ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදය විසඳිය යුතු බව පොහොට්ටුව පක්ෂය පවසනවා.
පොහොට්ටුවේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ පාර්ලිමේන්තුවට ඇතුළුවීමට හෝ ජනාධිපති වීමට ඉඩ නොදෙන නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත් නොකළ යුතු බවයි.
තම කණ්ඩායම 21වැනි සංශෝධනයට සහය දැක්වීමට පෙර යෝජිත ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කර විශ්ලේෂණය කළ යුතු බව ඔහු පවසනවා.
රටේ ආර්ථික අර්බුදය විසඳීමට නව රජයක් පිහිටුවීම සඳහා පොහොට්ටුවේ සහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දුන් බව සඳහන් කළ ඔහු ආර්ථික අර්බුදය තවමත් පවතින බවයි කියන්නේ.
“පළමුව ආර්ථික අර්බුදය විසඳා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නිදහසේ පාරේ ගමන් කිරීමට සහ සිතීමට මානසික නිදහස ඇති පරිසරයක් නිර්මාණය කරන්න. එවිට අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා කළ හැකියි” සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
21වැනි සංශෝධනයට පොහොට්ටුවේ සහය තීරණය වන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම හෝ රජයේ නිලතල දැරීම වළක්වන ප්‍රතිපාදන මතද යන්න පිළිබඳව කළ විමසීමකදී කාරියවසම් මන්ත්‍රීවරයා කියා සිටියේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්චිත පුද්ගලයකු ඉලක්ක කර නිර්මාණය නොකළ යුතු බවයි.
“ලෝකයේ කිසිම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නේ කෙනෙක් පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න, එළවන්න, එහෙම නැත්නම් කෙනෙක් ජනාධිපති වෙන එක වළක්වන්න නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කර තිබෙන්නේ රටේ අවශ්‍යතා අනුවයි” ඔහු කියනවා.
“අපි කියන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවසානයේ සහාය නොදක්වන බව නොවේ. අපට පළමුව අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීමට සංශෝධන ගෙනැවිත් සාකච්ඡා කළ හැකි සුදුසු පරිසරයක්” බව ඔහු කියනවා.










