අද (05) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පක්ෂයේ අනාගතය තීන්දු කෙරෙන ඉතා තීරණාත්මක එකක් බවට මේ වනවිට පත්ව තිබේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ඉහළ තනතුරු සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටීම මේ සදහා හේතු වී තිබේ.
එහිදී විපක්ෂනායක තනතුර සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමට වික්‍රමසිංහ මහතා එකගතාව පළ කොට ඇති අතර එය ඊයේ (04) රාත්‍රිය වනවිට ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙත පණිවුඩයක් වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඊයේ දිනයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් වික්‍රමසිංහ මහතා මුණ ගැසී විපක්ෂ නායක ධූරය ප්‍රේමදාස මහතා හට ලබා දී පක්ෂ නායක ධූරය කරු ජයසූරිය මහතා වෙත ලබා දෙන ලෙසට දැනුම් දීමක් කර ඇති බව දැනගන්නට ඇත.
ඊට සමගාමීව වික්‍රමසිිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඒ මහතාට පෙන්වා දී ඇත්තේ විපක්ෂ නායක ධූරය පමණක් ප්‍රේමදාස මහතාට ලබා දී පක්ෂ නායක ධූරය තවදුරටත් වික්‍රමසිංහ මහතා යටතේම තබා ගන්නා ලෙසටය.
ඒ අනුව වික්‍රමසිංහ මහතා අද දින පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායක ධූරය තවදුරටත් තමන් යටතේ තබා ගැනීම සදහා දැඩි උත්සාහයක නිරත වීමේ සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
නමුත් ප්‍රේමදාස පාර්ශ්වය දැනටමත් ඊට දැඩි විරෝධය පළ කොට ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ විපක්ෂ නායක ධූරය පමණක් නොව පක්ෂ නායක ධූරයද නියත වශයෙන්ම වික්‍රමසිංහ මහතාගෙන් ඉවත් කළ යුතු බවකි.
ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව සියලුම මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.










