• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරුණට පස්සෙ මොකද වෙන්නේ? කැනඩාවේ වැඩවාසය කරන කළුබෝවිල ආනන්ද තරුණ හාමුදුරුවෝ විස්තර කරයි…

October 11, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මැරුණට පස්සෙ මොකද වෙන්නේ? කැනඩාවේ වැඩවාසය කරන කළුබෝවිල ආනන්ද තරුණ හාමුදුරුවෝ විස්තර කරයි…
Share on WhatsAppShare on Facebook

මරණය කියලා කියන්නේ මනුෂ්‍යයන් වූ අපට වගේම අනෙක් සියලු ජීවීන්ටම බියජනක අත්දැකීමක්. අපේ මරණය ඊළඟ මොහොතේ සිදුවේ යැයි කවුරුන් හෝ කිව්වොත් අපේ හිතට නැඟෙන හැඟීම කොයි තරම් බියජනකද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. උපන්දා පටන් ගොඩනගාගත්තු සියලු වටිනාකම් අහිමි වුණත් මරණයෙන් බේරෙන්න පුළුවන් නම් අපි ඒ සියලු දේ අතහැර ජීවිතය තෝරාගන්න තරම් අසරණ වෙනවා. ඒත් මරණය අතික්‍රමණය කළ, මරණය ඉක්මවා ගිය, මරණ ඉදිරියේ අසරණ නොවුණු උතුමන්වහන්සේලා මේ ලෝක ධාතුව තුළ අප්‍රමාණව වැඩසිටියා. බුදුරජාණන්වහන්සේලා රහතන්වහන්සේ යනු නැවත නූපදින ලෙස මේ මරණය කියන සංකල්පය පරාජය කරපු උත්තමයන්ට. ඉන් මෙහා සියලු ලෝක සත්වයන්ම මරණය ඉදිරියේ හඬාවැටෙනවා. විලාප දෙනවා. ඒ මරණයට ඇති අප්‍රමාණ බිය නිසාමයි.
මරණය ගැන කතා කරද්දී ඒහා බැඳුණු තවත් මාතෘකාවක් ලෙස නැවත ඉපදීම හඳුන්වන්න පුළුවන්. ඇතැම් ආගම්වල නැවත උපතක් සිදුවෙතැයි පිළි නොගන්නා නමුත් බෞද්ධ දර්ශනය ඊට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරනවා. නැවත උපතක් ඇත යන මතය බුදුරජාණන්වහන්සේගේ දේශනාවේ ලෞකික සම්මා දිට්ඨියට අයත් මූලිකම අංගයක්. ඉතින් බෞද්ධයන් විදියට නැවත උපතක් ඇත යනුවෙන් පිළිගැනීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මේ සියලු මාතෘකා ගැන පුළුල් පරාසක් පුරා විහිදුණු දැනුමකින්, අවබෝධයකින් දේශනා කරන ගෞරවනීය ස්වාමින්වහන්සේ නමකගේ දේශනාවක් පසුගියදා අපට අසන්නට ලැබුණා. උන්වහන්සේ පූජ්‍ය කළුබෝවිල ආනන්ද හිමියන්. ආනන්ද ස්වාමින්වහන්සේ නැවත උපත හා බැඳුණු අතීතයේ පැවැති විවිධ දෘෂ්ටි, මතවාද ගැන මනා විවරණයක් ඉදිරිපත් කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කළ සූත්‍රවල සඳහන් දහම් කරුණු සමග ගළපමින් උන්වහන්සේ සිදුකරන මේ පැහැදිලි කිරීම අපි, ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරන්නේ එහි ඇති වටිනාකම නිසාමයි. මේ පූජ්‍ය කළුබෝවිල ආනන්ද ස්වාමින්වහන්සේගේ ඒ වටිනා පැහැදිලි කිරීමයි.

බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන 62ක් වැරැදි දෘෂ්ටි ගැන කතාකරමු. අපි ඉපදීමට පෙර පැවැත්ම, මරණයෙන් මතු පැවැත්ම කියන දේවල් ගැන තමයි මේ දෘෂ්ටි මූලිකවම හැදිලා තියෙන්නේ. එතකොට දෘෂ්ටි කියන්නේ මොනවද? අපි හිතාගෙන ඉන්න විධි. අපි බැසගෙන ඉන්න නිගමන. අපි මොකක් හරි නිගමනයකට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපි විශ්වාස කරන දේවල්. අපේ මරණයෙන් පස්සේ අපට මොකක්ද වෙන්නේ කියන එක ගැනත් අපේ විවිධ දෘෂ්ටි තියෙනවා. මේ දේශනාවෙන් මම ඉදිරිපත් කරන්නේ මරණයෙන් පස්සේ අපට සිදුවෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඇති දෘෂ්ටි 44ක් ගැන. මැරුණට පස්සේ සිදුවෙන්නේ මොකක්ද කියන එක ගැන මිනිස්සු හිතනවා වැඩියි. මේ දෘෂ්ටි අපිට ඇතිවුණේ කොහොමද කියන එක කාලාම සූත්‍රය ඇසුරෙන් විමසා බලමු.

පෙර ආත්මය ගැන දෘෂ්ටි 18ක් තියෙනවා. මරණයෙන් පසු ජීවිතය ගැන දෘෂ්ටි 44ක් තියෙනවා. සියල්ල දෘෂ්ටි 62ක්. මිථ්‍යා දෘෂ්ටි කියලා කියන්නේ මේ දෘෂ්ටි 62කට විතරද? ආත්මයේ පැවැත්ම කියන එකට අමතරව වෙනත් මිථ්‍යා දෘෂ්ටි ඇතිවෙන්න පුළුවන්ද?

ආත්මය කියන අදහස එහෙම නැත්නම් ‘අත්ථ’ ‘මම’ කියන අදහස අපට එක එක ආකාරයට දැනෙනවා. ‘මම’ කියන දේ හඳුනාගන්න පුළුවන් මම ඇඳගෙන ඉන්න ඇඳුමෙන්. කයට දැනෙන සංඥාවලින්. කය කියන එක අයින් කරලා දැම්මත්, හිත කියන එක වැඩකරනවා. එතකොට මේ ආත්මය කියන එක කය සහ හිතීම කියන දෙකෙන්ම අපට දැනෙනවා. එහෙනම් හිතන්න අපි මැරිලා ඉපදෙනකොට, අපි බල්ලෙක් වෙනවා. එහෙම නැත්නම් ගහක් වෙනවා. අපි හිතමු ගහ කියන එකට බල්ලට වගේ සංඥා දැනෙන්නේ නෑ කියලා. ඔය විදියට මැරිලා ඉපදුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන එක ගැන තියෙන අදහස් කතා කරනකොට අපට අදහස් තුනක් හම්බවෙනවා. සංඥීවාදී, අසංඥීවාදී, නේවසංඥී, නාසංඥීවාදී කියලා. ඒකෙන් කියන්නේ අපි මැරිලා බල්ලෙක් වුණාම ඒ බල්ලට තේරෙනවා එයාගෙ ඇඟ ගැන එයාගෙ හිතට තේරෙනවා කියලා. අපි හිතමු අපි මැරිලා ලොකු ඕක් ගහක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා. ඒ ගහට තමන්ගෙ කය හෝ හිතීම ගැන තේරෙන්නේ නැහැ. එහෙම වුණොත් එයා අසංඥීවාදී විදියට ඊළඟ ආත්මය ගැන හිතාගෙන ඉන්නවා. එයා බල්ලෙක් හරි මීයෙක් හරි දෙවියෙක් හරි වෙලා ඉපදුණා නම් එයාට තේරෙනවා මේ ඉන්නේ මම තමයි කියලා. ඒකට කියනවා සංඥීවාදී කියලා කියනවා. සංඥීවාද 16ක් ගැන සඳහන් වෙනවා. අසංඥීවාද 08ක් තියෙනවා. නේවසංඥා නාසංඥාවාද 08ක් ගැනත් කියවෙනවා. එතැනට එන්න කලින් මම මතක් කරන්නම් චතුෂ්කෝටිය කියන්නේ මොකක්ද කියලා. නාලන්දා විශ්වවිද්‍යාලයට සම්බන්ධ කෙනෙක් හිටියා නාගර්ජුනපාදයන් කියලා. ඔහු ගොඩක් කතා කළා ශුන්‍යතාව ගැන. වර්තමාන මහායාන ආගම කියන එක ථෙරවාදයෙන් කැඩනකොට නාගර්ජුනගේ දර්ශනය තමයි ඒ මහායාන දර්ශනය අරගන්නේ. එතකොට මේ ශුන්‍යතා දර්ශනය නාගර්ජුන ගොඩක් මතු කරනවා මේ බෞද්ධ චතුෂ්කෝටික චින්තන රටාව ගැන. ඇරිස්ටෝටල්, බර්ට්‍රන්ඩ් රසල් කියන අය එකතු වෙලා අපට හදලා දීලා තියෙන තර්ක ශාස්ත්‍රයේ ප්‍රධාන නීති තුනක් තියෙනවා. ඒවා තමයි Low of Identity, Law of noncontradiction සහ Law of excluded middle කියන්නේ. Low of Identity කියන්නේ, උදාහරණයක් විදියට ඇපල් ගෙඩියක් ගත්තොත් ඇපල් ගෙඩිය = ඇපල් ගෙඩිය. ඇපල් ගෙඩිය කවදාවත් දොඩම් ගෙඩියක් නෙවෙයි. Law of noncontradiction කියන්නේ ඇපල් කියන එකයි, දොඩම් කියන එකයි දෙකක්. ඒ දෙක කවදාවත් එක වෙන්නේ නෑ. Law of excluded middle කියන්නේ යම් කිසි දේකට තියෙන්න පුළුවන් ඒක පවතිනවා හෝ නොපවතිනවා කියන තත්ත්ව දෙක පමණයි. ඒ කියන්නේ එක්කො ඇපල්, නැත්නම් දොඩම්. මේ ගෙඩිය ඇපල් දොඩම් කියලා එකක් නෑ. එහෙම නැත්නම් ‘අත්ථි’ ‘නත්ථි’ ඇත සහ නැත කියන දෙකම එකට හම්බවෙන්නේ නෑ. මේ නීති ටික කොච්චර ප්‍රබලද කියනවා නම් දෙවියෝ වුණත් මේ නීතිවලට යටත් වෙනවා. උදාහරණයක් කියන්නම්. අපි හිතමු දෙවියන්වහන්සේ හැම දෙයකම නිර්මාතෘ කියලා. දෙවියන්ට ඕනෙම දෙයක් නිර්මාණය කරන්නත් පුළුවන්. එහෙම නම් දෙවියන් හමුවුණු වෙලාවක අහලා බලන්න, කවදාවත් නිර්මාණය කරන්න බැරි දෙයක් නිර්මාණය කරන්න ඔබවහන්සේට පුළුවන්ද කියලා. එහෙම ප්‍රශ්නයක් අපට දෙවියන්ගෙන් අහන්න පුළුවන්. එතකොට දෙවියොත් ලොකු ගැටලුවකට පත්වෙනවා. දෙවියො ඒකට පුළුවන් කිව්වොත් ඒක වැරැදෙනවා. මොකද දෙවියන්ට ඒක නිර්මාණය කරන්න පුළුවන්. දොවියෝ ඒක බැහැයි කිව්වොත් දෙවියන්ගෙ තත්ත්වයට හානියක් වෙනවා. මොකද එතකොට දෙවියො සර්වබලධාරී නොවෙනවා. අපට අහන්න පුළුවන් දෙවියන්ට පුළුවන්ද රවුම් කොටුවක් නිර්මාණය කරන්න කියලා. එතකොට මේ තර්ක ශාස්ත්‍රය බටහිර ලෝකයේ මතුවෙන්න ගත්තාම ඒගොල්ලො කිව්වා දෙවියො වුණත් මේ නීතිවලට යටත් වෙන්න ඕනෙ කියලා.

අපි පැහැදිලි කරගන්න ඕනෙ තවත් දෙයක් තමයි රූප සහ අරූප කියන්නේ මොකක්ද කියන එක. දාර්ශනික බුද්ධාගමේ සඳහන් වෙන පංචස්කන්ධයේ කියැවෙනවා රූප 27ක් ගැන. සාම්ප්‍රදායික අභිධර්මයේ නොයෙක් ස්වාමින්වහන්සේලා කියන කතාවක් තමයි මේ රූප කියන්නේ භෞතික දේවල් කියන එක. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, රස, ගන්ධ, ඕජා කියන ශුද්ධාෂ්ටකවලින් මේ මුළු ලෝකයේම දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක තමයි ඒ අයගේ අදහස. නමුත් මම ඒ අදහස පිළිගන්නේ නෑ. මොකද මෙතැනදී භෞතිකය ගැන කතා කරනවට වඩා සාධාරණයි ඒ භෞතිකය අපි අර්ථ දක්වන ආකාරය ගැන කතා කරන එක. ඒ කියන්නේ මේ පෑන හැදිලා තියෙන අමුද්‍රව්‍ය ගැන කතාකරනවට වඩා මේ පෑන මට පේන්නේ කොහොමද, මම ඒක තේරුම් ගන්නේ කොහොමද කියන ඥාන විභාගත්මක පැත්ත ගැන කතා කරන එක සාධාරණයි කියලා මම හිතනවා. එතකොට ආයිත් මේ අභිධර්මය තුළදී ලෝකයේ හැදිලා තියෙන ද්‍රව්‍ය ගැන කතා කරනවට වඩා ඒ දේවල් අපි තේරුම් ගන්නේ කොහොමද කියන පැත්ත තමයි මට තේරෙන විදියට කතා කරන්නේ.

එතකොට මේ රූපය කියන්නේ අපි යමක් ගැන ඇතිකරගෙන තියෙන සංකල්පයක්. අපි රූප 27ක් ගැන කතා කළා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ‘න උපාදාය’ රූප සහ ‘උපාදාය’ රූප කියන ඉතිරි රූප 23. මම කියන්නේ මේ භෞතිකය කියලා දෙයක් නෑ කියලා. භෞතිකය ගැන කතා කරනවට වඩා අපි මුල්තැන දෙන්නේ භෞතිකය විග්‍රහ කරන්න අපි ළඟ තියෙන සංකල්ප රූප ගැන. එතකොට අරූප කියන්නේ මොකක්ද? මේක අපට හම්බවුණා රූප ධ්‍යාන සහ අරූප ධ්‍යාන ගැන කතාකරද්දී. මම ඒ ගැන සරල උදාහරණයක් කියන්නම්. මගේ අතේ ඇඟිලි 4ක් තියෙනවා. එහෙම නැත්නම් ඇපල් ගෙඩි 4ක් තියෙනවා. නමුත් අපට කවදාවත් පුළුවන්ද ඍණ 4 කියන එක පෙන්වන්න? ඍණ 4 කියන එක අපට භෞතිකව පෙන්නන්න බෑ. අපට සංකල්පිකව පෙන්නන්න පුළුවන්. ඍණ 4 කොළයකට ඇඳලා ලියන්න පුළුවන්. නමුත් මේ ඇඟිලි හතරකින් හෝ ඇපල් ගෙඩි හතරකින් ඍණ හතර පෙන්නන්න බෑ. නමුත් මෙහෙම කියන්න පුළුවන්. මගේ ළඟ ඇඟිලි හතරක් තිබුණා, මම ඒක කාට හරි දුන්නා කියලා. එහෙම නැත්නම් කාගෙ හරි ඇඟිලි හතරක් මම අරගෙන ඉන්නවා, ඒක නිසා මම කාට හරි ඇඟිලි 4ක් ණයයි කියලා. ඒක භෞතිකව පෙන්නන්න බැරි වුණාට සංකල්පයකින් පෙන්වන්න පුළුවන්. මගේ බැංකු ගිණුමේ ඔවර් ඩ්‍රාෆ්ට් එකක් (ඕ.ඩී.) එකක් තියෙනවා. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකේ ක්‍රෙඩිට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මම ගෙවන්න තියෙන්නේ. හැබැයි ඕක පෙන්නන්න පුළුවන් වුණාට පෙන්නන්න බැරි ඒවත් තියෙනවා. උදාහරණයක් විදියට +4 පෙන්නන්න පුළුවන්. -4 සංකල්ප වශයෙන් පෙන්නන්න පුළුවන්, නෑ මෙතැන 4ක් නෑ කියලා. එහෙම නැත්නම් මම 4ක් කාට හරි දෙන්න තියෙනවා කියලා. 4 කියන්නේ 2×2. එතකොට 2×2 = 4. හතරේ වර්ගමූලය මොකක්ද කියලා බැලුවාම ඒකට උත්තර දෙකක් තියෙනවා. -2×-2ත් 4යි. +2×+2ත් 4යි. ඒ කියන්නේ 4ට තියෙනවා උත්තර දෙකක් වර්ගමූලය හෙව්වාම +2 හෝ -2 කියලා. හැබැයි අපි ගත්තොත් -4 වර්ගමූලය මොකක්ද කියලා මොන වගේ එක සමාන සංඛ්‍යා දෙකක් ගුණවෙලාද -4ක් හැදෙන්නේ? මේකට ගණිතයේදී කියන්නේ Complex number System කියලා. Complex number මොබයිල් ටෙලිකොමියුනිකේෂන් ඔක්කොටම අපි භාවිත කරනවා. මේක සාමාන්‍ය ලෝකයේදී පෙන්වන්න විදියක් නෑ. මේක අරූපයි. ඒ කියන්නේ සංකල්ප වශයෙන්වත් මේක පෙන්නන්න විදියක් නෑ. -4 කියන එක අපට සංකල්පයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් -4 වර්ගමූලය අපට සංකල්පයකින්වත් හිතාගන්න අමාරුයි. ඒක හරියට ‘අත්ථීච’ ‘නත්ථීච’ එහෙම නැත්නම් ‘ඇත’ සහ ‘නැත’ දෙකම සංකල්ප වශයෙන් එකට හමුවෙනවා කියන එක හිතාගන්න පුළුවන්. ඒත් ඇත්තේත් නැත නැත්තේත් නැත කියන එක එහෙම හිතාගන්න අමාරුයි.

චතුෂ්කෝටිය සහ රූප කියන සංකල්ප දෙක අපට වැදගත් වෙන්නේ සංඥීවාද එහෙම නැත්නම් මැරුණට පස්සේ තියෙන ආත්මයට අපට දැනෙන්න පුළුවන් කියන එක මෙන්න වේ විදියට ඉදිරිපත් කළා. මේ ආත්මය රූපවත්. මැරුණට පස්සේ තියෙන එක අපට තේරෙනවා. කය සහ හිත කියන එක රූපවමය ආකාරයකින් අපට තේරෙනවා. ඒක නිත්‍යයි, සංඥාවක් සහිතයි. අනිත් පැත්තෙන් අදහසක් ආවා නෑ ඒක රූපවත් නොවෙයි කියලා. ඊළඟට අදහසක් ආවා ඒක රූපීත් වේ, අරූපීත් වේ කියලා. රූපීච අරූපීච කියලා. තවත් අදහසක් ආවා නෑ ඒක රූපයක් ඇත්තේද නොවේද, රූපයක් නැත්තේද නොවේ කියලා. නෙවරූපි නාරූපි කියලා. චතුෂ්කෝටික කියන ෆෝමැට් එකට ඒක ආයෙත් වැටෙනවා. තවත් අදහසක් තමයි මරණයෙන් පසුව එන ආත්මය අනන්තද, අන්තද කියලා. අන්තවා, අනන්තවා කියලා. සමහරු හිතනවා මරණයෙන් පසුව එන ආත්මය අන්තයි කියලා. තවත් සමහරු හිතනවා ඒක අනන්තයි කියලා. තවත් අය හිතනවා ඒක අන්ත සහ අනන්ත කියන දෙකටම අයිතියි කියලා. ‘අන්තවාච අනන්තවා අත්තාහෝති’. තවත් කට්ටියක් හිතනවා ඒ දෙකම නැහැ කියලා.

තවත් පිරිසක් හිතුවා ‘ඒකත්ත සංඥී නානත්ත සංඥී පරිත්ත සංඥී අප්පමත්ත සංඥී’ කියලා. ඒ කියන්නේ එක තැනකින් අපට මේක දැනෙනවා. නැත්නම් ආකාර ගොඩකින් දැනෙනවා. එහෙමත් නැත්නම් චුට්ටක් දැනෙනවා. ලිමිටඩ්, හෝ අන් ලිමිටඩ් දැනෙනවා වගේ අදහසක්. මේ මත පැතිරෙන්න ගත්තේ ඒ කාලේ තිබුණු භාවනාවන් ආශ්‍රයෙන්. මට හම්බවුණු කෙනෙක් කිව්වා මැරුණට පස්සේ අපි අනිවාර්යයෙන්ම යන්නේ සුඛ (හොඳ) ආත්මයකට විතරයි කියලා. ‘ඒකන්ත සුඛී අත්තා’. තව කට්ටියක් හිතනවා මැරුණට පස්සේ මම නම් අනිවාර්යෙන්ම දුකට යන්නේ කියලා. ‘ඒකන්ත දුඛී අත්තා’ කියලා.

වයිකිංග්ස්ලා අදහන ‘නෝස්’ කියන ආගමේ විදියට මිනිහෙක් මැරුණට පස්සේ එයා අනිවාර්යයෙන්ම දිව්‍යලෝකෙට තමයි යන්නේ. එහෙම යන්න නම් ඒ අය දෙවියන්ට සුබ විදියට මැරෙන්න ඕනෙ. ඒ කියන්නේ යුද්ධයක් අතරතුර, සතුරන්ට විරුද්ධව කරන සටනකදී වගේ මැරුණොත් කෙළින්ම දිව්‍යලෝකෙ උපදින්නේ ‘ඒකන්ත සුඛී අත්තා’. එහෙම නැතිව යුද්ධයට බයේ පැනලා යනකොට මැරුණොත් අනිවාර්යයෙන්ම අපායට යන්නේ ‘ඒකන්ත දුඛී අත්තා’. තව කට්ටියක් හිතුවා ‘සුඛ දුඛි අත්තා’ සැප සහ දුක් කියන දෙකම තියෙන තැනක උපදිනවා කියලා. තවත් පිරිසක් හිතුවා ‘අදුක්ඛම සුඛි අත්තා’ සැප දුක් දෙකම නැහැ කියලා. මේ ඔක්කොම හිතුවේ සංඥීවාදී කියන ක්‍රමවේදයට. මැරුණට පස්සේ ආත්මය අපට සංඥාවක් විදියට තේරෙනවා කියලා. එහෙම නොහිතපු කට්ටියකුත් හිටියා. අසංඥීවාදීන්. ඔවුන් හිතුවේ කොහොමද ආත්මය රූපවත්. නමුත් අපට සංඥාවක් නෑ. ගහකට වගේ. අපට ගහේ රූපයක් තියෙනවා. නමුත් ගහට තමන්ව හඳුනාගන්න විදියක් නෑ. ගහට විඥානයකුත් නෑ කියලා.

අපි කතා කළ යුතු තවත් දෙයක් තමයි අෂ්ට සමාපත්ති කියන්නේ. රූපාවචර ධ්‍යාන සහ අරූපාවචර ධ්‍යාන. මේක ඉතා වැදගත් අදහසක්. බුද්ධාගමේ කියැවෙන මේ දේවල් තේරුම් ගන්න නම් ධ්‍යාන කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්න නෙවෙයි ඒකට ගිහිල්ලා බලන්න ඕනෙ. රූපාවචර ධ්‍යාන කියන්නේ මොකක්ද, අරූපාවචර ධ්‍යාන කියන්නේ මොකක්ද කියන එක ගැන. මේවට තමයි අෂ්ට සමාපත්ති කියන්නේ. මේවා බුද්ධාගමට සම්බන්ධ දෙයක් නෙවෙයි. බුදුදහම බිහිවෙන්න පෙර සිටම මිනිස්සු මේ දේවල් හොයාගෙන තිබුණා. ආලාරකාලාම, උද්ධකරාමපුත්ත වගේ සමහරු රූපාවචර ධ්‍යාන ඉක්මවා ගිහින් ආකාසානඤ්චායතන විඤ්ඤාණංචායතන වගේ ධ්‍යාන තල ගැනත් දැනගෙන හිටියා. මේ අතරින් ප්‍රථම ධ්‍යානය කියන එක අපට හම්බවෙන්නේ ‘සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමං ජානං උපසම්පජ්ජ විහරති’ කියලා. ඒකෙ තේරුම තමයි හිතේ තියෙන බර ගතිය නැතිවෙලා ඉතා සැහැල්ලු පොසිටිව් හැඟීම් ටිකක් විතරක් ඉතිරි වෙනවා. සවිතක්ක සවිචාර කියන්නේ අපේ හිතේ ඇතුළේ යන කතාව. මම කතා කරන අතරත් ඔබ හිත ඇතුළෙන් මම කියන දේට එකඟ වෙනවා, නැත්නම් තර්ක කරනවා. අපි ගහක් දැක්කාම ඒ ගහ ගැනත් අපි කල්පනා කරනවා. කල්පනාව අපට හම්බවෙන්නේ කතාවක් විදියට. ඒ කතාවට තමයි සවිතක්කය සවිචාරය කියන්නේ. ඊට අමතරව විවේකජ, පීතිසුඛ කියන එකත් හම්බවෙනවා. ඒ කියන්නේ හිතට දැනෙන ප්‍රීතියකුත්, කයට දැනෙන සුඛයකුත් තියෙනවා හිත සහ ගත කියන දෙක වෙන්කරලා ගත්තොත්. දෙවැනි ධ්‍යානයේ තියෙන විශේෂත්වය තමයි විතක්ක විචාරය කියන එක නැතිවෙලා යනවා. විතක්ක විචාරය නැතිවුණාම මුකුත් නෑනේ. නමුත් ඒකට වචනයක් දැම්මා අවිතක්ක අවිචාර කියලා. ඒ කියන්නේ මොකක්වත් තියෙන දෙයකට නෙවෙයි. විතක්ක සහ විචාරය නැහැ කියන එකයි. අවිතක්කී වූ අවිචාරී වූ සමාධිමත් ප්‍රීති සුඛයකට ඔන්න අපේ හිත එනවා දෙවැනි ධ්‍යානයේදී. තුන්වැනි ධ්‍යානයට යනකොට ප්‍රීතිය කියන එක නැතිවෙලා යනවා. සතුට සහ දුක කියන එකෙන් දුක මුලින්ම නැතිවුණා. සතුටක්, ප්‍රීතියක් ඉතිරි වුණා. ඒ ප්‍රීතියත් නැතිවෙලා එතැන උපේක්ෂාවක් ඉතිරි වෙනවා. නමුත් සිරුරට තියෙන සුඛය ඉතිරි වෙනවා. හතරවැනි ධ්‍යානයට යනකොට ඇඟට දැනෙන සුඛයත් නැතිවෙලා ‘අදුක්ඛම සුඛ උපෙක්ඛා සති පරිශුද්ධං’ කියන තැනට පත්වෙනවා. එතැනින් එහාට මේ අරූපාවචර ධ්‍යාන කියන එක මොකක්ද කියන එක ඇත්තටම මාත් දන්නෙ නෑ. මට මොකක් හරි හිතලා කියන්න පුළුවන්. මෙන්න මේ වගේ කියලා. නමුත් ඒකෙ නැති එකක් මට කියන්න බෑ. මට හම්බවෙලා තියෙනවා ආකාසානඤ්චායතනය වඩපු අය. ඒ අය කියනවා මේක නිල් අහස වගේ, වළාකුළු පාවුණා කියලා. නමුත් ඒක ටිකක් ප්‍රාථමික අදහසක්. ආකාසානඤ්චායතනය කියන්නේ නිල් පාට අහසක් තියෙන ඉර හඳ තියෙන දෙයකට නෙවෙයි. ඊට වඩා වෙනස් තැනක්. මොකද අහස, වළාකුළු අපට රූප ඇසුරෙන් හම්බවෙන දෙයක්. අරූපාවචර ධ්‍යාන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ආකාස කියන්නේ ස්පේස් කියන අදහසට. මේ වෙලාවෙ ඔබ අස් දෙක වහගන්න. දැන් මම සහ කකුල අතර යම් කිසි දුරක් තියෙනවා. මම ඉන්නේ කකුලෙම නෙවෙයි. ගොඩක් වෙලාවට මිනිස්සු මම ඉන්නවා කියලා හඳුනාගන්නේ මුහුණ ආශ්‍රිතවයි. එතකොට මම සහ කකුල අතර යම් දුරක් තියෙනවා. ඒකට හේතුව තමයි කකුල යටින් කපලා දැම්මත් මම ඉවර වෙන්නේ නෑනෙ. එතකොට දණහිස හරියෙන් ඔන්න මම තියෙනවා. උකුල හරියෙනුත් කපලා දානවා. එතකොට මම සහ මම නොවන කියන එක අතර තියෙන දුර අපට ආකාශය විදියට ගන්න පුළුවන්. එතකොට ස්පේස් අදහස හැබැයි රූපමය අදහසක් නෙවෙයි. කකුලයි මමයි අතර වෙනස කියන එක ගත්තාම අපි රූප ගොඩක් සම්බන්ධ කරගෙනයි යන්නේ. ඒ ටික අයින් වුණාම දැනෙන හැඟීමක් වගේ ගැන ඔබට හිතලා කියන්න පුළුවන්.

දෙවැනි එක තමයි ආකාස කියන සංඥාවත් අයින් වුණාම විඤ්ඤාණය ගැන සංඥාවක් ඉතිරි වෙනවා. ඒක විඤ්ඤාණංචායතනය. හැබැයි ඔය දෙකම නැතිවුණාම ආකිඤ්චඤ්ඤායතනය කියන සංඥාව අපට ඉතිරි වෙනවා. ඇත්තටම එතැනදී තියෙන්නේ මුකුත්ම නැත කියන අදහස. නේවසංඥා නාසංඥා කියන එක අපට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරියට -4 වර්ගමූලය මොන වගේද කිව්වා හා සමානයි. ඒක අපට මවාගන්න කිසිම ක්‍රමයක් නෑ. ඇත, නැත, ඇත සහ නැත දෙකම ඇත, ඇත්තේද නැත, නැත්තේද නැත කියනවා හා සමාන දෙයක්. සංඥීවාදී අසංඥීවාදී නේවසංඥී නාසංඥීවාදී කියලා අදහස් ටිකක් ගැන අපි කතා කළා. එතැනින් පස්සේ අපට හම්බවෙනවා උච්ඡේද දෘෂ්ටික අදහස් හතක්. මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉන් පළමු එක තමයි මවුපියන්ගේ ශුක්‍රාණු සහ ඩිම්බය එකතු වෙලා කය කියන දේ හැදුණා, මේ කයෙන් පස්සේ මේ ආත්මය ඉවරයි. ආයෙත් එන්නේ නෑ කියලා. ගොඩක් අය මේ මතයත් විශ්වාස කරනවා. අපි දැන් ජීවත් වෙලා මැරුණට පස්සේ ආයෙ මුකුත්ම නෑ කියලා. තව සමහරු හිතනවා මෙතැනින් ඉවර වුණාට, මේක නෙවෙයි ඊළඟට අපි කාමාවචර දිව්‍යලෝකෙදි සිදුවෙන මරණයෙන් පස්සේ කෙළවර වෙන්නේ කියලා. මේ මරණය නෙවෙයි අවසානය. මේකෙන් පස්සේ යන තව එක තැනක් තියෙන කාමාවචර දිව්‍ය ලෝකය. එතැනින් පස්සේ නම් අනිවාර්යයෙන්ම ඉවරයි. එතැනින් පස්සේ රූපී බ්‍රහ්ම ලෝකෙන් ඉවරයි. ඔන්න දැන් මම කලින් කියපු අෂ්ට සමාපත්තිවලට මේක ආයෙත් සම්බන්ධ වෙනවා. රූපී බ්‍රහ්මලෝක ධ්‍යානවලින් පස්සේ ආකාසානඤ්ඤායතන, විඤ්ඤාණඤ්චායතන භූමිය, ආකිඤ්චඤ්ඤායතන භූමිය, නේවසංඥා නාසංඥායතන භූමිය. ඔය ලෙවල්ස් අටෙන් පස්සේ යන්න තැනක් නෑ. සාමාන්‍ය මිනිහෙක් හිතන්නේ මේ ටිකෙන් පස්සේ වැඩේ ඉවරයි. ධ්‍යාන වඩාගත්ත කෙනෙක්ට හිතෙනවා නැහැ, මේ ලෙවල් එකට පස්සේ තවත් ලෙවල් එකක් තියෙනවා, ඒකෙන් පස්සේ තමයි ඉවර වෙන්නේ කියලා. ඔය විදියේ උච්ඡේද දෘෂ්ටි 7ක් තියෙනවා. තවත් අදහසක් තියෙනවා මේ ආත්මයේදී අපට ළඟා කරගන්න පුළුවන් උපරිම සතුට උපරිම නිෂ්ඨාව මොන වගේද කියලා. එක කට්ටියක් හිතනවා දැන් මේ අපට හම්බවෙන එකේ උපරිම සතුටින් ඉන්න එක තමයි තියෙන නිවන, ඊට එහා නිවනක් නෑ කියලා. මේ ආත්මය පරම දිට්ඨි නිබ්බානයි කියලා. ඒක එක අදහසක්. තව කට්ටියක් හිතනවා මේක නෙවෙයි නිවන කියලා. පළමු ධ්‍යානයට සමවැදිලා ඒකෙ සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ කියන එක තමයි උපරිම සතුට කියලා. දෙවැනි ධ්‍යානයට ගිය කෙනා හිතනවා ‘අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියජ්ජානං’ කියන එක තමයි උපරිම නිවන කියලා. ඉන් පස්සේ තුන්වැනි සහ හතරවැනි ධ්‍යානවලට යන කට්ටියත් ඒ විදියටම හිතනවා. ඕක තමයි අපට හිතාගන්න පුළුවන් සියලු විධි ටික. මේ ටික තමයි අපි මැරුණට පස්සේ අපට මොකක්ද වෙන්නේ කියන එක ගැන හිතාගන්න පුළුවන් විධි 44. සංඥීවාදී, අසංඥීවාදී, නේවසංඥී නාසංඥීවාදී, උද්ඡේද දෘෂ්ටි, පරම දිට්ඨ නිබ්බාන කියන ඔය 44 හම්බවෙනවා. අපි සාරාංශයක් විදියට ගත්තොත් අපි කතා කරපු දෙසැටක් දෘෂ්ටි. මෙන්න මේකෙ අපි ශුද්ධ ශාස්වතවාදය, ශුද්ධ අශාස්වතවාදය, අන්ත අනන්තවාදය, අමරාවික්ඛේපවාදය, අදිච්ඡසමුප්පන් කියන මේ ටික ගැන අපි කතා කළා. මේ ටිකෙන් 62ක් කියන මිථ්‍යා දෘෂ්ටිකයන් ටික අපට හම්බවෙනවා. මෙතැනදී වැදගත් පණිවුඩය මොකක්ද? බ්‍රහ්මජාල සූත්‍රයෙන් දෙන පණිවුඩය මොකක්ද? අපි මේ හිතාගන්න පුළුවන් හැම විදියටම බුදුහාමුදුරුවෝ කියනවා ඕක මිථ්‍යා දෘෂ්ටියක් කියලා. මාර ප්‍රශ්නයක්නේ. මේ වගේම ප්‍රශ්නයක් චූල මාළුංඛපුත්ත සූත්‍රයෙත් එනවා. මාළුංඛඤ්ඤ කියන පුද්ගලයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ආත්මය ශාස්වතද, අශාස්වතද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඕවට උත්තර හොයාගන්න ඕනෙ නම් ඇවිල්ලා මහණ වෙන්න කියලා. එතකොට එයා කියනවා නෑ මහණ වෙන්න බෑ, උත්තරය දුන්නොත් මම ඇවිල්ලා මහණ වෙන්නම් කියලා. එතකොට බුදුහාමුදුරුවො ඉතා ලස්සන උපමාවක් ඉදිරිපත් කරනවා. මෙහෙම හිතන්න, ඔයාට කොහෙ හරි යනකොට ඊතලයක් ඇනෙනවා. එතකොට ඔයාව වෛද්‍යවරයා ගාවට ගෙනියනවා. වෛද්‍යවරයා ඔයාට ප්‍රතිකාර කරන්නෙ නැතුව ප්‍රශ්න කරනවා මේ ඊතලය එව්වේ බ්‍රහ්මයෙක්ද, දෙවියෙක්ද කියලා. ඒක හොයලා කියනකම් මම ඔබට ප්‍රතිකාර කරන්නේ නෑ කියලා. එහෙම කරන වෛද්‍යවරයෙක්ටද ඔයා කැමැති, එහෙම නැත්නම් ඔයා ගිය ගමන් තුවාලයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්ටද කැමැති කියලා බුදුහාමුදුරුවො අහනවා. හිතන්නකො මම ඕකට ආත්මය ශාස්වතයි කියලා ඔයාට උත්තරයක් දුන්නොත් එතකොට ඔයාට එන දුක්ඛ දෝමනස්ස උපායාස ටික නැතිවෙලා යනවද? එහෙම නැත්නම් ආශාස්වතයි කියන උත්තරේ මම ඔයාට දුන්නොත් ඔයාගෙ දුක්ඛ දෝමනස්ස ටික නැතිවෙලා යනවද කියලා ආයෙත් බුදුහාමුදුරුවොත් ඔහුගෙන් ඇහුවා. එහෙනම් ඕකට උත්තරේ මොකක්ද කියලා හොයනවට වඩා අපට තියෙන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න එක තමයි වැදගත් කියලා චුල්ල මාළුංක්‍යපුත්ත සූත්‍රයේදී කියන්නේ.

මම මේ ඉදිරිපත් කළේ ආත්මය ගැන අපට හිතිච්ච ටික. ඇයි මේ ආත්මය කියන දේ මෙච්චර වැදගත්? ඔය ආත්මය හින්දා තමයි මිනිස්සු පන්සල් එන්නේ. ආත්මය කියලා එකක් නොතිබුණා නම් කවුරුවත් පන්සල් යන්නේ නෑ. උච්ඡේදවාදය නැති කට්ටිය තමයි පන්සල් යන්නේ. මොකද උච්ඡේදවාදී කට්ටිය හිතන්නේ මේ ජීවිතයෙන් පස්සේ නැවත උපදින්නේ නෑ කියලා, මළාට පස්සේ සියල්ල ඉවරයි කියලා. ශාස්වතවාදී කට්ටිය හිතනවා අපි සතර අපායට නොවැටී, දිව්‍ය ලෝකෙට ගිහින් නිවන් දකින්න ඕනෙ කියලා. ඉතින් මේ කොයි ආකාරයට මනුස්සයෙක් හිතුවත් ඒ හැම අදහසක්ම මිථ්‍යා දෘෂ්ටියක් කියලයි බුදුහාමුදුරුවො කියන්නේ. එහෙනම් අපි හිතාගෙන ඉන්න හැම ආකාරයක්ම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. කොටින්ම ඇත නැත කියන සරල අදහසට ඔබ්බේ තියෙන අත්ථි නත්ථි දෙකම හමුවෙන තැනත්, ඒ දෙකම නොහමුවෙන තැනත් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අපි හිතාගත්ත හැම ආකාරයේම තියෙන යම් අඩුපාඩුවක් තමයි බුදුජාණන්වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ.



සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන් 74කට හෙට රනිල් එන්න කියයි! රැස්වීම උණුසුම් වෙයිද? කට්ටිය සන්සුන් වෙයිද? තීන්දුව හෙට උදේ!

Next Post

සජිත් සහ ජලනි වසර 15ක් කරපු පිංකම…

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (11) ඒකක 191.45 කින් පහළ ගොස් තිබෙනවා.Sri Lanka Latest News ගනුදෙනු අවසානයේ...

Read more
නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.