කොරෝනා, ඩෙල්ටා ප‍්‍රභේදයට එරෙහිව අඩු කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන, චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නතින් මාත‍්‍රා මිලියන 13 ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇති බව ඩේලිමිරර් පුවත්පත සිය මුල් පුවත මගින් අනාවරණය කොට ඇත.
සිනොවැක් මාත‍්‍රාවක මිල ඇමරිකානු ඩොලර් 15 ක් වන අතර, එම මිල, අනෙකුත් එන්නත් සදහා ගෙවන මිල ගණන් හා සසදා බැලීමේ දී ඉහළ අගයක් බව වාර්තා වේ.
ඵලදායීතාව අඩු, සිනොවැක් එන්නත් මාත‍්‍රා මිලියන 13 ක්, අධික මිලකට මිලදී ගැනීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් ඔවුන්ගේ දැඩි විරෝධය රජය වෙත එල්ල කරමින් සිටින බව පැවසේ.
මේ වනවිටත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ, එන්නත් සම්බන්ධ විශේෂඥ කමිටුවේ සාමාජිකයන් තුන් දෙනෙකු, සිනොවැක් එන්නත මිලදී ගැනීමට ගෙන තිබෙන තීරණයට විරෝධය පාමින්, ඉන් ඉවත්ව තිබේ.
සිනොවැක් මාත‍්‍රා මිලියන 13 ක් ගෙන්වනවා යනු, මෙරට එන්නත්කරණ වැඩසටහන තුළ ඉලක්ක කර තිබෙන ප‍්‍රජාවෙන් 30%-40% අතර සංඛ්‍යාවක් ඉන් ආවරණය වන බවයි.
ඵළදායීතාවය අඩු එන්නතක් එතරම් විශාල පිරිසකට ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.











