එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 51 වැනි සැසිවාරය පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අවසානයට පත්විය. මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් රාශියක්ම සහභාගි වූ මෙම සැසිවාරයට ශ්‍රී ලංකාවද සාමාජිකයකු ලෙස සහභාගි වී සිටියේය. එනම් ශ්‍රී ලංකාවට අදාළ වූ එම සැසිවාරයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කැබිනට් ඇමැතිවරුන් තුන් දෙනකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සහභාගි වූහ. මෙහිදී මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට අදාළ කෙටුම්පත වෙනුවෙන් යෝජනා 19ක් ඇතුළත් වී තිබිණි. වෙනත් කාල වකවානුවකදී පැවැති සැසිවාරයන් මෙන් නොව මෙවර සැසිවාරයේදී මූලිකත්වයක් ගෙන කතාබහට ලක්වූයේ දැනට ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛේදනීය අර්බුදයයි. මෙයට පෙර කාලවලදී බොහෝ විට යුද අපරාධ චෝදනා ඉදිරියට පැමිණ තිබුණත් මෙවර එවැනි චෝදනා ගැන කතාබස් කෙරුණේ පසු අවස්ථාවන්හිදීය. ශ්‍රී ලංකාව තුළ මෙයට මාස 06කට පමණ පෙර ජන අරගලයක් ඇරඹීමෙන් පසුව මෙරට තිබෙන දේශපාලනික ස්ථාවරය බොහෝ දුරට වෙනස් විය. එසේම පොදු ජනතාව විසින් එවැනි අරගලයක් අරඹනු ලැබුවේද ජනතාව එදිනෙදා පීඩා විඳමින් සිටි උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙනි. කෙසේ හෝ ජනතා අරගලය ජයග්‍රහණය කළේය. එහෙත් ඉන් පසුව එම අරගලයේ දෙවැනි ජවනිකාව එළිදකින්නට විය. එය වේදිකාගත කරනු ලැබුවේ වත්මන් රජය විසින් වන අතර එයට අනුව රට තුළ ඇතිවන්නට ගත්තේ මහා භීෂණයක් සහ මර්දනයකි. කෙසේ හෝ මේ වන විටද එම රාජ්‍ය නාටකයේ ජවනිකා දිනෙන් දින වේදිකාගත වෙමින් ඇත.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා ප්‍රධානතම මාතෘකාව වී තිබුණේ මෙම රාජ්‍ය නාටකයේ ජවනිකාය. එනම් මෙවර යුද අපරාධ වේදිකාව පසුපසට ගොස් පොතේ ගුරා විසින් දිගින් දිගටම කියා සිටියේ ජන අරගලය මර්දනයයි. එසේත් නැතිනම් වත්මන් රජය නිරන්තරයෙන් සිදුකිරීමට උත්සාහ කරන රජයට එරෙහි වන්නන්ගේ පූර්ණ මර්දනයයි. එසේම ජනතාව දිනෙන් දිනම මුහුණ දෙනු ලබන මහා ආර්ථික අර්බුදය නිර්මාණය කිරීම සඳහා වගකිව යුතු දේශපාලකයන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම නිසා ඇතිවී තිබෙන ජන මතය නොසැලකීමයි. එසේම අතිශය බියකරු ලෙස ඉහළ යන දරිද්‍රතාව සහ ආහාර සාගතය ගැන රජය කිසිදු පියවරක් නොගැනීමයි. මානව හිමිකම් කොමිසමේ මෙවර 51 වැනි සැසිවාරයේදී මහත් අවධානයට ගැනුණේ මෙම නවතම විෂයන්ය. එම තත්ත්වය ගැන අප යම් වගතුගක් සොයා බලමු.
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතට ප්‍රධාන කරුණු 19ක් ඇතුළත්ය. කෙසේ හෝ ඉන් මුල් කරුණු දෙකෙන්ම මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ගැන යම් අගය කිරීමක් සිදුකර ඇත. එහෙත් යෝජනාවලියේ ඇතුළත් කරුණු 19න් 09ක්ම වෙන්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ මෑතකාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්ය. ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති ආකාරයද එම යෝජනාවලින් දැක්වෙයි. එමෙන්ම සාමකාමී ජනතා විරෝධතාවලට එල්ලවූ බාධා සහ මර්දනයන් මෙන්ම ඒවාට සහභාගි වූවන් අත්අඩංගුවට ගැනීම, එසේම එවැනි මර්දනවලදී සිදුවූ පහරදීම්, තුවාලවීම් සහ මරණ ආදිය ගැනද අවධානය යොමුකර ඇත. මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන්ද මෙම අර්බුදයේදී මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටින බැව්ද පෙන්වා දෙයි. එහෙත් මේ වන විට වත්මන් රජය එම පිරිසද දැඩි ලෙස මර්දනයට ලක්කර ඇතැයි යෝජනාවලිය පෙන්වා දෙයි. එහිදී ප්‍රධානතම කරුණක් ලෙස පෙන්වා දී ඇත්තේ වත්මන් රජය ත්‍රස්ත මර්දන පනත ඒ සඳහා භාවිත කරන බවත්, එය අතිශයින්ම නීති විරෝධී ක්‍රියාවක් බවත්ය.
මෙවැනි වටපිටාවක් යටතේ ඉහත සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැඳීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙසද යෝජනාවලිය වත්මන් ශ්‍රී ලංකා රජයෙන් සහ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියි. එසේම 51 වැනි සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බැව්ය. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාවලියේදී ඉතා දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් සහ හිටපු රාජ්‍ය පාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්ද ගැන ස්වාධීන, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර, නිසි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බැව්ය. එම පියවර ගැනීම ජනතාව වෙනුවෙන් සිදුකෙරෙන අත්‍යාවශ්‍ය වගවීමක් බැව්ද මෙම වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර මෙවර මානව හිමිකම් යෝජනාවලියේ 08 වැනි ඡේදයේ යම් බරපතළ වගතුගක් ප්‍රකාශ කරන බැව් මානව හිමිකම් හා නීති ක්ෂේත්‍ර විද්වතුන් අවධාරණය කරති. එනම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු අපරාධ විමර්ශනය කර වගවීම ඉටුකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට සාක්ෂි රැස් කිරීමට හා විශ්ලේෂණය කිරීමට ශ්‍රී ලංකාව අවසර ලබාදිය යුතු බැව් යෝජනා කෙටුම්පතේ 08 වැනි යෝජනාව සඳහන් කරයි. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට අදාළ මෙම පරීක්ෂණයන් සහ විමර්ශනයන් සිදුකිරීම සඳහා වෙනම කාර්යාලයක් විවෘත කරන බැව්ය. එනම් එම විශේෂ කාර්යාලය විවෘත කරනු ලබන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටා තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලස්ථානය තුළදීය. මෙම යෝජනාව මුලින්ම ගෙන එනු ලැබුවේ පසුගිය 2022 ජුනි මාසයේ පැවැති මානව හිමිකම් කොමිසමේ 50 වැනි සැසිවාරයේදීය. ඒ අනුව මෙවර යෝජනාවටද අදාළව එම විශේෂ විමර්ශන කාර්යාලය පිහිටුවීමේ කටයුතු මේ වන විට සිදුකෙරීගෙන යයි. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද සමයේ සිට මේතාක් සිදුවී ඇති යුද අපරාධ චෝදනා සහ වර්තමාන මානව හිමිකම් අපරාධ චෝදනාද ආශ්‍රිත කරගනිමින් මේ වන විට විවිධ පුද්ගල සාක්ෂි ලක්ෂ ගණනක් සංරක්ෂණය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර සිටියි. මෙම සාක්ෂි ලිඛිත සහ වාචිකවද සංරක්ෂණය කෙරෙන අතර එම කටයුතු සිදුකරනු ලබන්නේ ඉහත අලුතින් පිහිටුවනු ලබන කාර්යාලය තුළදීය. ඉදිරියේදී මෙම කාර්යාලයේ මානව හිමිකම් කොමිසමේ අනෙකුත් සාමාජික රටවල් සමගද සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරනු ලබයි. මේ අනුව යුද සමයේදී සිදුවූ යුද අපරාධ ගැන මෙන්ම දැනට වර්තමානයේදී සිදුවන මානව හිමිකම් අපරාධ ගැනද විමර්ශනය කිරීම් සිදුකරනු ලබයි. ඉන් පසුව එම චෝදනාවලට අදාළව නීතිමය කටයුතු සිදුකිරීමද මෙම කාර්යාලය මගින් සිදුකරනු ලබයි.
කෙසේ හෝ මෙවැනි වටපිටාවක් ගලාගෙන යද්දී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම් යෝජනාව සම්මත විය. 2022-අංක 57/1 දරන මෙම යේජනාව නම්කර ඇත්තේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යනුවෙනි. ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, ලක්සම්බර්ග්, උතුරු මැසඩෝනියාව, ජර්මනිය සහ මලාවි යන රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් මෙම යෝජනාව ගෙන එන ලදී. මෙම යෝජනාවලිය නිල වශයෙන් නම්කර ඇත්තේ HRC/51/L.I/ReV.1 ලෙසින් වන අතර, එයට පක්ෂව ඡන්ද 20ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 07ක් පමණි. ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 20ක් වෙයි. එම රටවල් කාණ්ඩ ලෙස ගෙන බලමු.
යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් :
ආර්ජන්ටිනාව, ආර්මේනියාව, චෙක් ජනරජය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, හොන්ඩුරාස්, ලිතුවේනියාව, මලාවි, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, මෙක්සිකෝව, මොන්ටිනීග්‍රෝ, නෙදර්ලන්තය, පැරගුවේ, පෝලන්තය, කොරියානු ජනරජය, යුක්රේනය, මහා බි්‍රතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය.
යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් රටවල් :
බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව.
ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් :
වෙනින්, බ්‍රසීලය, කැමරූන්, අයිවරි කෝස්ට්, ගැබොන්, ගැම්බියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, කසකස්තානය, මැලේසියාව, මොරිටේනියාව, නැමීබියාව, නේපාලය, කටාරය, සෙනගාලය, සෝමාලියාව, සූඩානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය.
මේ අනුව දැන් මෙම යෝජනාව සම්මත වීම අවසාන වී ඇත. එහෙත් මෙම ක්‍රියාවලිය ගැන ජිනීවා සැසිවාරය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති අලි සබි්‍ර තම නිල ප්‍රකාශය මගින් දැඩි විරෝධයක් පළකර ඇත. ඔහු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකයාය. ඔහුගේ ප්‍රකාශය එම වදනින්ම සොයා බලමු.
‘මානව හිමිකම් කවුන්සිලය සමග විවිධ පැතිවලින් අඛණ්ඩව සහ ඵලදායී ලෙස සම්බන්ධවී සිටියද රටවල් සමූහයක් ශ්‍රී ලංකාවට එරෙහිව ‘රටක් ඉලක්ක කොට ගෙන’ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබීම ගැන කනගාටුව පළකරනවා. ප්‍රධාන අනුග්‍රාහකයන් සමග සම්බන්ධ වීමට අප උත්සාහ කළත් අපගේ අනුමැතියකින් තොරව කවුන්සිලයට ඉදිරිපත් කරන ලද HRC/51/L.I/ReV.1 යෝජනාවලිය ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙම යෝජනාව අනුග්‍රාහකයන්ගේ දේශපාලිනක සලකා බැලීම් ඉදිරියට ගෙන යෑමේ පරමාර්ථය සපුරාලිය හැකි වුවද එය පැහැදිලිවම ශ්‍රී ලංකාවට උපකාරී නොවේ. එය ඡන්දයකින් ප්‍රතික්ෂේප කරන ලෙස අපි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මානව හිමිකම් කොමිසම කළ යුත්තේ මානව හිමිකම් කොමිසමට අදාළ දේවල්. ඒ හින්දා තමයි අපි කියන්නේ අපට මෙතැනින් ගැලවෙන්න දෙන්නේ නැතිව බිලී කොක්කක් දාගෙන ඉන්නවා සදාකාලිකව මෙතැන හිර කරන්න. ඔවුන්ට අවශ්‍ය දේවලටයි, අවශ්‍ය නැති දේවලටයි හැම දේටම ඇඟිලි ගහනවා. ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාව ජීවිතාන්තය දක්වා පාලනය කිරීමට උත්සාහ කරනවා. මේ තත්ත්වය මෙරට ස්වාධිපත්‍යයට හා ස්වාධීනත්වයට හානි කිරීමට යොදාගෙන තිබෙනවා…’ යැයි ඔහු ප්‍රකාශ කර ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ බලවත් සාමාජික රාජ්‍යයන් එල්ල කරන බලපෑම් හමුවේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීම ඉතා අපහසු කාර්යයක් බවද ඡන්ද විමසීමට පෙර අමාත්‍ය අලි සබි්‍ර ප්‍රකාශ කර තිබිණි.
‘ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, කැනඩාව කියන්නේ ලෝකයේ තිබෙන ඉතා බලවත් රටවල්. ඉතින් ඔවුන් හැමෝටම කතා කරගෙන යනවා. සම්පූර්ණයෙන්ම බටහිර ලෝකයම ඔවුන් සතු කරගෙන තිස් දෙනකුගෙන් යුක්තව යෝජනා සම්මුතියක් ඉදිරිපත් කරලා තියෙනවා…’ යැයි විදේශ අමාත්‍ය අලි සබි්‍ර ඡන්ද විමසීමට පෙර ප්‍රකාශ කර තිබිණි.
කෙසේ හෝ අද එක්ත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා යෝජනාව පරාජයට පත්වී අවසානය. මෙම තත්ත්වය පිළිබඳ දේශපාලනික, නීතිමය සහ ජාත්‍යන්තර කටයුතු විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ මෙය ශ්‍රී ලංකාව ලැබූ අලුත්ම රාජ්‍යතාන්ත්‍රික පරාජය බවය. මෙම තත්ත්වය තව තවත් රටේ ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට බලපානු ඇතැයිද ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රකාශ කර තිබිණි. මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාව තුළ අරගලකරුවන් සහ ජන අරගල මෙල්ල කිරීම සඳහා ත්‍රස්තවාදී මර්දන පනත භාවිත කිරීම ඉතා දරුණු මානව හිමිකම් චෝදනාවක් බැව්ද මෙම විද්වත්හු ප්‍රකාශ කර සිටිති. මෙම තත්ත්වය කෙතරම් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට පැහැදිලි කළද වත්මන් රජය එම චෝදනා තඹයකටවත් මායිම් කරන්නේ නැති වීම විශාල ජාත්‍යන්තර අප්‍රසාදයක් යැයි කියති. කෙසේ වුවද ඉදිරියේදී මෙම චෝදනාවලින් ශ්‍රී ලංකාවට ලෙහෙසියෙන් ගැලවීමට නොහැකි වනු ඇතැයිද ජාත්‍යන්තර නීතිය එහිදී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයිද එම විද්වත් පිරිස් ප්‍රකාශ කර සිටිති. මේ අතර තවත් අපූරු කතාවක් ලෙස හෙළිවන්නේ 52 වැනි ඉදිරි සැසිවාරයේදීත් ශ්‍රී ලංකාවට එරෙහිව තවත් නවතම යෝජනාවක් ගෙන ඒමට යම් පාර්ශ්ව මේ වන විටත් කටයුතු කරමින් සිටීමය.

ප්‍රියන්ත හෙට්ටිගේ










