යාපනය අර්ධද්වීපය කොටස් පහක එකතුවකි. එනම් වලිකාමම්, තෙන්මාරච්ච්, යාල්පානම්, වඩමාරච්චි හා දූපත් සමූහයකි. විශේෂත්වය නම් යාපනයේ මස්තිෂ්කය ලෙස ඔවුන් සලකන්නේ වඩමාරච්ච්ය. එය ඇසිය යුත්තේ වඩමාරච්ච්වලම අයකුගෙනි. යාල් අර්ධද්වීපයේ වැසියන්ගේ එදිනෙදා දින චර්යාව නම් හුදෙක්ම වෙනස් අත්දැකීමක් වනවා නොඅනුමානය. මන්ද එය සංස්කෘතිය, අනන්‍යතාව හා විචිත්‍රවත්වයන් එක්වූ අපූරු සංකලනයකි. ආහාර රටාව, ඇඳුම් පැලඳුම්, ආගමික ඇදහිලි හා විශ්වාස, ප්‍රවාහන විධි ඔවුනටම ආවේණික වී ඇති වග යාල් ආගන්තුකයාගේ අත්දැකීමයි.
නොසන්සුන් යාපනයේ නගරයේ සවස් භාගය නම් අපූරුය. නගරය අවට පිරික්සා බලන කුහුල් සිතින් යුතු ඔබට යාපනයේ මංමාවත් දිගේ ඇවිද ගොසින් ඒ කුහුල නිවාගත හැකි වනු ඇත. අර්ධද්වීපයට ආගන්තුක ඔබට දැනෙන හුදකලාවෙන් මිදීම පිණිස පා ගමනින් හෝ පාපැදියකින් හෝ ගොස් නැරඹිය හැකි ස්ථාන එහි බොහෝය.
ඔබ සවස් වරුවක නගර සීමාවෙන් බැහැරව ඉදිරියට ඇදෙන්නේ නම් නගර වීදි පුරා පවතින මහා ඝෝෂාව සෙමෙන් අඩුවී නෑසී යන්නේ ගොම්මන් අඳුර නගරය ගිල ගන්නවාත් සමගය. ඒ නිහඬ බවට සමවැදී ඔබ තවදුරටත් ඉදිරියට ගියද සැමතින්ම ඇසෙන කපුටන්ගේ තොරතෝන්චියක් නැති කෑගැසීමේ නම් අඩුවක් ඔබට දැනෙන්නේ නැත.

පාපැදියක පිහිටෙන් නගරයෙන් බැහැර වන ඔබට වීදි කොනක වන අඳුරු පැහැ තීන්ත ආලේප කළ පරණ ගොඩනැගිල්ල හෝ කඩපිලක බිත්තියට ඇන තියාගෙන, නළල් පට මුළුමනින්ම වැසෙන සේ තිරුනූරු අලේප කරගත් දිගු රැවුලකින් යුතු, උඩුකය නිරුවත් මහල්ලෙක් සුරුට්ටුවක් අදිමින් දුම් රොටු වාතලයට එකතු කරමින් සිටින අයුරු සුලබ දසුනක්‍ය. ඔවුන් උගුර පාදමින්, දුම් රොටු පිඹිමින් ගොරහැඬි හඬින් දමිළ බසින් උස් පහත් ස්වර උච්චාරණය කරන අන්දම අලුත්ම අත්දැකීමක්‍ය. උදෑසනම වෙළෙඳපොළට ගෙනා කෙසෙල් කැන් තාමත් කඩ පිල්වල ගොඩගසා ඇත. බොහෝ කෙසෙල් වර්ගවල කෙසෙල් ගෙඩි ප්‍රමාණයෙන් විශාලය. තරමක් දිගුය. රත්පැහැතිය. ඒ නම් යාපනේ ‘පූවාලූ’ය.
මහ පාන්දරක පාරක් අයිනකට වී බැලුවොත් ඔබට දකින්නට ලැබෙන්නේ කෙසෙල් කැන් සිය පාපැදිවල හෝ පරණ චැලි බයිසිකලවල පටවාගෙන නගරයේ පොළ පැත්තට සේන්දු වන යාපන ගොවි මහතුන්ගේ කඩිමුඩියය. මොවුන්ට අනුව නම් දෙමළ බසින් ‘කදලි’ ‘කප්පල්’ ‘ඉතර’ ආදී විවිධ නම්වලින් හඳුන්වයි.
යාපනේ කෙසෙල්වලට පවතින්නේ හොඳ වෙළෙඳපොළකි. අළු කෙසෙල්වලටද ඇති ඉල්ලුම ඉහළය. ඒ ‘වාලෙක්කායි පොරියල්’ නොහොත් අළු කෙසෙල් බැදුම, මොවුන්ගේ ප්‍රියතම බැදුම් වර්ගයක් වන නිසාවෙනි. අළු කෙසෙල් ගෙඩිය සිහින්ව පෙති කපා තෙලේ බැද ආහාරයට එකතු කරගනී. මේ කෙසෙල් බැදීම සඳහා හුදෙක්ම යොදා ගැනෙන්නේ තල තෙල්ය.
යාපනය නගරයේ ප්‍රධාන බස් නැවතුමට මත්තෙන් පිහිටියේ වෙළෙඳපොළයි. ඒ හරහා ඔබ පාපැදිය මෙහෙයවන්නේ නම් යාපනය කොටුව දෙසට ළඟා විය හැකිය. සිග්නල් කණුවෙන් වමට හැරෙන විට පේන්නේ කරවල කඩ පෝලිමය. මුහුදු කරවල, වේළපු ඉස්සන්, හාල්මැස්සන්, බැදුම් වර්ග මිලදී ගැනීමට හොඳම තැන මෙයයි. සෑම කඩයක් ඉදිරිපිටම රතු මිරිස් ගෝනියක් දෙකක් ඇත. මේවා ලුණුවල බහා සැකසූ ඒවායි.
යාපනය කොටුව දෙසට සිදුවන ගමනේදී කළපුව දෙසින් හමා එන සුළඟ නිසාවෙන් ගතේ වන වෙහෙසකර බව නිවීයයි. මුහුදු සුළඟ සතු ලුණු මිශ්‍ර ස්වභාවය මෙදා ගතට නොදැනෙන්නේ හිරු අවරට ගිය නිසාවෙන් බව ආගන්තුකයාගේ හැඟීමයි. ඇස ගැටෙන සුලබ දසුන නම් මුහුදේ ඈතට වන්නට ඉස්සන් කොටු ආශ්‍රිතව ධීවරයින් ඉණ ගැඹුරට කිමිදී මාළු අල්ලන අයුරුය. වීසිදැල් එක්ක පොරබදන ධීවරයෝ හා තැන තැන කරවල වේළන කාන්තාවෝය.

දූපත් එකිනෙක යාකරන මුහුද හරහා ඉදිවූ ‘කෝස්වේ’ මාර්ගයය. මුහුදු මාර්ගයන් නොමැති කල්හි අන්තර් හුවමාරුව උදෙසා පාලම් පාරුය. දූපත් බොහොමයක් අවට කඩොලාන ශාක පරිසරයයි. මේ කඩොලාන ශාකවලවූ කරු මුල් මුහුදු ජල මට්ටමෙන් ඔබ්බට පැමිණ වායූන් අවශෝෂණය කරගෙන සාරවත්ව වැඩෙන්නාක් සේම මේ දූපත්වල වැසියන් ඔවුන් සතු සමුද්‍ර සම්පත ප්‍රයෝජනයට ගනිමින් ධීවර කටයුතුවල නිරත වෙමින් යටගිය තිස් වසරක අඳුරු මතකයන් උහුලාගෙන ජීවිත සටන දියත් කරන අන්දම යාපනයට තවමත් සවිමත් බවක් එක්කරයි. අතරින් පතර වූ අලුතෙන් රෝපණය කරන ලද කඩොලාන වගාවත් මුහුදු ඛාදනය වළක්වමින් සාරවත්ව වැඩෙන්නේ දූපත් වැසියන්ට නැවුම් බලාපොරොත්තු එක්කාසු කරමින්ය.
දූපත්වල ධීවර ප්‍රජාව මෙහෙයවන වෙළෙඳපොළ කොයි කවුරුත් ආකර්ෂණය කරගත්තේ නැවුම් මාළුවල දැඩි සුවඳ වාතය පුරා පැතිරී තිබුණු නිසා විය හැකිය. මාළු ගොඩවල් ළංකරගත් ධීවරයන් ඒවා කේවල් කරන උනන්දුව ඔවුන්ගේ ඇස්වලින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.
සැලවූ පරිද්දෙන් නම් අර්ධද්වීපයේ වඩාත් විශ්වාසදායක ප්‍රවාහන මාධ්‍ය වන්නේ බයිසිකලය වන අතර සෑම නිවෙසකම එකක් තිබේ. නිවාස පවා ඉදිකර ඇත්තේ ස්වභාවික පරිසරය සමග මිශ්‍ර වීමටය. සෙවණ වෙනුවෙන් ගස් පිරී පවතී. මිනිසුන්ගේ දෛනික චර්යාව සොබාදහම සමග සහජීවනයෙන් බැඳී සිටීමෙන් සිදුකරන බව හැඟීමයි. තැන තැන තරමක් ගැඹුරු ළිං ඇත. විටෙක ඒවා ආඬි ළිංය. මේවාහි ලවණ ස්වභාවය නිසා ජලය පානය කිරීම නම් තරමක් අසීරුය.
නගරයෙන් දුරස් වන තරමටම පාරවල් නිහඬය. නගරයේ මෙන් නොසන්සුන් බවක් නැත. කාන්තාවන් කිහිප දෙනෙක් වතුර භාජන රැගෙන වතුර ගෙන ඒමට ඇවිද යන දසුන් බොහෝය. දමිළ කාන්තාවන්ගේ නාසයේ වූ මුදුව හෝ කරාබුව හිරු එළියට බැබළුනේත් අව්වේ සැර බව කොතෙක් දැයි ඒත්තු ගැන්වීමට යැයි ආගන්තුකයාගේ හැඟීමය.

අව්ව කාලවලදී තල් අතු බැඳ ඉදිකර ඇති වැටවලින් වටවූ නිවෙස්වල වත්තේ රතු මිරිස් වේළෙන අන්දම දැකිය හැක. මුහුදු වෙරළේ යාබදව පිහිටි ගම්මානවල නම් වේළෙන ඉස්සන් කරවල නිසා මුහුදු ආහාරවල අඩුවක් නොවේ. ඔවුනගේ ලාක්ෂණික කකුළුවන්, ඉස්සන් හා මුහුදු මාළුවල රස පුදුමසහගතය. කරවල වේළීම සිදුකරන්නේද මුහුදට යාබදවය. මේ ගම්මානවල රා තිප්පොළවල්ද නැතුවාම නොවේ. හවසක ඉස්සව්වේ ගාටන්නෙක්ට නම් බීඩියක් උරන මහල්ලෙක් රා තබෑරුමකට ගාටන අන්දම දැකගත හැකිය.
උතුරු අර්ධද්වීපයේ බැලූ බැලූ අත තල් රුක් ගොමුය. යාපන වැසියන්ගේ ශක්තියද එයමය. ඔවුන් තල්ගසේ ශීර්ෂයේ සිට මූල මණ්ඩලය දක්වාම කොටස්වලින් ප්‍රයෝජන බොහෝ ලබාගන්නා බැවිනි. තල් මල කපාගෙන එහි වූ යුෂයෙන් තල් හකුරු, තල් පැණි, සූකිරි, විනාකිරි නිපදවීමට යාපන ග්‍රාමීය වැසියන් රුසියන්ය.
යාපනේට ඉතින් කවදත් හොඳටම කාෂ්ටක අව්වය. වැහි පොද වැටෙන්නේද එහෙන් මෙහෙන්ය. මන්දාරමත් එක්ක වැටෙන මේ පොද වැස්ස මේ ඉරිතැළුණු මහ පොළොව කොහොම එක්තැන් කරාවිදෝ යන්න යාල් ආගන්තුකයාගේ හැඟීමය.
යාපනයේ අර්ධද්වීපය නම් වර්ග කිලෝමීටර දාහක් පමණ වූ වපසරියකින් යුතු තැනිතලා භූමියක්ය. මේ භූමියේ පිහිටි විශාලම ජල මූලාශ්‍ර නම් විශාල කළපු දෙකකි. ඒ අතර ප්‍රධාන කළපුව නම් වඩමාරච්චි කළපුව වන අතර එය වර්ග කි.මී. 77ක් වන අතර අනෙක් කළපුව වන උප්පාරු කළපුව වර්ග කි.මී. 26ක් විශාලය. මේවා කරදිය සහිත වන අතර අර්ධද්වීපයේ මිරිදිය ජල සම්පතක් නොපවතී.
වැටෙන මෝසම් වැස්සකින් අක්කර ගණන් කුඹුරු ඉඩම්වලට ජීවය දෙන්න මේ ගොවි රජවරු යොදන වෑයමක තරම නම් අපූරුය.
සොබාදහමේ ආශ්චර්ය නම් හුදෙක් යම් පරිසර පද්ධතියක් තුළ සමතුලිතතාවක් ගොඩනැඟීම උදෙසා සම්පත් සමානාත්මතාවයෙන් එහි වූ ජීවීන් අතර බෙදා දීමයි. නමුත් සොබාදහම් මාතාව පවා විටෙක ආත්මාර්ථකාමී තීරණ ගන්නවා විය හැකි යැයි උපකල්පනය කළහොත් එයට කදිම සංධිස්ථානය යාපන අර්ධද්වීපය යැයි යාල් ආගන්තුකයාගේ හැඟීමයි. මන්ද නොසන්සුන්, නොහික්මුණු තීරණ හමුවේ අසමානතාව නිසා අපහසුතාවට පත්වන්නේ මේ සොබාදහම් මාතාවගේම දරුවෝය.
‘නදියක් දුටු තැන නවතා
චාටු කතාවෙන් අමතා
දකුණට හරවන්න හදන
රජුන්, ඇමැතියන් නොතකා
උතුරටම ගලා යයි
කනගරායන් ආරු
මහවැලි කැලණි වලවේ කළු යන ගංගා
මිණි කැට තියන් සිටියදි දිය යට හංගා
තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා
ආරු කනගරායන් පාරට බැස්සා…’
මෙය නම් රුවන් බන්දුජීව නම් කවියාගේ ‘මීළඟ මීවිත’ නම් ග්‍රන්ථයේ සඳහන් ගැඹුරින් විචාරය කළ හැකි සුන්දර නිසඳැස් කාව්‍යයකි. උතුරු අර්ධද්වීපයේ අස්සක් මුල්ලක් නෑරම ඔබමොබ යන මේ ආගන්තුකයාගේ පැනය නම් ඇයි මේ තරම් කුරිරු වූයේ මහවැලිය. ධනය, බලය, නායකත්වය මෙන්ම සම්පත් අසමානතාවයෙන් බෙදීයන්නේ සේම කනගරායන් ආරු උතුරට නොගලා මඟ නවතින්නේ මහවැලි නදිය ගැන පවා සිතීමට යමක් එක් කරමිනි.

මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා ලක්මවු දෙරණේ මහ පොලොවේ සෑම බිම් අඟලක් නෑරම සාරවත් කරමින් සිව්කොනින් මහ මුහුදට ගලා ගිය නමුත් වියළි කලාපයෙන් මත්තට උතුරු අර්ධද්වීපය දෙසට ගලා නොඒමට තරම් මහවැලිය ආත්මාර්ථකාමී වූයේ මන්ද? ඉරි තැළුණු රළු කඨෝර පොළොව එක්කාසු කරමින් සරුසාර නිල්ල ගැසුණු හරිත බිමක් කිරීමට වැහි ලිහිණියකු වෙනුවෙන් අහස් කුස දෙස බලා හූල්ලන අයවලුන්ට සැනසුම් සුසුමක් එක්කාසු කරන්න තරම් ඇයි මහවැලිය මේ තරම් කුරිරු ආගන්තුකයාගේ පැනයයි.
යාල් අර්ධද්වීපයේ තවත් සුලබ දසුනක් නම් සීනු හඬ නඟමින් ඔබමොබ යන කිරි ගවයන්‍ය. හින්දු භක්තිකයන් ගවයා දේවත්වයෙන් සලකන්නේ ද ශිව දෙවියන් මුල්කරගෙනය. බාල මහලු කොයි කාගේත් ගතේ ශක්තිය තවත් වැඩිකරන්නේ මේ එළ කිරිය. රංචු පිටින් තණබිම්වල නිදහසේ කල්මරන එළු රංචුය. ඔවුන්ගේ කිරි ද තල් හකුරු කෑල්ලක් කටේ ඔබාගෙන උගුරට දෙකට කටට හලාගත හැකිය.
අක්කර ගණනින් අස්වැද්දූ කුඹුරු ඉඩම්‍ය. මෝසම් වර්ෂාවෙන් තෙමෙන කාෂ්ඨක පොළොව සමග පොරබදන ගොවි රජුන්ගේ ශක්තියෙන් සාරවත්ව වැඩෙන කුඹුරු අස්වද්දා ලැබෙන අග්‍ර කොටස දෙවියන්ට පුදන සිංහල ‘අලුත් සහල් මංගල්‍ය’ හා සමාන වූ හින්දු සංස්කෘතියේ අපූරුතම අංගය වන තයිපෝන්ගල් සැමරීම ජනවාරියේ සිදුකරයි. සිංහල කිරිබත හා සමාන වූ ‘පෝන්ගල්’ බත අනිවාර්යයෙන් පිසින ආහාරයකි.
හුණුගල් සහිත පාෂාණ ස්ථරයක් මත පිහිටියද මේ භූමිය සශ්‍රීකය. සංචාරය කරන්නෙක් හොඳින් මඟ දෙපස නිරීක්ෂණය කළොත් පේන්නේ අක්කර ගානනකට ඈතට විහිදුණු කුඹුරු ඉඩම්ය. බණ්ඩක්කා, අර්තාපල්, ලූනු, අමුමිරිස්, බීට්රූට්, කැරට් ආදී එළවළුත්, කෙසෙල්, අඹ, මිදි වැනි පලතුරුත්, විවිධ පලා වර්ග සාරවත්ව වැඩෙන භූමි භාගයන්‍ය. වසර පුරාවට හරිහමන් වැස්සකුත් නැතිව වැවෙන මේ බව භෝගවල ඵලදාවෙන් පේන්නේ උතුරු අර්ධද්වීපයේ ගොවි රජවරුන්ගේ වීර්යය.
අද පමණක් නෙවේ මින් දශක ගණනාවකට මත්තෙන් රටටම අල, ලූනු, මිරිස් සැපයූවේත් මේ යාපනේ ගොවි රජවරුන්‍ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය පැවැති සමයේ රටේ ආර්ථිකයට මහා ශක්තියක් වී තිබුණේ මොවුන්ය.
දහවල් හිරු එළිය කොතරම් සැඩ වූවත්, බයිසිකල් පැද යන පිරිමි සංඛ්‍යාවේත් ගැහැනු සංඛ්‍යාවේත් අඩුවක් නම් නැත. අධික උණුසුම පාලනය කිරීමට අයිස්පලමක් රස විඳින්න කඩමණ්ඩියට ගාටන කොල්ලන් එකා දෙන්නා නැතුවාද නොවේ. පාපැදිවල බෝතල්, බැරල් පටවාගෙන පානීය ජල මූලාශ්‍ර වෙත ඇදෙන අයද පිරවූ ජල බඳුන් හිස තබාගෙන ඇවිදින කාන්තාවන්ද සුලබ දසුනක්මය.
උතුරු අර්ධද්වීපයේ වැසියෝ ආගමානුකූල දින චර්යාවකට උරුමකම් කියන්නෝය. බැලූ බැලූ ඉසව්වන්හි කෝවිල්ය. නළල්පට වැසෙන තෙක් තිරුනූරු ආලේප කරගත් යාපනයේ දෙමළ වැසියන්‍ය. ගෙල පුරා මාල පලඳියි. ඔය අතර වූ යාපනේදී නෙත ගැටුණු කුතුහලය ජනිත කළ කෝවිල්වල පූජකවරුන් මෙන්ම බොහෝමයක් පුරුෂ පාර්ශ්වය පලඳින අපූරූ ආභරණයක මූලබීජ සොයා තවත් සංස්කෘතියක අපූර්ව ගවේෂණයක් නම් ‘ශිව දෙවියන්ගේ කඳුළු බින්දුව’ ලෙස හඳුන්වන නිල් වෙරලු බීජ නැතහොත් රුද්‍රාක්ෂ ශාකයේ බීජයි. මේවා ශිව දෙවියන්ගේ කඳුළු බින්දුව ලෙස සලකන්නේ දීර්ඝ කාලයක් පසුතැවිල්ලෙන් සිටි ශිව දෙවියන් ඔහුගේ ප්‍රීතිමත් ආත්මයෙන් අවදි වූ විට ඔහුගේ දෑස්වලින් කඳුළු මිහිමව මතට රූරා වැටී ඒවා ශාක බීජ බවට පත්වූ නිසාවෙන් වග ශිව පුරාණය නම් ග්‍රන්ථයේ සටහන් වූ නිසාවෙනි.

හින්දු බැතිමතුන්ගේ විශ්වාසයට අනුව මෙහි මහා බ්‍රහ්ම, ඊෂ්වර හා විෂ්ණු යන දෙවිවරුන්ගේ බලය එක්කාසු වී පවතී. හෙළයේ මහා පුරුෂයා වූ මහා රාවණා රජුගේ ඔටුන්නේ ඉදිරිපස පවා රුද්‍රාක්ෂයක් සවිකර තිබූ බවත් ඔහුගේ වීර බල පරාක්‍රමයට එය ශක්තියක් වූ බවත් සඳහන් වේ.
අර්ධද්වීපයේ වැසියෝ ආගන්තුක සත්කාරවලින්ද අනෙකා සතුටු කිරීමට සමතුන්‍ය. දකුණු ඉන්දීය ආහාර ලෙස බොහෝ දෙනෙක් වරදවා වටහාගෙන සිටියද උතුරුකරයේ ඇති එයටම ආවේණික වූ රසයකින් පිළියෙල වන බොහෝ ආහාරපාන, ව්‍යංජන මෙන්ම අතුරුපසද යාපනයේ පාරම්පරිකව පැවත එන සාම්ප්‍රදායික දෙමළ ආහාර වට්ටෝරුවලින් පිළියෙල කරන ඒවාය. යාපනයේ ආහාරවල ඇත්තේ එයටම ආවේණික අනන්‍ය රසයක් වන්නේ මේ හේතුවෙනි.
අඟහරුවාදාවක යාපනේ නිවෙසකට ගොඩවැදුණහොත් කෙසෙල් කොළයකට බෙදූ බත් සමග ව්‍යාංජන කිහිපයක්, තයිර්/මුදවාපු කිරි, වාලෙක්කායි පෝරියල් නැතහොත් කෙසෙල් පෙති බැදුමක් සමග ලුණුවල බහාලන ලද මිරිස් කරලක්, පපඩමක්, ලුණුදෙහි, රසම් කෝප්පයක් වරදින්නේ නැත. රසම් පානය කිරීම හෝ බත් සමග මිශ්‍ර කිරීම තෝරාගත හැකිය. රසම්වලට ඖෂධීය වටිනාකමක් ඇති අතර එමගින් ආහාර දිරවීමේදී ආමාශයේ මෙන්ම කුඩා බඩවැල්හි යුෂ ශ්‍රාවය උත්තේජනය කරවයි.
ප්‍රධාන ආහාර වේලෙන් පසුවද රසම් පානය කළ හැක. ව්‍යාංජන අතර මුරුංගා, වම්බටු, මෑකරල්, කඩල හොද්දක්, දේශීය අල විශේෂයක් වන කරෙනෙකිලන්ගු/කිඩාරම් අල කුලම්බු හා පලා වර්ගයක් වරදින්නේ නැත.
වෙඩි හඬින් එදා මිරිකී ගිය පාසල් සිසුන් වෙනුවට යුහුසුළුව පාන්දරින්ම පාපැදිවල පාසල් වෙතට ඇදෙන දමිළ දුවාදරුවෝය. සිවුදිගින්ම ඇසෙන වෙඩි හඬට බයේ වෙව්ලමින් අකුරු කළ, පෙති අඩක් හකුළුවාගත් නෙලුම් මල් සේ උන් දරු පැටවුන් වෙනුවට අනාගතයේ සුබ සිහින දකින කඩිසර දරුවන් අර්ධද්වීපයේ දැක්ම තවත් ශක්තිමත් කරන වග හැඟීමය. අනාගතයක් වෙනුවෙන් දෑසින් ගිලිහෙන කඳුළ පවා කාෂ්ඨක අව්වට වියළී යන්නා සේම විඩාවෙන්ම දැවුණු මේ මහ පොළොවට දිරියක් දෙන යාපනයේ වැසියන් කඩිසර බවේ හා ධෛර්යයේ පාඩම් අපට කියාදෙන අපේ ලක් මවගේම දූ පුතුන්ය.
මේ හින්දු සංස්කෘතියේ විචිත්‍රවත්වය අපූරු ආකාරයෙන් විඳින්නට නම් වරලසේ සුදෝසුදු මල් මාලා දවටමින්, නළලේ පොට්ටුවක් තබා, නැහැයේ කරාබුවක් දමාගත් දෙමළ තරුණියකගේ සුන්දරත්වය දැකබලා ගන්නට හෝ රත්තරන් පාට බෝඩරයකින් යුතු සුදු පාට වේට්ටියක් ඇඳගත් දෙමළ තරුණයකුගේ ඇති පෞරුෂය දැකබලා ගන්නට හෝ යාපනයේ ගොවි රජවරුන්ගේ වීර්යය, කැපවීම බලාගැනීමට යාපන අර්ධද්වීපයට ඔබ ගොඩවැදිය යුතුය. එදාට දැනේවී දශක තුනක නිහැඬියාවක යථාර්ථය මෙන්ම එකිනෙකා තුළින් ගිලිහුණු ඒ මිත්‍රත්වය.











