යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට අගමැතිවරයා හමුවීමෙන් පසු අවසාන තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නමුත් තවමත් එම සාකච්ඡාව ලැබී නැතැයි ආණ්ඩුවේ සෙසු පක්ෂ නියෝජිතයෙක් පැවසීය.
මෙම සාකච්ඡාවේ වැදගත්කම දක්වමින් ජනාධිපතිවරයාට සිහි කැඳවීමක් කිරීමටත් හෙට යළිත් වරක් පක්ෂ නායකයින් රැස් වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් තීරණය කළ බව ඔහු කීවේය.
වරක් කල් දමා යළිත් වරක් ලබා දුන් අගමැතිවරයා හා සාකච්ඡාවේ දී අගමැතිවරයා ඉදිරියේ කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් වූ ගිවිසුම පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් දීර්ඝ විස්තරයක් කළ බව වාර්තා විය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යයට කීවේ මෙම පැහැදිලි කිරීමෙන් පසු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් ඇතුළු පිරිස වැඩිදුර මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමට හෝ විමසන්නට කටයුතු නොකළ බවත්, දැන් ඔවුන් වැරදි වැටහීම නිවැරදි කරගෙන ඇති බවත්ය.
එහෙත් මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ ආණ්ඩුවේ සෙසු පක්ෂ නියෝජිතයෙක් පැහැදිලි කළේ තමන් නිහඬව හිටියේ ඒ පරිසරය තුළ කිසිවක් පවසා වැඩක් නොවන බව වැටහුණු නිසා බවය.ඔවුන් ඒ අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරයා හමුවී මෙම ගිවිසුම ගැන පැහැදිලි කරගැනීමට තීරණය කර ඇත.
එහෙත් ජනාධිපතිවරයා මේ වනතුරුත් ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයන්ට මෙම තීරණාත්මක සාකච්ඡාව ලබා දී නැත.
සෙසු පක්ෂ කියන්නේ මේ සාකච්ඡාව ලබා ගැනීමේ අරමුණ මේ ව්‍යසනකාරී තීන්දුව සම්බන්ධව මෙන්ම මින් ඉදිරියට මෙවැනි තත්වය ඇතිවුවහොත් ඒ සම්බන්ධව හැසිරෙන ආකාරය පිළිබඳවත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් යන්න පැහැදිලි කරගැනීම බව එම පක්ෂ නායකයෝ කියති.
දේශපාලනිකව තමන්ට අතිශය වැදගත්වන මේ හමුව සම්බන්ධව ජනාධිපතිවරයාට යළි සිහි කැඳවීමේ ලිපියක් යවන බවත්, හෙට යළි පක්ෂ නායකයින් එක් වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ආණ්ඩුවේ සෙසු පක්ෂවල ප්‍රධාන නියෝජිතයෙක් කීවේය.
කෙසේ වෙතත් පොදුජන පෙමුණේ ලේකම් නීතිඥ කාරියවසම් මෙවැනි අවස්ථාවල දී සුලු පක්ෂවල විරෝධය සැලකිය යුතු නැති බවත් ඊට විරෝධවන කුහකයින් නොසලකා ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් මාධ්‍යයට කියා තිබිණි.










