‘89 අවුරුද්දේ එක දවසක් රෑ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායමක් අපේ ගෙදරට ආවා. එතකොට මට අවුරුදු හයක් වගේ ඇති. ඒ අය ඇවිත් මගේ තාත්තව හෙව්වා. තාත්තා හිටියේ නැති නිසා මායි සහෝදරයයි ආච්චියි සීයයි මාමලා දෙන්නෙකුයි එළියට ගත්තා. ඊට පස්සෙ අපේ ගේ ගිනිතිබ්බා. අපිව ටයර් ගොඩක් උඩට නැග්ගුවා. මගේ ඇස් දෙක ඉස්සරහම සීයටයි මාමලා දෙන්නටයි වෙඩි තියලා මැරුවා. සීයට වැදුණු වෙඩිල්ලෙන් විසි වෙච්චි ලේ මගේ මූණ පුරාම විසිරුණා. එහෙම වෙඩි තියලා ඒ අය ආපහු තාත්තා හොයාගෙන එළියට ගියා.’ඔහු එක හුස්මට කියාගෙන යයි. භීෂණ සමයේ රට පුරා සිදු වූ ඇඩ්‍රස් නැති මරණ ප්‍රමාණය අතිවිශාලය. එය බිහිසුණුය, ප්‍රචණ්ඩය, ත්‍රාඩය.
මේ සිදුවීමට පාදක වුණේ නාවලපිටියය. කතා නායකයා සසංක සම්පත් සංජීවය. සසංක සම්පත් සංජීව කියන්නේ නාවලපිටිය සමගි ජන බලවේගයේ සංවිධායකය. පසුගියදා ‘මහින්ද සමග යළි නැගිටිමු’ යනුවෙන් නාවලපිටියේ සංවිධාන කොට තිබූ රැස්වීම අවස්ථාවේ රටේම අවධානය යොමු වුණේ ඔහුටය. ඒ, ඔහු අතින් විශාල පිරිසක් සමග මහින්දට එදිරිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කළ නිසාය.
ඉහළ යන ජීවන වියදම අඩුකරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් රජයට එරෙහි මෙම විරෝධතාවයේ නිරතව සිටියහ. ඔවුන්ගේ ප්‍රධාන උද්ඝෝෂණ පාඨයක් වූයේ ‘හොරා කාපු සල්ලි දියව්’ යන්නයි. මේ අතරතුර සමගි ජන බලවේගය නාවලපිටිය කාර්යාලය වටා පොලිසියේ බලඇණියක් රඳවා තිබිණි.
‘පොලිස් ආඥා පනත අනුව නීති විරෝධී ලෙස පවත්වන මෙම ජන ඒකරාශිවීම නවතා දමා විසිරී යන ලෙස ජනතාවට දැනුම් දෙන බව’ සහකාර පොලිස් අධිකාරිවරයකු නිවේදනය කිරීමත් සමග විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. සසංක ඇතුළු ආධාරකරුවන් විශාල පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ එක්කම සසංක එක රැයෙන් වීරයෙක් බවට පත්විය. රාජපක්ෂවරුන්ට එරෙහිව රට පුරා පැනනැඟී ඇති දැවැන්ත විරෝධතාව අලුතින්ම පුපුරා ගිය තැන වූයේ නාවලපිටියයි. මීට මාස කිහිපයකට පෙරාතුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපතිවරයාගේ මිරිහාන නිවෙස ඉදිරිපිටට ගොස් ආරම්භ කළ හුදකලා අරගලය අවසන් වුණේ රාජපක්ෂ කඳවුරට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවයක් නිර්මාණය වෙමිනි. නාවලපිටියෙන් එහි දෙවැනි පියවර ආරම්භ වූ බව බොහෝ දෙනා පවසන්නට විය. සසංක සම්පත් ආරෝහ පරිණාහ දේහයකින් යුක්ත සංවිධායකවරයෙකි. ඔහුගේ හඬ අනුර බණ්ඩාරනායකගේ හඬට සමානය. සිරුරින් ද ඔහු විශාලය.
අසූඅටේ අවුරුද්දේ එක්තරා දිනයක ජනතා විමුක්ති පෙරමුණේ යැයි කියාගත් කණ්ඩායමක් ඔහුගේ නිවෙසකට ඇතුළු වූහ. එලෙස ඇතුළු වූ කණ්ඩායම තමන් බලාපොරොත්තු වන ගොදුර සොයා බැලීය. ඔවුන් සෙවූ ගොදුරු වූයේ සසංක සම්පත්ගේ තාත්තාය. දැඩි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු නාවලපිටිය පුරාම අතිශයින් ජනප්‍රිය චරිතයකි.
ඒ වන විට ඔහු චන්ද්‍ර කරුණාරත්නගේ පෞද්ගලික ලේකම්වරයාය. ඝාතන කල්ලියට එවරද ගොදුර හමුවුණේ නැත. තමන් අපේක්ෂා කරන ගොදුර නොලැබුණු කල ඔවුහු කෝපයෙන් වියරු වැටුණහ. නිවෙසේ සිටි කුඩා දරුවන් මෙන්ම වියපත් පුද්ගලයන් දෙදෙනකුද ඔවුන් මිදුලට රැගෙන ආහ. අනතුරුව වියපත් දෙදෙනාට වෙඩි තැබීය. සන්නද්ධ කණ්ඩායම එයින් නොනැවතී ගොදුර සොයා පිටත් විය. එහෙත් ඔවුන්ට ගොදුර සොයාගත නොහැකි විය. පසු දින අදාළ සන්නද්ධ කණ්ඩායම නගර සභාවට ගොස් සසංකගේ පියා සිටීදැයි සොයා බැලුවේය. ඔහු නොසිටි හෙයින් එතැන සිටි ඔහුගේ මිතුරන් තුන් දෙනෙකුට වෙඩි තබා මරාදැමීය.
මේ තත්ත්වය දරාගත නොහැකි වීමත්, පදිංචිව සිටි නිවෙස ගිනිතබා තිබීමත් හේතුකොටගෙන සසංකලා නාවලපිටියෙන් ටික කලකට නික්ම අනුරාධපුරයට ගියහ. පවත්නා තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජීවිත තර්ජන නිසා සසංකගේ පියා විදෙස්ගත විය.
ජවිපෙ භීෂණ සමය නිමාවීමත් සමග ඔහු නැවත ලංකාවට පැමිණ දේශපාලන කටයුතුවල නිරත විය. 1994 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළුණු අතර පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්විය. ඉන් පසුව සිදු වූ දේ සසංක කීවේ මෙහෙමය.
‘94 එක ඡන්දෙකින් අපේ ආණ්ඩුව පෙරළුණාට පස්සේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු කරන්න පටන් ගත්තා. එයාලා දිනපු දාට පහුවදා නාවලපිටියේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලය වටකරලා අපේ තාත්තට බොරු චෝදනා දාලා අත්අඩංගුවට ගත්තා. ඒවා පිටිපස්සේ හිටියේ මහින්දානන්ද අලුත්ගමගේලා. අපේ තාත්තා අහිංසකව දේශපාලනය කරපු මිනිහෙක්. හැබැයි බෝම්බ තියාගෙන හිටියා කියල චෝදනා කරලා එයාව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ එයාට ඇප ලැබුණා. හැබැයි මහින්දානන්දලගෙ ආධාරකරුවො ඇවිල්ලා තාත්තව කැපුවා. එයාට මාරාන්තික තුවාල සිද්ධ වුණා. පස්සේ කාලේ මේ වේදනාවෙන්ම එයා සියදිවි නසාගත්තා…’
මේ සියලු පීඩාවන් මැද සසංක සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වුණේ නාවලපිටිය අනුරුද්ධ ජාතික පාසළේය. ඔහු එහිදී විශිෂ්ට සාමාර්ථ අටක් සමග විභාගය සමත් විය. දේශපාලන උණ ඒ වන විටද සසංක තුළ මෝරා එමින් තිබුණේය. ප්‍රදේශයේ සක්‍රීය’ දේශපාලකයන් සමග ඔහු හරි හරියට එක්වී වැඩ කරන්නට පටන් ගත්තේ පාසල් වියේදීමය. කෙසේ වෙතත් උසස් අධ්‍යාපනය හදාරන්නට සසංකට තිබුණු බලවත්ම ගැටලුව වූයේ බරපතළ ආර්ථික අර්බුදයයි. පියා නැති නිවෙස තුළ සාමාන්‍යයෙන් හටගන්නා අගහිඟකම් ඔහුගේ පවුලටද දැඩිව දැනෙමින් තිබිණි.
ඒ වන විට නාවලපිටිය නගරාධිපති ලෙස කටයුතු කළේ නිරූපා කරුණාරත්නය. සසංක ඇය වෙත ගොස් තමන් පත්ව ඇති තත්ත්වය පැහැදිලි කළේය. ඇයගේ සහාය මත ඔහු ලොතරැයි කූඩුවක් පටන් ගත්තේය. එයින් ලැබෙන සුළු ආදායම උපයෝගී කොටගෙන පවුල නඩත්තු කිරීමත්, අධ්‍යාපන කටයුතුත් දෙකම සිදු කළේය. ඔහු ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වූයේ ඔය අතරය.
සසංකගේ දේශපාලන ප්‍රතිවාදියා වූයේ මහින්දානන්ද අලුත්ගමගේය. ඔහු ප්‍රදේශයේ දේශපාලන බලවතාය. අප්‍රමාණ පීඩාවන් මැද සසංක තම බල ප්‍රදේශය තුළ දේශපාලන කටයුතුවල යෙදුණේය. 2015 වන විට නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වූයේ ආනන්ද අලුත්ගමගේය. ආසන සංවිධායකවරයා වශයෙන් ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සසංක දේශපාලන කටයුතුවල යෙදුණේය. නමුත් දින 52 ආණ්ඩුව වකවානුවේ ආනන්ද’ දේශපාලන කරණමක් ගැසුවේය. ඉන් අනතුරුව සසංක දැඩි කැපවීමකින් පක්ෂය ගොඩගැනීමට නාවලපිටිය තුළ කටයුතු කළේය. ඔහු ජනතාව සමග කෙතරම් සමීපව කටයුතු කළේ ද යත් මුළු රටම 2019 ජනාධිපතිවරණය පරාජය වෙද්දීත්, විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බළකොටු කඩාවැටෙද්දීත් ඔහු නාවලපිටිය ජයග්‍රහණය කරවීය.
‘නාවලපිටිය ආසනය අරගෙන මාස හයක් ඇතුළත මම ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා ශක්තිමත් කළා. පාක්ෂිකයන්ව උනන්දු කළා. අන්තිමට නාවලපිටිය’ ඒ මැතිවරණය ජයග්‍රහණය කළා…’ සසංක කීවේය.
ඉන් අනතුරුව පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඔහු කොට්ඨාසය තුළ ඉහළම මනාප ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කළේය. අනතුරුව නගරාධිපති ධුරයට පත්විය. මේ අතර දේශපාලන අලකලංචි බොහොමයක් සිදුවිය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පිරිස සමගි ජන බලවේගය පිහිටුවා ගැනීමත් සමග සසංක ද ඒ පියවර අනුගමනය කළේය.
‘මේ මහ පොළොවේ අපේ රට ගොඩනගන්න පුළුවන් ජනතාවගේ ප්‍රශ්න හරියට තේරුම් ගත්ත එකම මනුස්සයා සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා මං විශ්වාස කරනවා. එතුමා හෘද සාක්ෂියට එකඟව අවංකව දේශපාලනය කරනවා. බල කෑදරකම වෙනුවෙන් එතුමන් ප්‍රතිපත්ති පාවාදීලා නෑ. එහෙම නායකයෙක් එක්ක හිටගන්න මම දෙපාරක් හිතන්නෙත් නෑ….’ සසංක කීවේය.
සසංක සමගි ජන බලවේගයට එක්වීමත් සමගම ඔහුගේ නගරාධිපති ධුරය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය. එහෙත්, ඊට ප්‍රතිචාර ලෙස විපක්ෂ නායක සජිත් සිදුකළේ සසංක සම්පත්ව නාවලපිටියේ සමගි ජන බලවේග ප්‍රධාන සංවිධායක ධුරයටත්, සමගි ජන බලවේග කෘත්‍යාධිකාරි මණ්ඩලයටත් එකවරම පත්කිරීමය.
‘මගේ දේශපාලන පරමාදර්ශය විදියට මම සලකන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒකට හේතුව එතුමා කොච්චර අවංකද කියලා මම හොඳටම දන්නවා. මොන තරම් අවලාද අපහාස උපහාස එතුමට කළත් එතුමන් නොසැලී නොබියව හෘදසාක්ෂියට එකඟව රට වෙනුවෙන් ඉදිරියට යනවා…’ සසංක සම්පත් කීවේය.
‘නාවලපිටිය අරගලයත් එක්ක ඉන් එහාට මොකද කරන්නේ…?’ යනුවෙන් ඇසූ ප්‍රශ්නයට සසංක අපූරු උත්තරයක් දුන්නේය.
‘කවුරු හරි හිතනව නම් මේක පොහොට්ටුව නොවෙන ආණ්ඩුවක් කියලා ඒ තරම් විහිළුවක් තවත් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වැල් පාලමෙන් මේ එගොඩ කරන්නේ රාජපක්ෂ සනුහරය. ඉතින් කවුරු හරි හිතනව නම් ඒක පොහොට්ටුවේ ආණ්ඩුවක් නෙමෙයි කියලා’ ඔළුව පරීක්ෂා කරන එක හොඳයි…’ සසංක කීවේය.
ට්‍රික්සි ජයවර්ධන










