ලබන අඟහරුවාදා (15) දිනයේදී කොළඹට ලක්ෂයකට අධික ජනකායක් කැඳවා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සමගි ජන බලවේගය මේ වන විට සියලු සැලසුම් සකස් කොට අවසන් බව දැනගන්නට ඇත.
ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය, ජීවන වියදම ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යෑම, රට ජාත්‍යන්තරය හමුවේ යළි අනාරක්ෂිත තත්ත්වයකට පත්කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කොට ගෙන මෙම විරෝධතාව පැවැත්වීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සියලු ආසන නියෝජනය වන පරිදි සමගි ජන බලවේගයේ සාමාජිකයන් කොළඹට කැඳවීමට සැලසුම් කර ඇති නමුත් රැලිය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් අවසන් මොහොත වන තෙක් ප්‍රකාශයට පත් නොකිරීමට ඔවුන් තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.
ඊට හේතුවී ඇත්තේ යම් හෙයකින් රැලිය පැවැත්වෙන ස්ථානය කල් තියා ප්‍රකාශ කළහොත් ආණ්ඩුව ඊට එරෙහිව පොලිසිය ලවා තහනම් නියෝග ගනු ඇති බව සංවිධායකයන් දැනුම්දී තිබීමය.
අවසන් වරට සමගි ජන බලවේගය පසුගිය නොවැම්බර් මාසයේදී කොළඹට විශාල ජනකායක් කැඳවූ අතර එහිදීද ආණ්ඩුව පොලිසිය ලවා රට පුරා මාර්ග බාධක යොදවා එය කඩාකප්පල් කිරීමට පියවර ගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය.
නමුත් එවැනි කඩාකප්පල් කිරීම් මැද වුවද අතිවිශාල ජනකායක් ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් කොළඹට පැමිණ ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර වටරවුම ආසන්නයේ දැවැන්ත ජන හමුවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව යමින් මෙවරද රැස්වීම පවත්වන ස්ථානය පිළිබඳ කල්තියා සඳහන් නොකොට ලක්ෂයකට අධික ජනකායක් කොළඹට කැඳවා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත රැලියක් පැවැත්වීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත.










