ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 22 ක් හෙවත් මිලියන 4.9 ක ජනතාවක් මේ වන විට ආහාර ආධාර අවශ්‍යව ජීවත් වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය පැවසුවාය.
ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආහාර සුරක්ෂිතතා තත්ත්වය කෙරෙහි පීඩනය යෙදීම සඳහා සාධක කිහිපයක් අන්තර් ක්‍රියා කරන බවයි.
“අඩු ආදායම්ලාභී කුටුම්භයන් වඩාත්ම පීඩාවට පත්වන බවත් සෘණාත්මකව මුහුණ දීමේ උපාය මාර්ග අනුගමනය කරන බවත් අපි දැක ඇත්තෙමු,” ඇය පැවසුවාය.
රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ වී අස්වැන්න සියයට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව ඇය පැවසුවාය.
“2021 අප්‍රේල් මාසයේදී රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට මූලික තීරණය ගත් දා සිට, තහනමට පෙර කාලයට සාපේක්ෂව පොහොර ආනයනය සඳහා වන වියදම සියයට 60කින් පමණ පහත වැටී ඇත,” ඇය පැවසුවාය.
මේ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) සැලැස්මක් අද දියත් කළ අතර, ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් ඉල්ලා සිටියේය. ජූනි සිට සැප්තැම්බර් දක්වා මාස හතරක කාලසීමාවක් එහි ප්‍රකාශයක සඳහන් වේ.










