මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිතැබීමත් සමඟ ඇතැම් ඇමැතිවරුන්ගේ නිවෙස්වල තිබී හමුවූ යූරියා පොහොර තොග පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට නියෝග කොට ඇත.
මෙම පොහොර, ගොවීන්ට සහනාධාර වශයෙන් ලබාදී තිබූ ඒවාද, නැතහොත් පවතින මිල ගණන් යටතේ පෞද්ගලික වෙළෙඳුන්ගෙන් මිලදී ගත් ඒවාද, එසේත් නොමැතිනම් පොහොර ලේකම් කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද පොහොර තොගද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.
අදාළ වාර්තාව ලැබීමෙන් පසුව එම පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
පොහොර නොමැතිව රට පුරාම ගොවීන් අන්ත අසරණව සිටින අවස්ථාවක දේශපාලනඥයන් මෙලෙස පොහොර තොග එක්රැස් කර තබාගැනීම සම්බන්ධයෙන් තමා මවිතයට පත්වූ බවයි අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.










