වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු 1977 පාර්ලිමේන්තුවට පිවිසෙනුයේ එක්සත් ජාතික පක්ෂයේ පානදුර මන්ත්‍රීවරයා ලෙසිනි. එහෙත් ඔහු එතරම් කලක් මන්ත්‍රී ධුරය හොබවන්නේ නැත. ජේ.ආර්. ජයවර්ධන සමග ආරෝවක් හදාගන්නා ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේය. පසුකාලීනව ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළද 21 වැනි සියවසේ ඔහු ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වනුයේ මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය නිසාය. තමා සතුව තිබූ ආශා සෙන්ට්‍රල් රෝහල විකුණා ලබාගත් මුදල යොදවමින් ඔහු සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන්නේය. ලංකාවේ ආරම්භ කළ පළමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැන නැඟුණු විරෝධතාවන් අවසාන වූයේ එම පීඨය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කරවමිනි. සයිටම් අරඹද්දී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඒ බව නොදැන සිටියා නොවේ. කළු ගල්වල ඔළුව ගසාගැනීමේ හොඳ පළපුරුද්දක් තිබූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සයිටම් වෛද්‍ය විද්‍යාලය අරඹනුයේ එයට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයෙන් සහ දේශපාලන අධිකාරියෙන් එල්ල විය හැකි විරෝධතාවන් දැන දැනමය.
‘සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ්’ නමින් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මාලබේ සයිටම් (SAITM) වෛද්‍ය විද්‍යාලය එහි ලියාපදිංචි කර තිබුණේ සෞඛ්‍ය විද්‍යාව (Health Science) යටතේය. ඒ අනුව එහි වෛද්‍ය විද්‍යාව (Medicine), හෙදකම (Nursing), ඖෂධ විද්‍යාව (Pharmacology) සහ මනෝ විද්‍යාව (Psychology) යන අංශ ආරම්භ කරන ලදී. හෙල්ත් සයන්ස් යටතේ ජාත්‍යන්තරව පිළිගන්නා වෛද්‍ය විද්‍යාල රැසක් ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෛද්‍ය විද්‍යාලයද ආරම්භ කර ඇත්තේ මේ යටතේය.
මාලබේ සයිටම් ආයතනය 2009 දී රුසියාවේ නිෂ්නි නොව්ගොරෝඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹි අතර, සයිටම් සිසුනට අවසන් වසර රුසියාවේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නටත්, MD උපාධිය පිරිනමන්නටත් ඉන් එකඟතාවකට පත්විය. නිෂ්නි නොව්ගොරෝඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක් වීම නිසා අමතර ගැටලු මතුවූයේ නැත. මේ 2009 වසර වන විට පැවැති තත්ත්වයයි.
සයිටම් වෛද්‍ය විද්‍යාලය නිල වශයෙන් ආරම්භ වනුයේ 2009 ජනවාරි 21 දිනය. අරම්භක යුගයේදී එහි වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට රුපියල් මිලියන 12ක් වැය වන බව සඳහන් කර තිබිණි. එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂය. රාජපක්ෂ රජය සයිටම් ආයතනයට අවශ්‍ය පහසුකම් සැපයූ අතර රාජ්‍ය බැංකු මගින් ණය පහසුකම්ද ඊට ලබාදුන්නේය. ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සයිටම් සම්බන්ධව එතරම් හොඳ ආකල්පයක් නොපැවති මුත් ඒ වන විට රාජපක්ෂ ආණ්ඩුවේ කීකරු සගයෙක් බවට පත්ව සිටි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සයිටම් සම්බන්ධව කිසිදු ප්‍රායෝගික විරෝධයක් දැක්වූයේ නැත. 2015 වසර වන විට එහි පළමු කණ්ඩායම ලියාපදිංචිය සඳහා අයැදුම් කරන තැනට පැමිණ තිබිණි. ඒ වන විට රට තුළ දේශපාලන වශයෙන් සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් පැවැති අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වී සිටියේය. තම හාම්පුතා දේශපාලනයෙන් හතරගතෙන් වැටීමට සාපේක්ෂව වෛද්‍ය පාදෙණියගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද (GMOA) දේශපාලනිකව අතරමං වෙමින් තිබුණේය. එතුවක් කල් තනි අශ්වයාගෙ තරගයක් බවට පත්ව තිබූ එම සංගමයට විකල්ප සංගම් බිහිවන්නට පටන්ගෙන තිබිණි.
තම බලය කොතැනින් හෝ යළි තහවුරු කර ගැනීමේ නොනිමි අසාවෙන් පෙළුණු රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට එල්ලෙන්නට වැලක් ලෙස අහුවුණේ මාලබේ සයිටම් විශ්වවිද්‍යාලයයි. වහා සක්‍රීය වූ එම සංගමය දිනකට දෙක තුන ගණනේ මාධ්‍ය හමු පවත්වමින් සයිටම් පෙරට දමා ආණ්ඩුවට එරෙහිව දේශපාලන මෙහෙයුමක් ආරම්භ කරන්නට විය. වසරක දෙකක සිට ඇල්මැරුණු ආකාරයකින් ඇදගෙන ආ සයිටම් විරෝධයට යළි පණ එන්නට GMOA හි සක්‍රීය දායකත්වය හේතු විය. අවිස්සාවේල්ල සහ හෝමාගම රෝහල් සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට නියමිතව තිබුණද කලක සිට වෛද්‍යවරු ඊට එකහෙළා බාධා කරන්නට විය. පැහැදිලිවම එම ක්‍රියාව පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම තිබිණි. ඔවුන් එසේ හැසිරුණද එම සංගමය සයිටම් ආයතනය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර අස්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම තිබුණු බව බොහෝ දෙනා දන්නේ නැත. 2011 අප්‍රේල් මාසයේ 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අස්සන් කරන ලද මේ අවබෝධතා ගිවිසුමට අනුව බස්නාහිර පළාත තුළ පිහිටි රජයේ රෝහල්වල සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබාගැනීම සඳහා අවසර දීමට එකඟතාවක් ඇතිව තිබුණු බව පැවසේ. පසුව එකී අවබෝධතා ගිවිසුම පදනම් කරගෙන සයිටම් සිසු සිසුවියන් පිරිසක් 2014 අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අංක: SC FR NO 208$2014 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකරන ලදී. ඒ, එකී ගිවිසුම් ප්‍රකාරව රජයේ රෝහල්වල තමන්ට සායනික පුහුණුව ලබාදෙන්නට නියෝග කරන ලෙස ඉල්ලමිනි. එම නඩුවේ තීන්දුව අනුව සයිටම් සිසුනට සායනික පුහුණුව ලබාදීමට නියම වුවද වෛද්‍යවරු ඊට අඛණ්ඩව බාධා කරන්නට විය.
මේ අවස්ථාව වන විට සයිටම් වෛද්‍ය විද්‍යාලයේ පළමු කණ්ඩයමේ සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමේ අදියරට පැමිණ සිටිය මුත් වෛද්‍ය සභාව ඒ කටයුත්ත හිතාමතා පමා කරන්නට පටන්ගෙන තිබිණි. ඊට එරෙහිව සයිටම් සිසුවියක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාය. 2017 ජනවාරි 31 වැනිදා එම නඩුවේ තීන්දුව ප්‍රකශයට පත්කරන ලද අතර ඇයට ලියාපදිංචිය හිමිවිය යුතු බවත්, ලියාපදිංචිය ලබා නොදීමෙන් වෛද්‍ය සංගමය තම සීමාව ඉක්මවා කටයුතු කර ඇති බවත් එම නඩුවේ තීන්දුවෙන් කියැවිණි. නීතිය අර්ථ නිරූපණය කරන්නේ වෛද්‍ය සංගමය නොව අධිකරණය බවත් එම තීන්දුවෙන් පැහැදිලි වුවද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය එම තීන්දුව විවේචනයට ලක් කළේය. රටේ ප්‍රධාන වෘත්තීය සමිතියක නායකයකු මෙන්ම විශේෂඥ වෛද්‍යවරයකු වූ ඔහු ඉතා ප්‍රාථමික මට්ටමේ හැසිරීමක් විදහාපාමින් සයිටම් සිසුවියට ලියාපදිංචිය හිමිවිය යුතු බවට අධිකරණය ලබාදුන් තීන්දුව හාස්‍යයට ලක් කළේය. ඔහුගේ මෙම හැසිරීමට එරෙහිව සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරූහ.
රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය මගින් ලබාදුන් උත්තේජනය නිසා සයිටම් විරෝධී ශිෂ්‍ය අරගලය වේගයෙන් සමාජගත වන්නට විය. 2017 ජුනි මාසයේ සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩාවැදුණු අතර පැය ගණනක් එම ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටින ලදී. එහිදී සිසුන් 90කට ආසන්න ගණනකට තුවාල සිදුවූ අතර සෙබළුන් පිරිසකටද තුවාල සිදුවිය. ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරු සරසවි සිසුනට ප්‍රමුඛතාව ලබාදෙන ලද බවට චෝදනා එල්ල විය. මෙම සිදුවීම මුල්කරගෙන වෛද්‍ය පාදෙණියගේ නායකත්වයෙන් යුත් GMOA වෛද්‍ය වර්ජනයක් පවා කැඳවන ලදී. වෛද්‍ය සංගමයට කිසිසේත් අදාළ නොවන ප්‍රශ්න මෙන්ම කටයුතු සඳහාද වෛද්‍ය පාදෙණිය සහ එම සංගමයේ නිලධරීන් මැදිහත් වීම යහපාලන රජය සමයේ සුලබව දැකගත හැකි විය. නිවට කරණවෑමියාට එළුවාත් නිකට පාන්නා සේ පැවැති යහපාලන රජයේ දුර්වලතා උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් වෛද්‍ය සංගමය සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් රටේම වෛද්‍ය අධ්‍යාපනය බිඳදමනු ලැබීය.
සයිටම් විරෝධී ශිෂ්‍ය අරගලය නිදහස් අධ්‍යාපනය විකිණීම යන පැරණි සටන් පාඨයෙන් කරළියට පිවිසි අතර වෛද්‍යවරු සයිටම් ප්‍රමිතිය ගැන කතා කළහ. එහෙත් ඒ වන විටත් සයිටම් විශ්වවිද්‍යාලයේ තිබූ පහසුකම්වත් නොතිබුණු නැගෙනහිර වෛද්‍ය පීඨය ගැන ඔවුහු මුනිවත රැක්කාහ. සයිටම් අවුල ගැන ‘ලක්බිම’ ඉරිදා සංග්‍රහයේ ලිපි පෙළක් පළවිය. වරක් සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් සයිටම් විරෝධී ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ වෛද්‍ය පීඨ එකමුතුවේ කැඳවුම්කරු රයන් ජයලත් පවසා තිබුණේ සයිටම් ආයතනය කොළඹ වෛද්‍ය පීඨය තරමට දියුණු වුවත් තමන් එයට විරුද්ධ බවයි. සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ ඊළඟ ප්‍රශ්නය ලෙස ඔහුගෙන් විමසනුයේ කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට විරුද්ධ නොවීමට හේතුවය. රයන් ජයලත් ඊට දෙනුයේ අපූරු පිළිතුරකි. ඔහු පවසනුයේ කොතලාවල වෛද්‍ය පීඨයට පසුව විරෝධය දක්වන බවයි. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ දිග පළල හොඳින්ම පෙන්වූ අවස්ථාවක් ලෙස මේ සම්මුඛ සාකච්ඡාව දැක්විය හැකිය.
සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ අදහස් දක්වමින් ඒ කාලේ නිතර මාධ්‍ය හමු පැවැත්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වරක් පවසා සිටියේ මාලබේ සයිටම් කඩයෙන් බිහිවන අය වෛද්‍යවරුන් නොවන බවයි. එමෙන්ම සයිටම් ආයතනය වසාදමන්නට පාර්ලිමේන්තු හෝ අධිකරණ තුළින් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයන් පරාජය කිරීමට කටයුතු කරන බවයි. ඉන් ගම්‍ය වනුයේ වෛද්‍ය සංගමය පාර්ලිමේන්තුව හෝ අධිකරණය නොතකන බව නොවේද?
සයිටම් මුල්කරගෙන වෛද්‍යවරු වර්ජනය කිරීම ඒ කාලයේ සුලබ සිදුවීමක් විය. ඉන් ජනතාව පත්වූ පීඩාවන් මෙතකැයි කිව නොහැක. එවන් තත්ත්වයක් තිබියදී 2017 වසරේ නොවැම්බර් මස මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක්වූ වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසුවේ නොනවතින වර්ජනයක් ආරම්භ කළ යුතු බවයි. අධිකරණය විසින් පසු අවස්ථාවක උපාධි ලබාදෙන ආයතනයක් ලෙස පිළිගත් සයිටම් ආයතනය වසාදමන තෙක් වර්ජනය කරන්නට යාම මිනිස් ජීවිතවලට කරන තර්ජනයක් නොවන්නේද?
සයිටම් විරෝධය අවුලන්නට මුල්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නියෝජිතයන් අතර එහි සහකාර ලේකම් ද ප්‍රධාන චරිතයකි. වරක් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු තම සයිටම් වෛරය ප්‍රදර්ශනය කළේ එස්.බී. දිසානායක සහ රාජිත සේනාරත්න දෙදෙනාට පස් පඩංගුවේ බැණවදිමිනි. රාජිත සහ එස්.බී. සයිටම් වැනි ආයතන තව දහයක් ගෙන එන බව පවසා ඇති බවත් ඔවුන් දේශපාලනයෙන් නෙරපා දැමිය යුතු බවත් පැවසූ ඔහු ‘උම්බෑ ගානා හරක් දෙන්නා බැඳ දමන්න’යි අපහාසාත්මකව පැවැසුවේය. ඉන්ද නොනැවතුණු ඔහු ‘ඇමැති වෙන්න ඉස්සර ගිහින් ඡන්දේ දිනලා එනවා හලෝ’ යැයි පෙර සඳහන් කළ දේශපාලනඥයන් දෙදෙනාට පැවැසීය.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් හරිත අලුත්ගේද සයිටම් වසන්නට පුදුමාකාර වුවමනාවකින් කටයුතු කළ අයෙකි. තම සංගමයේ සෙසු සාමාජිකයන් මෙන්ම ඔහුද සීමාව ඉක්මවා කටයුතු කරන ලද අවස්ථා බොහෝය. සයිටම් විශ්වවිද්‍යාලය උපාධි ලබාදෙන අයතනයක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කළ එස්.බී. දිසානායක ඔහුගේද වෛරී ප්‍රකාශයට ලක්විය. මීළඟ ජනාධිපතිවරණයේදී තරග කරන සියලු අපේක්ෂකයන්ට තම සංගමය වාර්තාවක් ලබාදෙන බවත් සයිටම් වෙනුවෙන් පෙනී සිටි රාජිත, එස්.බී. සහ ලක්ෂ්මන් කිරිඇල්ල මිළඟ පාර්ලිමෙන්තුවේ නොසිටිය යුතු බවත් ඔහු පැවැසීය. ඉන් ගම්‍ය වනුයේ එකී දේශපාලනඥයන් නියෝජනය කරන පක්ෂ මෙන්ම මෙරට ඡන්දදායකයාද වෛද්‍ය නිලධාරී සංගමයේ අභිමතය පරිදි කටයුතු කළ යුතු බව නොවේද? කෙසේ වෙතත් එස්.බී., රාජිත, ලක්ෂ්මන් තවමත් පාර්ලිමේන්තුවේය. හරිතලා, නවීන්ලා කොහේද කියා සොයාගන්නටවත් නැත.
වෛද්‍ය පාදෙණියගේ නායකත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුබසාධනය වෙනුවෙන් වැඩකරනවාට වඩා දේශපාලනය කරන බවට සහෝදර වෛද්‍යවරු චෝදනා නගන්නට විය. එහෙත් ආණ්ඩුවේ සහාය නිසා සංගමය තුළ ඔහුගේ සහ නිලධාරීන්ගේ ක්‍රියකාරීත්වයට අභියෝගයක් නොවීය. GMOA බලය එක කඳවුරකට ගොනුවීමෙන් ජයරුවන් බණ්ඩාර වැනි මැදහත් මතධාරී වෛද්‍යවරු රැසක් බරපතළ අර්බුදවලට මුහුණ දුන් බව රහසක් නොවේ. වෛද්‍ය පාදෙණියගේ අරමුණ ජාතික ලැයිස්තුවෙන් දේශාපාලනයට පිවිසීම බවට බොහෝ දෙනකු පවසන්නට යෙදිණි. ඒ බව සනාථ කරන ප්‍රකාශයක් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද පසුගිය දිනක සිදුකළහ. කෙසේ වෙතත් අයිති නැති දේට කට දැමීමේ ‘පාදෙණිය තියරිය’ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුවද වෙනස් වූයේ නැත. රටේම වගා බිම් කාබනිකකරණය කරන්නට ජනාධිපති ගෝඨාභයට ‘ලණුව’ දුන්නේ ඔහු බව රටම දනී. එදා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යනු ජනප්‍රිය නළුවෙක් ගානය. බලන බලන රූපවාහිනී නාලිකාවල සිටියේ ඔහුය. පුවත්පත් පිරී ගියේ ඔහුගේ වර්ජන තර්ජන පිළිබඳ පුවත්වලිනි. ජාතිකත්වය, සිංහල බෞද්ධෝත්තමවාදය, කවර කවමදාවත් මේ පොළොවේ නොතිබුණු ‘මහා සංකෘතිය’ වැනි කරුණු අටෝරාසියක් බහුබූත ෆැන්ටසියක් ලෙස සමාජගත කළ පුද්ගලයන් අතර ඔහුද විය. අවසානයේ මොරටුව අධිකරණය ඔහුගේ GMOA සභාපතිත්වයට තහනම් නියෝගයක් පැනවූ අතර, ඒ සමගම වෛද්‍ය පාදෙණියගේ අතිධාවනකාරී ගමන නිමා වූයේය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










