මුදල් අමාත්‍යංශය විසින් හදුන්වා දීමට නියමිත නව භාණ්ඩ හා සේවා බදු පනත සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ බදු එකතුකරන්නන් හෙට මුදල් අමාත්‍යාංශයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දියත් කිරීමට නියමිතය.
ජනවාරි 07 වැනිදා ගැසට් කරන ලද ‘මෙම අසාධාරණ’ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතට එරෙහිව සටන් කිරීමට අනෙකුත් ප්‍රමුඛ පෙළේ බදු එකතු කිරීමේ බලධාරීන් සමඟ එක්ව සටන් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Dmt), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෘත්තීය සමිති සමඟ අත්වැල් බැඳගනු ඇත.
සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේ විශේෂ GST පනත හඳුන්වා දීමෙන් ඉදිරියේදී ඉහත බලධාරීන්ගෙන් අය කරන බදු ආදායම මහා භාණ්ඩාගාරයට යැවීම සඳහා එක් කුඩා ඒකකයක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බවයි.
මෙම තීරණය නිසා රටේ විවිධ ක්ෂේත්‍රවලින් බදු අය කරන සෑම අධිකාරියකටම තම අනන්‍යතා හා අධිකාරිය අහිමි වීම මෙන්ම සේවකයන් රැසකට රැකියා අහිමි වීම ඇතුළු අහිතකර බලපෑම් රැසක් ඇති කරන බව ඔවුන්ගේ අදහස වී තිබේ.










