(පළමු දර්ශනය)
එතරම් විශාල නොවූ දෙමහල් නිවෙසක පහළ මාලයේ සාමාන්‍ය ප්‍රමාණයේ සාලයක දර්ශනයකි.
එහි දිග අඩි පහළොවක් විය හැකිය. පළල අඩි අටක් ඇති නැති තරම්ය. ඒ සාලයේ හරි මැදින් දොරටුව නිවෙසේ ප්‍රවේශ මාර්ගයට මුහුණලා තිබේ.
නිවෙසට එන්නෙකුට කෙළින්ම ඒ දොරටුවෙන් ඇතුළු විය යුත්තේ සාලයටය. එවිට ඔහුට එක එල්ලේම දිස්වන අන්දමට තැබූ පුටු කිහිපයකි. ඊට අඩි පහක් පමණ ඉහළින් බිත්තිය දිගට සවි කළ තට්ටුවේ (රැක්) විවිධ සම්මාන ප්‍රතිමාය.
අවුරුදු දහයක් පමණ එක දිගට හොඳම නළුවාට හිමි වාර්ෂික සම්මාන දහයකට වඩා ඒ අතර විය.
තීරණාත්මක 12 වැනිදාත් එම නිවෙසේ සාමාන්‍ය උදේ ආහාරය කිරිබත්ය. ලුණුමිරිසටත්, සීනි සම්බෝලයටත් යන දෙකටම නැති එකකි. රන්ජන් කියන හැටියට ඒ නිෂ්පාදනය ශ්‍රියාකාන්තට පමණක් ආවේණික එකකි.
“මගෙ දණ හිස ඇදුම් දෙනව” හීල වැළඳීමෙන් පසුව ඔහු දණහිස අල්ලාගෙන කීවේය. කවුරුදෝ වේදනා නාශකයක් ඇතිල්ලුවේය. පැනඩෝල් පෙති දෙකක්ද ඔහු බීවේය.
“හොඳටම පරක්කුයි” මිදුලේ (මිදුල යනු නිවෙස ඉදිරියේ පොදු පාරය) සිට තිලකේ (පොලිස් රාලහාමි) උස් හඬින් කීය.
“කීයද? වෙලාව”
“නවයයි සර්”
ඔහු වාහනය ළඟට ආවේය.
රථාචාර්යා කුෂාන්ය. වාහනය ස්ටාර්ට් එකේය. ඉදරියේ වම්පස දොර ඇරුණු ගමන්ය. ඒ අසල තිලකේ (පොලිස් රාලහාමි) ඇලට් එකේ හිටගෙනය. මුදල්, ලියුම්-කියුම් අඩංගු අත්මල්ල උකුලේ ඇති ශ්‍රීයාකාන්ත (භාණ්ඩාගාරික) පිටුපස අසුණේය.
ගමන මොනතරම් හදිස්සි එකක් වුවත් රන්ජා නිවෙසින් එළියට ආ විගසම වාහනයට නගින්නේ නැත. ඔහු වාහනය ළඟට අවුත් “හරි යමු” යැයි කියන්නේය.
එහෙත් වාහනයට නගින පාටක් නැත.
එසේ කියන ගමන් දණ හිස් දෙක ඉදිරියට නමා මඳක් පාත්වී රියේ දොර කණ්ණාඩියෙන් බලා දෑතින් කොණ්ඩය හදයි. එසේ කර පාරේ අනෙක් පැත්තේ අඹ ගස යටට ගොස් උඩුකය ඇඳුම (ටී-ෂර්ට් එක හෝ කමිසය හෝ කෝට් එක හෝ) සකසයි. කාක්කෙකු මෙන් කරට උඩින් හැරී බලයි. වරක් උගුර පාදයි. ඉන්පසු අවුත් “හරි යමු” යැයි පවසා වාහනයේ ඉදිරි අසුනේ ඉඳගනියි.
ඔහු කොපමණ “හරි හරි”යි කීවත් මමත්, බණ්ඩාර මහත්තයාත් පමණක් රන්ජා උඩුමහලෙන් එළියට බහින වෙලාව දීර්ඝකාලීන අත්දැකීමෙන් නිශ්චිතව අඳුනාගත් එක් සංඥාවක් තිබිණි.
ඒ සංඥාව නිකුත් වී විනාඩි දහයකට පසුව හෙතෙම නොවැරැදීම එළියට එන්නේ යැයි අපි දනිමු.
සංඥාව වනාහි මාදිවෙල සිට බොරැල්ල දක්වා විහිදෙන විලවුන් සුවඳය.
ඔන්න ඔය කියන චර්යාව අඟහරුවාදා (12දා) උදේ අධිකරණයට යෑමේදී ද අනුපිළිවෙළටම අකුරටම කෙරිණි.
ඒ යන ගමන් පාර්ලිමේන්තු නිල නිවාස සංකීර්ණ පොලිස් මුරපොළේ නිලධාරීන්ට එදිනද ආචරශීලීව කතා කෙළේය.
එපමණක් නොව එතෙක් ගේට්ටුව ළඟ එදින රැක සිටි රන්ජාගේ “මාධ්‍ය මල්ලිලාට” ද සුහදව නොව (ඔහුගේ වචනයෙන්ම) “බොක්කෙන්ම” වචනයක්, දෙකක් කතාකර අර “වැල්ලට බහින” උපහැරණය එදින උදේ අවදිවූ පසුව “සියවැනි” වතාවටත් ගේට්ටුව අසලදී “සංඝායනා” හෙතෙම කෙළේය.
අධිකරණ සංකීර්ණයේද සුපුරුදු පරිදි වන්ෂොට් එනතුරු සිටින මාධ්‍ය සහෘදයන්ට ඔහු සුහදව සිනා පෑවේය. ඒ සිනාව වෙනත් ඇතැම් දේශපාලනඥයන් දාන නළලෙන් සිනාසීම හෝ “කුට්ටම” (දත්) දැමීමක් නොවේ.
සිවු වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬ`ුවම 2021.01.12 දින සිට නියම වූ පසුව ඔහු හැසිරුණේද කිසිදු චකිතයක් හෝ තැතිගැන්මක් හෝ නැතිවය.
දඬුවම් නියම වීමෙන් අනතුරුව රන්ජන් රාමනායක අධිකරණයට වෙනදා මෙන්ම “හිස නමා” ආචාර කෙළේය.
අනතුරුව හෙතෙම පස්වරු 1.30ට පමණ වැලිකඩ බන්ධනාගාරයට ගෙනයනු ලැබුවේය.
ජම්පරයක්ද ඇන්දවීමෙන් පසුව දින දාහතරක (14) කාලසීමාවකට නිරෝධායනය සඳහා ‘පල්ලන්සේන’ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනයනු ලැබිණි.
ඒ සතිදෙක ගතවූ පසුව අඟුණකොළපැලැස්සට ගෙනයන දිනයේ සිය මස්සිනා දැකබලා ගැනීමට රන්ජන්ගේ එකම සොයුරියගේ සැමියා වන ‘නිරන්ජන් අසරප්පා’ පල්ලන්සේන මධ්‍යස්ථානයේ ගේට්ටුව අසල උදේ සිටම රැක සිටියේය.
එහෙත් රන්ජන් ගමන් කළ වෑන් රථය දුටු හැටියේම අසරප්පාට ‘බුදු අප්පේ’ යැයි කියැවිණි. ඒ ඔහුගේ එකම අපේක්‍ෂාව සුන්වූ හෙයිනි. රන්ජන් ගමන් කරනු ලැබුවේ “කළු වීදුරු” වෑන් රථයකය.
වන්ෂොට්ට බන්ධනාගාරයද අමුතු ස්ථානයක් නොවේ.
ඔහු අපායට ගියත් “කාඩ් පැක්” එකක් සොයාගෙන “යම රජු” ද ඇතුළු “යමපල්ලන්” සමග එකට කාඩ් ගහන්න තරම් මිනිසුන් “දපනෙ” දමාගැනීමේ ශිල්පය දන්නෙකු හෙයිනි.
(සංයුක්ත තැටි සිද්ධියට රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු විට ඔහු සෙසු රැඳවියන්ට “කායවර්ධන” අභ්‍යාස පාඨමාලාව සැමදා උදේ ඉගැන්නුවේ එබැවිනි. බන්ධනාගාරයේදී පැවරුණු සියලු කටයුතු කරන්නට ඔහුට ඉඩ නොලැබිණි. සහෝදර රෑඳවියෝ ඒ සියල්ල ඉටු කළහ.)
ඒ ඔහු “මිනිසුන්ගේ මිනිහෙක්” බැවිනි. (සමාවන්න) මිනිසුන්ගේ යැයි කීවාට වන්ෂොට් මිනිසුන්ගේම මිනිහෙක් පමණක්ම නොවේ. “වැඩියෙන්ම කාන්තාවන්ගේය.”
පල්ලන්සේන කඳවුරේ සිටියදී එහි සුබසාධන අංශයේ අනුග්‍රහයෙන් හිතවතකු සමග කතා කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි. (ඔවුනට ස්තුති වේවා) ඒ පණිවුඩයෙන් කියැවුණේ ඔහුට තව ඇඳුම් (ජම්පර) දෙකක්, සුදු ලේන්සු කිහිපයක් සහ කියවන්නට පොත් ටිකක් සපයා දෙන ඉල්ලීමකි.
ලැබුණු එකම ජම්පරය ඇඳගෙන සිටීම දුෂ්කර බවද කීවේය. කොරෝනා මාරයා නිසා පොත් ටික දෙන්නට ඉඩ නොලැබුණද ඉතුරු ඉල්ලීම ඉටු කෙරිණි.
නිරෝධායන සමය අවසන්වූ විට ඔහුට දොර ඇරුණේ “අඟුණකොළපැලැස්සේ”ය.
දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු “දණ හිසේ” වේදනාව එහිදී වැඩි වන්නට පටන් ගත්තේය.
එය හිතේ වේදනාවද සමග අත්වැල් බැඳගන්නට ඇත. ඔහුගේ කාර්ය මණ්ඩලය්ම සිටි ඇතැමුන් ගැන ඔහුට සිහිවන්නටද බැරිකමක් නැත. වළවල් කපන්නාට තැනක් නොතැනක් කවදත් නැත.
රන්ජා “කොටි පවුලේ සාමාජිකයෙකි”
ඔහු ඇඳුම්-පැලඳුම් ගැන සේම ආහාර ගැනද දැඩි සැලකිල්ලක් දැක්වූවෙකි. දිනයේ තුන් වේලටම නොවැරැදීම මස් හෝ මාළු හෝ නැතුවම බැරිය. එසේම මැල්ලුමක් හෝ සලාදයක් හෝ ඉතාම අවශ්‍යය.
’එසේ කෑ, බී මනුස්සයාට හිරගෙදර…..?’
මුල්කාලයේදී ඔහුට නිදා ගන්නට සිදුවූයේ පහළොස් දෙනකු පමණ සමග දිග ශාලාවකය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස එහි ගිය අවස්ථාවේ ඒ තත්ත්වය දැන එමගින් අත්විය හැකි අනාරක්‍ෂිත තත්ත්වය පිළිබඳව බලධාරීන්ට කරුණු පහදා දීමෙන් පසු ඔහුට තනි කාමරයක් ලැබුණේය.
අඟුණකොළේදී පළමුවෙන්ම විසිට් එකක් “විසිට් එකක්” (රෑඳවියා දැකීමේ අවස්ථාව) ලැබුණේ පෙබරවාරි 15දාය. ඒද එක් අයකුට පමණි. ඒ අවස්ථාවට ගියේ ඔහුගේ හිතවතියක වූ වෛද්‍ය භාග්‍යා මොහොට්ටිය. අමුත්තන් හමුවන ශාලාවේ ගන වීදුරු තහඩුවක දෙපැත්තේ සිට දුරකථනයෙන් කතා කිරීමේ ඉඩ පමණක් ඇයට ලැබිණි. ඒ අවස්ථාවේ රන්ජන්ගේ පළමු ප්‍රශ්නය “මගේ හිතවතුන්ට, රසික-රසිකාවියන්ට, ඡන්ද දායකයින්ට මාව අමතකද?” යන්නය. දෙවැන්න “මගේ කාර්ය මණ්ඩලේට දැන් රස්සාවල් නෑ, ඒගොල්ලන් ජීවත් වෙන්නෙ කොහොමද? දන්නෙ නෑ.”
කොරා්නා වසංගතය නිසා සෑම රැඳවියකුටම “විසිට්” එක මාසයකට එකවරක් විය.
“සෙල්පි” සිද්ධිය නිසා මේ මනුස්සයාට“හොඳ පනිෂ්මන්ට් එකක්ද” කන්නට ලැබී තිබේ. ඊළඟ විසිට් එක ලැබුණේ අප්‍රේල් 13දාය.
අඟුණකොළේට එන්නට පෙර කිලෝ 89 ක් බර වූ හෙතෙම ඒ වන විට කිලෝ දහයක (10) බරක් අඩුවී තිබිණි. පසුව එළිමහනට එන්නට ලැබුණු අවස්ථාවේ හෙතෙම ශාරීරික අභ්‍යාස කරන්නට පටන් ගත්තේය.
ඔහුගේ ශරීර ශක්තියද පිරිහුණා සේය. රෝගී තත්ත්වය (දණ හිසේ) ඉහවහ ගියෙන් හිටගැනීමටද නොහැකි විය.
ඒ නිසා රන්ජන් 2021.06.23 දින ගාල්ලේ කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබිණි. ඒ රෝහලේ සති තුනක පමණ කාලයක් (2021.07.18 දක්වා) ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව යළිදු අඟුණකොළපැලැස්සටම කැටුව යනු ලැබිණි.
දැන් හෙතෙම මඳක් සැනසිල්ලේ සිටින්නේය. ඒ “රිලැක්ස්” කරන හෙයිනි. එමතුද නොව රන්ජා දැන් භවනාද කරන්නේය. “කුණ්ඩලිනී” යෝගි භාවනාවද කරන්නේය.
සිනමා රසික රසිකාවියන්ගේ “වන්ෂොට්” වූද, සාමාන්‍ය මිනිහාට “රන්ජා” වූද, උප්පැන්න සහතිකේ “සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ අඹ කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ රාමනායක” පවසන්නේ දෙවියන් වහන්සේ තමාට දඬුවම් දුන් බවය. ඒ බව කීමට ඔහු මේ දිනවල පොතක් ලියයි. එහි නම“දෙවියන් වහන්සේ මට දඬුවම් දුන්හ” God Punished Me යන්නයි.
ඔහු බන්ධනාගාරගත කෙරී ලබන 30දාට (2021.07.30) හරියටම දින දෙසීයක් (200) වේ.
චිත්‍රපට අධ්‍යක්‍ෂ, නිෂ්පාදක සහ සිනමා ශාලාහිමි සුරංග ද අල්විස් විසින්, සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් පසුගිය අඟහරුවාදා (27දා) මරදානේ “රූබි” සිනමා හලේදී පැවැත්විණි.
වර්තමානයේ වැඩිම ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා සිටින සුපිරි සිනමා තරුව වන රන්ජන් රාමනායක සිනමා ශිල්පියා ජනාධිපති සමාව දිය යුතුය යන ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම තේමාව කරගනිමින් මාධ්‍ය හමුවක් පැවැත්විණි.
එක් එක් සංවිධාන (සංගම්) නියෝජනය කරමින් සහභාගි වූවෝ මෙසේය.
ප්‍රවීණ සිනමා ශිල්පී ජීවන් කුමාරතුංග, සහාය අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය, ඩොනල්ඩ්, වේශ නිරූපණ ඉන්දික උදාර, අධ්‍යක්‍ෂවරුන්ගේ අනුරුද්ධ ජයසිංහ, නිෂ්පාදක සුදේශ් කුමාර, ගායක, ගායිකා රොහාන් සිල්වා, කැමරා ශිල්පීන් චන්න හෙට්ටිආරච්චි, ප්‍රදර්ශකයන්ගේ අනුරාධ රැකව.
උදයකාන්ත වර්ණසූරිය සහ දිල්හානි අශෝකමාලා සංවිධානයට දායක වූහ.
රන්ජන් රාමනායක සෑම විටෙකම තම රසික රසිකාවියන්, හිතමිත්‍රාදීන්, ඡන්දදායකයින් සිහිපත් කරයි. පසුගියදා ඔහු ‘මව්රට’ සංග්‍රහයෙන් ඉල්ලීමක් කරන ලෙසට කියා තිබුණේය.
ඒ තම රසික රසිකාවියන්ට, හිතමිත්‍රාදීන්ට, ඡන්දදායකයන්ට තම හැඟීම ලියා එවන ලෙසටයි. ඔහු ලිපිනයද දන්වා තිබුණේය.
රන්ජන් රාමනායක, වයි අංශය, ශ්‍රී ලංකා බන්ධනාගාරය, අඟුණකොළපැලැස්ස. ඒ ඔහුගේ වර්තමාන නිල නිවෙසේ ලිපිනයයි.
අපි ඒ ඉල්ලීම මෙසේ ඉටු කරමු.
මේ නිහතමානී මනුස්සයා ගැන කීමට බොහෝ දේ සිහිපත් වේ.
“ඇතා වැහැරුණත් කොරහේ නාවන්න බැරිය.”
වන්ෂොට් නොකවුට් නැත.
චන්ද්‍රසේන මාරසිංහ
(සමාජ සේවා, සහ මාර්ග සහ මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රන්ජන් රාමනායකගේ පෞද්ගලික සහකාර, පාර්ලිමේන්තු කටයුතු ලේකම් සහ ප්‍රවෘත්ති නිලධාරි)










