අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එල්මෝ ගුණරත්න මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝක පණිවිඩයක් නිකුත් කොට ඇත
එම නිවේදනය මෙසේය.
දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට අති විශිෂ්ට සේවාවක් ඉටු කළාවූද, ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකුද ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාගේ අභාවය පිළිබඳව වූ පුවත අසා අප බලවත් කම්පනයට සහ ශෝකයට පත් වුණෙමු.
මෙරට පුවත්පත් කලාව තුළත්, පොදුවේ මාධ්‍ය තුළත් අප්‍රමාණ බුහුටිකම් පෑ අග්‍රගණ්‍ය මාධ්‍යවේදියකු ලෙස කීර්තිමත් එල්මෝ ගුණරත්න මහතා ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලද කෘතහස්ත මාධ්‍යවේදියෙකි. නිදහස් නිවහල් මාධ්‍ය භාවිතයත්, ආචාර සම්පන්න මාධ්‍ය කලාවත් පිළිබඳව අප්‍රමාණ විශ්වාසය තැබූ එල්මෝ ගුණරත්න මහතා අති විශාල මාධ්‍යවේදීන් ප්‍රමාණයකට ක්ෂේත්රයට පා තබන්නට මාර්ගය විවරකර දුන් මාධ්‍ය ලෝකයේ පෙරටුගාමීයෙකි. ගුරුවරයෙකි.
එතුමා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’ පුවත්පතෙනි. අනතුරුව ලේක්හවුස් ආයතනයේ සේවයට බැදුණු ඒ මහතා එම ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කොට ඉල්ලා අස්වුයේ අදීන සහ නිදහස ගරු කරන මාධ්‍යවේදියකුගේ ස්වභාවය මොනවට පසක් කරමිනි.
අනතුරුව තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන් කලක් සේවය කළ එතුමා 1978 යළි ලංකාවට පැමිණ එවකට පැවැති ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළේය.
‘ලංකාදීප’ ,‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල – ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කතෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වූයේද එතුමාය. එය එදා මෙදා තුර අද්විතීය වාර්තාවකි. නිරන්තරයෙන් යාවත්කාලීනවන මාධ්‍යවේදියකු ලෙසත්, තමන්ටම ආවේණික වූ අසිරිමත් ලේඛන කලාවකින් යුක්ත රචකයෙකු ලෙසත් එතුමා ප්‍රචලිතය.
කලක් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද කටයුතු කරනු ලැබූ ඒ මහතා සියලු තන්හි ස්වකීය නිර්මාණශීලී සලකුණ තැබීමට සමත් විය.
ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ,කෘතහස්ත කතෘවරයෙකුවන අප හිතවත්, තුෂාර ගුණරත්න මහතාගේ දයාබර පියාණන් වන්නේ ද එල්මෝ ගුණරත්න මහතා ය. එමෙන්ම දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, රජීව් ගුණරත්න යන අයගේ පියාණන්වන එල්මෝ ගුණරත්න මහතා නැසීගිය නන්ද්‍රා ඩයස් ගුණරත්න මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයා ය.
ඒ සමගම ඊයේ එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුතණුවන් වූ දමිත ගුණරත්න මහතාද අභාවප්‍රාප්ත වීය. මේ මොහොතේ එතුමන්ලාගේ පවුලේ සියලු දෙනා අත් විඳින කම්පනයෙහි තරම පිළිබඳව සිතා ගන්නටවත් නොහැකි නමුත් මේ අතිශය ශෝකාකූල මොහොතේ ශක්තිමත් සිත් වලින් එය දරා ගැනීමේ හැකියාව සියලු දෙනාට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
මෙරට පුවත්පත් කලාවේ පරමාදර්ශී නියමුවෙකු ලෙසත්, මාධ්‍ය කලාවට නවමු මුහුණුවරක් එක්කළ අග්‍රගන්‍ය මාධ්‍යවේදියකු ලෙසත් කීර්තිමත්ව සිටී එල්මෝ ගුණරත්නයන්ගේ අභාවයෙන් බලවත් කම්පාවට පත්ව සිටින එතුමාගේ පවුලේ සියලුම දෙනා සමග එක්ව අපද එම ශෝකය බෙදා ගනිමු.
මෙරට පහළ වූ අග්‍රගණ්‍ය මාධ්‍යවේදියාණෙනි, ඔබට නිවී සැනසීම ප්‍රාර්ථනා කරමි.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක










