මහනුවර නත්තරම්පොත ප‍්‍රදේශයේ නිවසක ගෑස් ළිපක් පුපුරා යෑමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලද පනස් එක් හැවිරිදි කාන්තාවක් මහනුවර ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියයාම හේතුකොටගෙන ඇයගේ පවුලේ ඥාතීන් අදාළ ගෑස් සමාගමට එරෙහිව කෝටි 10ක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට තීරණය කොට ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඩබ්ලිව්. ප‍්‍රියංගනී නමැති තිදරු මවකි.
එම කාන්තාව පසුගිය 01වැනිදා අලූයම මුළුතැන්ගෙට ගොස් ගෑස් ළිප දැල්වූ අවස්ථාවේ එය පුපුරා ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
ගෑස් ළිප පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලත් ඇය මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දින 10ක පමණ කාලයක් ප‍්‍රතිකාර ලබමින් සිට ඇත.
මාතලේ හෙට්ටිපොළ ප‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන් පාසල් යැවීමේ පහසුව පිණිස කුලී පදනම මත නත්තරම්පොත ප‍්‍රදේශයේ නිවසට මෙයට මාස තුනකට පමණ පෙර පැමිණ තිබෙන බව පොලිසිය පවසයි.
පසුගිය දිනවල මහනුවර දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකම ගෑස් ළිප් පුපුරා යෑමේ සිදුවීම් වාර්තා විය.
එවැනි අනතුරකින් තුවාල ලැබ මහනුවර දිස්ත‍්‍රික්කයේ සිදු වූ ප‍්‍රථම මරණය මෙය බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
ගෑස් ළිප පිපිරීමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් මහනුවර ජාතික රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් මෙයට පෙර ගෑස් ළිපක් පිපිරී මාතලේ දිස්ත‍්‍රික්කයේ එක් කාන්තාවක් මියගිය බවත් වාර්තා වී තිබිණි.










