අද වනවිට අපේ රට බලවත් රාජ්‍යයන්ගේ වෙන්දේසි පොළක් බවට පත්ව ඇති බවත්,ආණ්ඩුව , ජාතික සහ ආර්ථික වශයෙන් වැදගත්කමක් ඇති සියලු මරමස්ථාන කුණු කොල්ලයට විකුණා දමමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හොර රහසේ ජාත්‍යන්තර ඩීල් ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට රට බලවත් අනතුරක මුවවිටට පැමිණ ඇති බවද පැවසීය.
අද(06) පෙරවරුවේ වෘත්තීය සමිති නායකයින් රැසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති අතර එහිදී වෘත්තිය සමිති නියෝජිතයින් අමතා විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.
සමගි ජන බලවේගයේ නායයා ලෙස තමන්ද, මහලේකම්තුමා,ඒ වගේම විපක්ෂයේ පක්ෂ නායකයින් ද වෘත්තීය සමිති නායකයින් ද සතිපතා එක්ව වැඩබිමේ සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරීමේ මධ්‍යස්ථානය බවට විපක්ෂ නායක කාර්යාලය පත් කරමු යැයි ද විපක්ෂ නායකතුමා එහිදී යෝජනා කළ අතර ඉදිරියේ දී බිහි වන සමගි ජන බලවේගයේ රජයක් යටතේ රටේ ජාතික හා ආර්ථික මරමස්ථාන පිළිබඳව සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ කම්කරු ප්‍රජාවත් වෘත්තිය සමිති සියල්ලත් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ පූර්ණ එකඟතාවයන්ට අනුකූලව වන බවට ලිඛිත සහතිකයක් තමන් ලබා දෙන බවද විපක්ෂ නායකතුමා පැවසීය.දේශීය සහ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තිය බව ද ඒ මහතා පැවසීය.
එම අවස්ථාවට විදුලිබල මණ්ඩලය ,වරාය අධිකාරිය , ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් පැමිණ සිටි අතර,ඒ අනුව එම ආයතන නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය , සමගි සේවක සංගමය ,ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ,ජාතික සේවක සංගමය සහ ස්වාධීන සේවක සංගමය යන වෘත්තීය සමිති එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයින් වන මනෝ ගනේෂන් ,රවුෆ් හකීම් ,දිගම්බරම් යන මහත්වරුන් මෙන්ම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ,මුජිබුර් රහමන්,වඩිවෙල් සුරේෂ් ,තුෂාර ඉඳුනිල් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
අදාළ ආයතන මුහුණ දෙන ගැටලු සහ ,ඒවා සම්බන්දෙ පවතින අර්බුදයක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.














