පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ සිදුවීම් දැක්වෙන වීඩියෝවක් පෞද්ගලික මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදු වූ සිදුවීම් කථානායක පුටුවේ වම් පැත්තේ ඇති කුටියේ සිට ජංගම දුරකථනයකින් රූගත කර පෞද්ගලික රූපවාහිනී නාලිකා වෙත මුදා හැර ඇති බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සහ සභාවේ කටයුතුවලට තර්ජනයක් බව ඔහු කියා සිටියේය.
“මෙය නීති විරෝධී ක්‍රියාවක්. අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පරීක්ෂණයක් පවත්වලා මේ සිද්ධිය පිටුපස ඉන්නේ කවුද කියලා හෙළිකරලා පියවර ගන්න කියලා.” යැයි හෙතෙම කීය.










