හිස් අහසට අත් උස්සා සිටින කහ පාට ලයිට් එළියට කොළඹ පාළුවී තිබේ. අන්ධාකාර සළු එල්ලූ පරණ පාට ගොඩනැගිලි හොල්මන් කතාවක රාස්සයන් සේ පෙනේ. බලූ නට්ටෙක් දෙන්නෙක් අඳුරු හෙවණැලි අතරින් ඉඳහිට මතුවෙයි. සීතල කර වෙහෙස නිවූ වාහනවලින් එහෙ මෙහෙ යන අය කවුළුවලින් පිටත බලමින් ඉගිළ යයි. කේරි කොලේජ් එක ගාව කලර් ලයිට් එකේ පාට පාට එළිය වැටෙන සුදුපාට මෙඩිකල් ෆැකල්ටි ගොඩනැගිල්ල වෙසක් කූඩුවක් වගේ පෙනේ. එතැනින් වමට හැරුණු විට ජාතික රෝහලත් සොයිසා වාට්ටුවත් අතරි පුංචි බොරැල්ල හන්දියට යාගත හැකිය. නැත්නම් ගාමිණි හෝල් පැත්තට ඩාර්ලි පාරටද එහෙං මෙහෙං හැරෙමින් යාගත හැකිය. දකුණට හැරුණොත් බොරැල්ලය. කෙළින් ගියත් එහෙමය. වාහන හෙමින් සැරේ ඉදිරියට යයි. දවස් නිමා කළ මිනිස්සු අතර ජාතික රෝහලේ පරණ පාට ගේට්ටු අතරින් මම නිතරම ඔවුන් දකිමි. සුදු නිල ඇඳුම පිටින්ම නවාතැන වෙත දුවනා විඩාබර මුහුණු ඇති ඒ මිනිසුන්ගේ කතාව ලිවිය යුතුමය. මුඛවාඩමින් වැසූ ඒ අයගේ සිනා නොපෙනේ. ඒත් ඔවුන් මේ දුවන්නේ දවස නිමාකර වෙහෙස නිවා ගන්නටය. මිනිසුන් සිය ගණනකගේ දුක් කඳුළු ඉවසන්නට යළි හෙටත් දිනය ඇරඹිය යුතුය.
‘කොවිඩ්’
මරණයෙන් නිමාවන රෝගයක් ඔවුන් වටා එබිකම් කරමින් හිඳී. අපි කොවිඩ් වෙතින් පැන දුවමු. කොවිඩ්වලට ළඟා නොවිය හැකි දුරකින් නතරවෙමු. අගුළු ලූ ගේ දොරවල දින ගමන් නතර වී හිඳිමු. ඉඳහිට රටම වසා දමනා විට අපි අපේ කැදලිවල කූඩු වෙමු. ලෝකයේ ලොකුම රටවල් එක ලෙඩෙක් දැක රටම වසා දමනා විට ඔවුන් හෙටත් කොවිඩ් අස්සේ පැය ගණන් නතර වී සිටිය යුතුය. කොවිඩ් රෝගියෙක්ගේ මුව වැස්ම සැකසීමේ සිටම ඒ අයට බාරය. අපි අපේ ආදරණීයයන් රෝහල් වෙත පිටත් කර හැරිය පසු සැනසිලි සුසුමන් හෙළමු. ඉනික්බිති ඒ ජීවිතය බාර ඔවුන්ටය. අසීරුවෙන් හුස්ම ගන්නා රෝගීන් දැක දිව එන්නේ ඔවුන්ය.
“මාව මැරෙන්න දෙන්න එපා මිස්” කියා දහස් ගණනක් දෙනා ඉල්ලන්නේ ඔවුන්ගෙන්ය.
“අම්මා එක දවසක් ගෙදර ඉන්න” කියා ඉල්ලනා දූ දරුවන්ගේ ඉල්ලීම ඉටුකරගත නොහැකි මේ මිනිසුන් නාඳුනන රෝගීන්ගේ ඉල්ලීම වෙනුවෙන් වෙහෙසෙයි. දළ ගොරෝසු ඉටි රෙද්දකින් සිරුර වසාගෙන, රළු මුව වැස්මකින් මුව වසා, ඒ වටා තදින් ප්ලාස්ටර් අලාවගෙන, දෑස වැහෙන සේ ආවරණ පැලඳ පැය ගණන් ගතකරන්නට ඒ අයට සිද්ධ වී තිබේ. ඒ තුළ හිඳ ඈ හඬනවාද හිනැහෙනවාද කියන්නට අප දන්නේ නැත. රෑ වැඩ මුරය නිමවී නිවෙසට යාගන්නට තිබූ බස් එකත් අද නැති බව පමණක් අප දනිමු. ඉස්පිරිතාලෙ ගේට්ටුවල ළඟට බස් එන සමහර ඉස්පිරිතාලවල හෙද හෙදියෝ යන්නේ පොල් පැටෙව්වා වාගේය. රාගම රෝහලට එන යන අයට තිබුණු එකම පිහිට දුම්රියයි. නමුත් හිතෙන හිතෙන වෙලාවට කෝච්චි නවතී.
“කෝච්චි නෑ සමහර දාට. මොනව කරන්න ද?
එයාලට නවතින්න පුළුවන් වුණාට අපිට බෑනෙ.
අපි ත්‍රීවීල් එකක හරි එන්න ඕනෙ.
ත්‍රීවීල් එකට ලොකු ගානක් යනවා.ඒත් කරන්න දෙයක් නෑ…” ඔවුන් කියයි. දිවුලපිටියෙන් බස් පටන් නොගන්නා බව කී විට වහාම හොරගස්මුල්ල රෝහලේ හෙද සොහොයුරියකගෙන් පණිවුඩයක් ලැබුණේය.
“කොහොමද යන්නෙ එන්නෙ. ඉස්සර ඉස්පිරිතාලෙ ගාවින් බස් ගියා. දැන් නෑ. හුඟක් දවසට ත්‍රීවීල් එකක එන්නෙ. රුපියල් හාරසීයක් යනවා…”
ඈ කීවේ එහෙමය.
රෝහල අවට ඉතාම හොඳ මිනිසුන් ඉන්නා බව ඇත්තය. ඒත් කොවිඩ් වසංගතයේ පළමු කාර්තුවේ හුඟක් හෙදි සොයුරු සොයුරියෝ රෝහල අසල අසරණ වූහ. අද කවුරු එහෙම නොවුණාය කීවද ඇත්ත ඒකය. මේ ලියන්නෙ ඔවුන් කී කතාවය.
“සමහර අය අපිට යන්න කඩවල් ඇරියෙ නෑ. අපේ සමහර අය නැවතිලා ඉන්න තැන්වලින් පැන්නුවා. සමහර වෙලාවට යන්න එන්න ත්‍රීවීල් එකක් නතර කරන්නෙ නෑ. අපි හරිම අසරණ වෙලා හිටියෙ…”
ඔවුන් කියනා ලෙසට ගැටුම ලෙහුවේ රෝහල් අධ්‍යක්ෂතුමන්ගේ මූලිකත්වයෙන් ගත් පියවර නිසාය. හැම රෝහලක්ම එවන් පියවරක් සඳහා හැකි සෑම උපක්‍රමයක්ම දැරූ බව සැබෑ කතාවය.
කිසිවෙක් වැරදි යැයි චෝදනා කළ නොහැක. මිනිසුන් ඉන්නේ මරණයට බයේ. මරණය රැගෙන එතැයි සැක කරනා කිසිවෙක් තම කඩසාප්පුවලට ඇතුළු කර නොගන්නට බොහෝ දෙනෙක් පියවර ගත්තේය. මරණය රැගෙන එහෙ මෙහෙ ඇවිද යතැයි සිතනා කිසිවෙක් තමන්ගේ ත්‍රිරෝද රථවලට ගොඩනංවා නොගන්නට බොහෝ දෙනෙක් පියවර ගත්තේය. නමුත් ඔබ සිහිපත් කළ යුතු එකම කාරණාව මේකය. ඔවුන් මරණය සමග සටන් වදින්නේය. ඔවුන් නිසා නොව අප නිසාය. රෝහල් කාර්ය මණ්ඩලවල සියලු දෙනාටම තමන් වෙහෙසනා විදිහට වැටුපක් ලැබෙන බව ඇත්තය. නමුත් මේ මොහොතේ ඔවුන් කිසිවෙක් සිය සේවය හැරදමා පැනදිව්වේ නම්, ඔවුන් රෝහල්වලින් නික්ම ගියා නම්, ඔවුන් රෝහල්වල රාජකාරි පැහැර හැරියා නම් සමහර විට මේ මරණ සංඛ්‍යාව මීට වඩා සිය දහස් ගුණයකින් වැඩි වෙන්නට තිබුණේය. ලංකාවේ හෙද සොයුරු සොයුරියෝ කොවිඩ් රාජකාරියේදී කළ මෙහෙය අපමණය. ඒ නිසා අප ඔවුන්ට හිස නමා අපේ උත්තමාචාරය පුදකළ යුතුය.
ඔවුන්ට වැටුපට වෙන දීමනා එකතු වුණේ නැත. දන්නා පරිදි හෙද, හෙදි රාජකාරි කරනා අයට මේ අවදානම් අවස්ථාවේ අවදානම් දීමනාව ලෙස අඩුම තරමේ රුපියල් දහසක මුදලක්වත් ඔවුන්ගේ වැටුපට එකතු වී නැත. විශේෂ රාජකාරි කරනා කීපදෙනකුට පමණක් රුපියල් 950ක පමණ අවදානම් දීමනාවක් එකතුවූ බව දැනගන්නට තිබුණේය. බොහෝ විට වැක්සීන් ලබාදීමේ කටයුත්තේදී පවා කාර්යමණ්ඩලවලට වැක්සීන් ලැබුණේ අන්තිමටය. මුලින් රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන්ට සියලු දේ ලබාදුන් පසු හෙද හෙදියෝ රජයට මතක් කළේ වෛද්‍යවරුන්ට සියල්ල ලබාදීම පිළිබඳ අපේ කිසිම අමනාපයක් නැත.
නමුත් වෛද්‍යවරුන් සේම හෙද හෙදියෝද මේ කොවිඩ් අර්බුදයේදී වෙහෙසෙනා බව සියලු දෙනාම සිහිතබාගත යුතුය. බොහෝ විට සැප පහසු වාහන නැති, විශාල ගේදොර නැති සාමාන්‍ය ජීවිත ගතකරන මේ මිනිසුන්ට පාරේ, බස් එකේ, කෝච්චියේ හැර යන්න එන්නට වාහන නැත. එහෙම තියෙනා අයද කිහිප දෙනෙක් ඉන්නා බව ඇත්තය. නමුත් බොහෝ දෙනකුට යානවාහන නැත. විශාල ගේදොර සහිත අය ඉන්නා බව ඇත්තය. නමුත් එසේ නොමැති බොහෝ දෙනකුට ගෙදර තනි කාමරයකට දූදරුවන්ගෙන් වෙන් වී ඉන්නට නොහැක. දරුවන්ට කවා පොවා ඒ අයට ගේදොර අවශ්‍යතා පිරිමහන්නට අම්මා ඕනෑය. තාත්තා ඕනෑය. එහෙම අම්මලා තාත්තලා මේ රෝහල් වාට්ටුවල අදත්, මේ ලියන මොහොතේ පවා දුක් විඳිමින් සිටිති. සමහර අය මාස ගණන්වලින් ගෙදරට ගොස් නැත. අයි.ඩී.එච්. රෝහලේ සමහර රාජකාරි කරන හෙද හෙදියෝ මාස තුනකින්, හතරකින්, ගෙදර නොගිය අයය. ඔවුන් ඉන්නේ රෝහලේම එක කොටසක නවාතැන් ගෙනය. සමහර විට මේ දැඩි අසීරුතා මැද PP කිට් එක ඇඳගෙන ඔවුන් හතිලනු ඔබට දැක ගන්නට ලැබෙනු ඇත. රෝහල් පිරී ඉතිරී ගොස්ය.
අයි.සී.යූ. ඇඳන් තැන්තැන්වල හදනා බවට සෙප්පඩ විජ්ජා පෙන්වන දේශපාලකයෝ අයි.සී.යු. ඇඳන් මිස හෙද හෙදියෝ හැදුවේ නැත. හෙද හෙදියන් නිර්මාණය කරනා එක ලේසි නැත. ඒ නිසා රෝහල් ධාරිතාව ඉක්ම යද්දිත් ‘රට වහන්න’ යැයි ඒ මිනිසුන් ඉල්ලන්නේ ඒකය. රෝහලක සාමාන්‍ය වාට්ටුවක සේවය කරන හෙදියන් හෝ හෙද සොහොයුරන් සංඛ්‍යාව තුන් දෙනෙක්, හතර දෙනෙක්, පස් දෙනෙක් වන විට එදා සාමාන්‍යයෙන් රෝහලේ වාට්ටුවේ රෝගීන් හිටියේ හතළිහක් පනහක් නැත්නම් හැටකි. නමුත් අද වන විට මේ හැට, හැත්තෑව ප්‍රමාණය තුන් ගුණයකින්, හතර ගුණයකින් වැඩිවී තිබේ. වෙනදා නිදහසේ එහෙ මෙහෙ ඇවිදිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ හෙද හෙදියන්ට අද දැඩි අසීරුවෙන් ඉටිකොළ මල්ලක බැස ගමන් කරන්නට සිදුව තිබේ. ඒ ඔවුන්ගේ ජීවිතය පරිස්සම් කරගැනීමට වුවමනා නිසාය.ඔවුන්ගේ ජීවිතය පරිස්සම් කරගත යුත්තේද ඔවුන් නිසා නොව හෙට රෝගී වන්නට නියමිත අපේ රටේ පුරවැසියන් නිසාය.
ඒ නිසා නෝනාවරුනි, මහත්වරුනි, තව ටිකක් වැඩියෙන් මේ හෙද සේවය දෙස බලන්න. ඔවුන් මේ වෙන වෙහෙස ගැන මීට වඩා සලකන්න. රටේ කිසිවෙක් ඔවුන්ට ආපදා දීමනාවක් හෝ අවදානම් දීමනාවක් වැඩි කොට දුන්නාය කියා අමනාප නොවෙනු ඇත. ඔවුන්ට සංචාරය සඳහා, නිවෙස්වලට යාම සඳහා ක්‍රමවත් ක්‍රමවේදයක් නිර්මාණය කළාය කියා කිසිවෙක් අමනාප නොවෙනු ඇත. පුළුවන් නම් පමණක් ඔවුන්ටද ජීවිතයේ එක වතාවක් හෝ පර්මිට් එකට හෝ වාහනයක් ලබාගන්නට අඩුම තරමින් යතුරුපැදියක් ලබාගන්නට ක්‍රමවේදයක් සකස් කර දෙනවා නම් කිසිවෙක් අමනාප නොවනු ඇත. ඒ අය රෝහල් ධාරිතාව ඉක්මවා යෑම වළක්වන්නට රජයක් ලෙස හෝ පියවර ගත යුතුය. රජයක් ලෙස පියවර නොගන්නේ නම් මහජනතාව ලෙස, මිනිසුන් ලෙස අප පියවර ගත යුතුය.
හෙද සොයුරු සොයුරියෝ අද ඉන්නේ හිතාගන්න බැරි තරම් වෙහෙසිලාය. ඔවුන් හතිලමින් ඉන්නේ කියන්නට කිසිවෙක් නැතිවය. ඉතිං අපි නවතිමු… ඔවුන් වෙනුවෙන් මොහොතක්.
ස්තුතියි ඔබට…
ජීවන පහන් තිළිණ








