සහල් පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ කැමැත්තෙන් නොවන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.
ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අවස්ථා කිහිපයකින්ම සහල් ආනයනය කිරීමට කිහිප දෙනකු යෝජනා කළත් ජනාධිපතිතුමා ගොවීන් ගැන සිතා ඊට එකග නොවූ බව අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
කෙසේ වෙතත් දැනට ද ව්‍යාපාරිකයන් විසින් සඟවාගෙන සිටින සහ තොග එළියට දැම්මොත් සහල් ආනයනය අඩු කළ හැකි බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.
කෙසේවෙතත් චන්ද්‍රසේන අමාත්‍යවරයා එසේ කීවද ඉක්මනින්ම සහල් ආනයනය සිදුකරන බවත්, කැබිනට් අනුමැතිය අනුව මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහල් පිටරටින් ගෙන්වන බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එම තොග ලැබුණු පසු රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් මිලට ගැනීමට හැකිවනු ඇති බව ඇමතිවරයා පෙන්වා දෙයි.
පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් මිලට ගැනීමට නොමැති නම් සහ සහල් වෙළඳපලට නිකුත් කිරීම සීමා කරන්නේ නම් ආණ්ඩුවට ඊට මැදිහත් වීමට සිදුවන බවද අමාත්‍යවරයා පවසයි.
සහල් ආනයනය කර හෝ සාධාරණ මිලට ජනතාවට ලබාදීමට රජයේ වගකීම බවත් එනිසා එය නිවැරදිව සිදු කරමින් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ආනයනය කරන බවත් ඔහු සඳහන් කළේය.
සහල් මාෆියාවට, මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩදී නිහඬව සිටීමට සූදානම් නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කෙසේවෙතත් මේ දෙදෙනාම පරස්පර අදහස් ප්‍රකාශ කළද දෙදෙනාම කැබිනට්ටුව නියෝජනය කරන ඇමැතිවරුන් වීම විශේෂත්වයකි.










