් බලපත්‍රයක් අයැදුම් කිරීමේදී තම විදේශීය පුරවැසිභාවය ඉවත් කරගත් බවට ලේඛනයක් ඉදිරිපත් කර නොමැත. ඒ අනුව මන්ත්‍රීතුමිය සඳහා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදිය නොහැකි බව නිරීක්ෂණය කරමි. මන්ත්‍රීතුමිය විසින් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ලබාගෙන ඇති වීසා පිළිබඳ ලේඛන මෙම ගමන් බලපත්‍රය භාවිත කර ඇති ආකාරය පිළිබඳ විස්තර සමග මම අමුණා එවමි….’ මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී එහෙම කීවේය.
එම ලිපියට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත මෙම කරුණු දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ඉල්ලා රූපසිරි මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශය වෙත ලිපියක්ද යොමු කොට ඇත.
එකී ලිපිය මන්ත්‍රීවරයා විසින් සභාගත කිරීමත් සමග මහත් ආන්දෝලනයක් ඇති විය. ඩයනා ගමගේ සම්බන්ධ සිදුවීමට දරුණුම ගල් ප්‍රහාරය එල්ල වුණේ එතැනිනි.
ඩයනා ගමගේ යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අතලොස්සක් වන මන්ත්‍රීවරියන්ගෙන් අයෙකි. ඇය රාජ්‍ය අමාත්‍යවරියකි. බොහෝ අවස්ථාවල ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් සමාජය තුළ විශේෂ අවධානයක් දිනාගත් තැනැත්තියකි. එනමුත් ඩයනා ගමගේ වඩාත් ආන්දෝලනයට ලක්ව සිටින්නේ, ඇයගේ පුරවැසිභාවය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබීම හේතුවෙනි. 2021 අගෝස්තු මාසයේදී ඩයනා ගමගේගේ සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වය අහෝසි කර පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුවේ පක්ෂයේ මතයට එරෙහිව යමින් ඇය 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහයෝගය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය සමග එක්වූ නිසාය.
ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර අභියාචනාධිකරණය ඉකුත් නොවැ. 28 අවසර ලබාදුන්නේය. ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ඩයනා ගමගේ ඇතුළු පාර්ශ්වකරුවන්ට දෙසැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කරනු ලැබීය. ඊට අමතරව ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඬුල්ල ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
‘මම මේ රටේ ඉපදුණේ, මම ඉස්කොලේ ගියේ මේ රටේ. මම මේ රටෙන් යනකොට අවුරුදු 16කට කිට්ටුයි. මගේ අම්මා බ්‍රිතාන්‍ය ජාතියේ කෙනෙක්. මගේ පරම්පරාව අම්මාගේ බ්‍රිතාන්‍ය. මගේ සීයා බ්‍රිටිෂ් ආර්මි ඔෆිසර් කෙනෙක් ලංකාව භාරව හිටපු දෙවැනි ලෝක යුද්දේ. මගේ ආච්චි 17 වැනි සියවසේ රටට සුද්දෝ ආපු වෙලාවේ ඉඳලා එන පරම්පරාවකින්. මට අම්මගෙන් හිමිවෙන බ්‍රිතාන්‍ය අයිතිවාසිකමක් තියෙනවා. නමුත් මම ශ්‍රී ලංකාවේ, මගේ අයි.ඩී. ශ්‍රී ලංකාවේ. මගේ පාස්පෝට් ශ්‍රී ලංකාවේ. මම මේ රටේ පුරවැසියෙක්…’
ඩයනා එහෙම කියා තිබුණේ විදෙස් මාධ්‍යයක් වූ බී.බී.සී.යටය. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් පමණක් බවත් ඇයට ද්විත්ව පුරවැසිභාවයක් නැතිවා පමණක් නොව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍ර ලබාගෙන ඇත්තේද ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර බවත්, ඇය නම් තුනකින් පෙනී සිට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග දැන් මුළු රටම කැලඹී තිබේ.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස සිටිමින් ඒ බව සඟවා ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් රාජකාරි සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබාගනිමින් ලංකාවේ නීති විරෝධීව රැඳීසිටින්නියක බව මුලින්ම හෙළිදරව් වන්නේ ප්‍රකට සමාජ ක්‍රියාකාරකයකු වන ඕෂල හේරත් කරන ලද පැමිණිල්ලකට අනුවයි. පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අංක ඊ48037/01/2021 දරන ‘බී’ වාර්තාවක් මගින් මූලික කරුණු වාර්තා කරනු ලැබීය.
එකී ‘බී’ වාර්තාව ප්‍රකාරව ඩයනා ගමගේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අනාවරණ වී තිබේ. ඈ විවිධ අවස්ථාවල නම් තුනකින් පෙනී සිට ඇති අතර මුල් නම ‘නයනා සමන්මලී’ය. දෙවැනි වරට ‘ඩයනා නතාෂා කැකණදුර’ ලෙස නම් වෙනස් කරගෙන ඇති ඇය පසුව යළිත් ‘ඩයනා ගමගේ’ ලෙස වෙනස් කරගෙන තිබේ. අරුම පුදුම කාරණය වන්නේ මේ සියල්ල ඇය සිදුකරගෙන ඇත්තේ ඇයගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් ව්‍යාජ ලාංකික පුරවැසිභාවයක් පෙන්වීමට බවට චෝදනා එල්ල වී තිබේ. එහිදී ප්‍රථමයෙන් අංක 6,553 යටතේ උප්පැන්නයක් සකස් කරගෙන ඇත්තේ ‘දකුණු කොළඹ’ කොට්ඨාසයකින්ය. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි කොට්ඨාසයක් නැත. එය හොර උප්පැන්නක් බව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරිය රහස් පොලිසියට සහතික කර ඇත.
මෙම විමර්ශනයේදී ඇය සතු විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත. එහිදී මුලින් හෙළිදරව් වී ඇත්තේ ඇය එන්.5091386 අංකය දරන 2014 ජනවාරි 24 දිනැති ගුවන් ගමන් බලපත්‍රයක් පරිහරණය කර ඇති බවය. 2004 දෙසැම්බර් 22 නිකුත් කළ 658534399වී අංකය දරන ජාතික හැඳුනුම්පත සහ අංක 6553 අංකය සහිත උප්පැන්න සහතිකය යොදාගෙනය. එපමණක් නොව, 2018 අගෝස්තු 07 දිනැති ඕ.එල්. 5654794 අංකය දරන රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් ද ඈ පරිහරණය කර තිබේ. එය පෙර සඳහන් ජාතික හැඳුනුම්පත සහ අංක 4683 දරන වෙනත් තවත් උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් ලබාගෙන ඇති විදෙස් ගමන් බලපත්‍රයකි. එම රාජකාරී හැඳුනුම්පත සඳහා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන තනතුරේ සිටි රමණී ගුණවර්ධනගේ ඉල්ලීමක් ප්‍රකාරව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ආර්.එම්.එස්. සමරතුංගගේ ලිපියක් යොදාගෙන ඇත.
රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපතිනිය ලෙස ඩයනා ගමගේ මහත්මිය සේවය කළ බවත්, එම තනතුරේ සේවය කළ බවට තමන් සාමාන්‍ය රාජකාරී පරිපාටිය යටතේ ලිපියක් ඉදිරිපත් කළ බවත් මේ පිළිබඳ ආර්.එම්.එස්. සමරතුංග මහතා ප්‍රකාශයක් දෙමින් කියා ඇත.
රමණී ගුණවර්ධන මහත්මිය කියා ඇත්තේ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර තිබූ බැවින් තමන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලිපියක් යොමුකළ බවත්ය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චම්පික දිනුෂාන් රාමවික්‍රම පවසා ඇත්තේ, ඇය සතුව අංක 09942515 සහ අංක 521398876 සහිත බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර තිබී ඇති බවත් ඒවා තිබියදී ඒ බව වසන් කොට ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පෙනීසිටිමින් ගුවන් බලපත්‍ර ලබාගෙන ඇති බවත්ය. 1948 අංක 18 දරන පුරවැසි පනත අනුව විදේශීය රටක පුරවැසිභාවය ලබාගන්නා ශ්‍රී ලාංකිකයකුට මෙරට පුරවැසිභාවය අහෝසි වන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
එම ‘බී’ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා ප්‍රත්‍යන්ත පාලක කුසුමාවේල් අතුකෝරාළ මහත්මියගේ ප්‍රකාශයක් අනුව අංක 521398876 සහිත බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඩයනා ගමගේ කිහිප වතාවක් ශ්‍රී ලංකාවේ වීසා ලබාගෙන ඇති බවය. ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්තවල සඳහන් වන බවය. එලෙස බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක ලෙස ලංකාවට පැමිණීමට වීසා ලබාගත් ඇය, ඒ අතරතුරේම 2004 දී ලාංකික ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇත. ඒ පිළිබඳ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඉෂංකා වීරකෝන්ගේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඇය කියා ඇත්තේ 2004 දෙසැම්බර් 22 වැනිදා ඇය ජාතික හැඳුනුම්පත ලබාගෙන ඇති බවය. ඒ සඳහා පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලිපිනයක් ඉදිරිපත් කර ඇත. ඇය වැඩිදුරටත් කියා ඇත්තේ ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ලබාගත් කෙනකු එය ලබාගත් දින සිට මාස 06ක් ඇතුළත පුද්ගලයන් ලියාපදිංචි වීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වියයුතු බවය.
මීට අමතරව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජීවනී කරුණාරත්නගෙන් ලබාගත් ප්‍රකාශයක් අනුව ඩයනා ගමගේ මහත්මියගේ අංක 6553 අංකය සහිත උප්පැන්න සහතිකයේ සඳහන් කරුණු වැරදි බවත් හෙළි වී තිබේ.
ඇය එම ව්‍යාජ උප්පැන්න ඉදිරිපත් කරමින් ව්‍යාජ හැඳුනුම්පතක් ලබාගෙන ඇත. අංක 658534399V දරන එම හැඳුනුම්පත ලබාගෙන ඇත්තේ 2004 දෙසැම්බර් 22 දාය. එහි පදිංචිය ලෙස සඳහන් කර ඇත්තේ අංක 7/9 ශ්‍රී නකලා හරස් පාර, එරික්කමුල්ල, කෙසෙල්වත්ත, පානදුර නම් ලිපිනයකි.
යම් ලාංකිකයකු වෙනත් රටක පුරවැසිභාවයක් ලබාගත් වහාම ඔහුගේ හෝ ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය එසැණින්ම අහෝසි වී යයි. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවයක් ලබාගන්නේ නම් එම ද්විත්ව පුරවැසිභාවය ලබාගත් දින සිට මාස 6ක් ඇතුළත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ යළි ලියාපදිංචි විය යුතුය. එවිට පැරණි ජාතික හැඳුනුම්පත අවලංගු කොට නව අංකයකින් නව හැඳුනුම්පතක් නිකුත් කරයි. මේ දක්වා ඩයනා ගමගේ ද්විත්ව පුරවැසිභාවයක් ලබාගත් බවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දී නව හැඳුනුම්පතක් ලබාගෙන නැත. ඒ අනුව දැන් ඇයට ඇත්තේ අවලංගු වූ හැඳුනුම්පතකි. එයද ව්‍යාජ එකක් බවට චෝදනා එල්ල වී ඇත.
මේ අනුව ඩයනා දණ්ඩ නීති සංග්‍රහයේ 175 වගන්තිය හා ආගමික හා විගමික පනතේ 45(1) (අ) සහ (ඈ) වගන්ති යටතේ බරපතළ වැරදි සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් ලෙස බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයකට හිමිකම් කියන අතර එම බ්‍රිතාන්‍ය පාස්පෝට් අංකය 521398876 වේ. බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණි ඇය, 2004 ඔක්තෝබර් 10 වැනිදා සිට වරින් වර ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සංචාරක වීසා සහ වාස වීසා අයැදුම් කර තිබේ.
අවසන් වරට 2014 අගෝස්තු 27 සිට 2015 ජූලි 16 දක්වා වාස වීසාවක් ලබාගෙන ඇත. ඉන්පසු ඇය වීසා ලබාගෙන නැත. ඇයට ලංකාවේ නීත්‍යනුකූල ද්විත්ව පුරවැසිභාවයක් ද නොමැති බව ඉහත දී පෙන්වා දී තිබේ. එනම් ඇය 2015 අගෝස්තු 16 සිට ලංකාවේ ඉන්නේ පුරවැසිභාවයක් ද නැතිව වීසාවක්ද නැතිව නීති විරෝධීව නොවේද?
දැන් බ්‍රිතාන්‍යයේ රජු චාල්ස්ය. චාල්ස්ගේ බිරිය වූ ඩයනා මීට කලකට පෙර මියගියාය. එහෙත් බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ඩයනා ගමගේ තවමත් ලංකාවේය. ඇය වහාම ගෙන්වා ගන්නා ලෙස චාල්ස්ට හෝ කිව යුතුය.
ටි්‍රක්සි ජයවර්ධන










