එජාපය සාමකාමියි: ශ්‍රිලනිපය පොහොට්ටුව පුපුරයි
අවසන් වූයේ ආන්දෝලනාත්මක සහ අර්බුදකාරී දේශපාලන සිදුවීම්වලින් ගහණ වූ තවත් සතියකි. පසුගිය සති කිහිපය පුරාම අපේක්ෂක සටන මුල්කරගෙන එජාපය ඇතුළේ පැවැති අර්බුදය සාමකාමී සහ සමගිසම්පන්න අවසානයක් කරා පසුගිය සතිය වන විට එමින් තිබියදී ශ්‍රීලනිප සහ පොහොට්ටු අභ්‍යන්තරය තුළ අර්බුදකාරී සිදුවීම් කිහිපයක්ම මතුවෙමින් පැවැතීම විශේෂ සිදුවීමක් විය. ශ්‍රීලනිපය පසුගිය සතිය පුරාම පැටලී සිටියේ තනිව ජනාධිපතිවරණයට තරග කරනවාද, එසේත් නැත්නම් එජාපය අපේක්ෂකයා වන සජිත්ට සහාය පලකරනවාද, එසේත් නැත්නම් පොහොට්ටු ලකුණ වෙනස්කර ගන්නා ලෙසට රාජපක්ෂ පාර්ශ්වයට බලපෑම් කොට ගෝඨාභයට සහාය පලකරනවාද යන්න තෝරාබේරාගත නොහැකිවය. එමෙන්ම පොහොට්ටුව පසුගිය සතියේ පැටලී සිටියේ ගෝඨාභයගේ පුරවැසි බව පිළිබඳ ප්‍රශ්නය මුල්කරගෙන නීතිමය කරුණු රැසක සහ ශ්‍රීලනිපයේ බලපෑම මත පොහොට්ටුව ලකුණ වෙනස් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකිවය.
මධ්‍යම කාරක සභාවේ ගාලගෝට්ටි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය සිකුරාදා (4දා) පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවූයේ මෙවන් පසුබිමක් යටතේදීය. ඒ වන විටත් පොහොට්ටුව ලකුණ යටතේම ගෝඨාභයට සහාය පළකළ යුතු බවට නිමල් සිරිපාලද සිල්වා බැසිල් සමඟ සාකච්ඡා කොට සකස් කර තිබූ අවබෝධතා ගිවිසුම පිළිබඳවද සිකුරාදා උදෑසන වන විටම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ කනට වටින් පිටින් වැටී තිබිණ. එම යෝජනාවට නිමල් පමණක් නොව තිලංග සුමතිපාල, රංජිත් සියඹලාපිටිය වැන්නවුන් පවා සහාය දක්වා ඇති බවට වාර්තා වීමත් සමඟ සිකුරාදා උදෑසන වන විට ශ්‍රීලනිපය විශාල ලෙස කැළඹී තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සිකුරාදා උදේ වරුවේම මෛත්‍රිට කතා කළ දයාසිරි ජයසේකරත්, දුමින්ද සහ අමරවීරත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කියා සිටියේ නිමල් සිරිපාල තනියම ගොස් බැසිල් සමග සාකච්ඡා කොට පක්ෂය විනාශ කරන ආකාරයේ යෝජනාවලියක් සකස් කොට ඇතැයි කියාය. මෛත්‍රි සිකුරාදා සවස හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවූයේ දයාසිරිලාගේ මේ පැමිණිල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. එහිදී කිසිවකුත් නොසිතූ ආකාරයට බරපතළ උණුසුම්කාරී තත්ත්වයක් මතුවන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ, දයාසිරි විසින් නිමල්, තිලංග සහ සියඹලාපිටිය ඉලක්ක කරගෙන දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කිරීමත්, ඊට සියඹලාපිටිය පිළිතුරු දීමට කටයුතු කිරීමත් නිසාය. දෙදෙනාට එරෙහිව දෙදෙනාම එකට එක කියාගැනීමට යෑම නිසා රැස්වීම එකම ගාලගෝට්ටියක් වන ආකාරයක් දැකගැනීමට ලැබිණ. එමෙන්ම දෙදෙනාම අඩිය පිටුපසට ගැනීමට සූදානම් නොමැති බවක් පෙනෙන්නට නොතිබූ නිසා අවසානයේදී දෙදෙනාගේ වාදය සමතයකට පත්කිරීමට මෛත්‍රිටත් මැදිහත්වීමට සිදුවිය.
ඉන් අනතුරුව අදහස් දැක්වීමට පටන්ගත්තේ නිමල් සිරිපාලය. නිමල් පොහොට්ටුව යටතේ ශ්‍රීලනිපය තරග කළ යුතු බවට වූ යෝජනාව සාධාරණීයකරණය කරමින් කතා කරන්නට විය.
නිමල් සිරිපාල පොහොට්ටුවට: මෛත්‍රිගෙන් අමුතු යෝජනාවක්
“අපි බලන්න ඕනෙ අපේ අය විතරක් නෙවෙයි යූ.ඇන්.පී. විරෝධී සියලු දෙනාම එකතු කරගන්න විදිහක් ගැන. අපිට වෙන ලකුණක් මේ වෙලාවෙ ගන්න ගියොත් නීතිමය ගැටලු ගණනාවකට මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මමනම් කියන්නෙ සලකුණු වෙනස් කරන්න යන්නෙ නැතුව අපි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව ලකුණින් යමු කියලයි. ඕනෙ නම් මහ ඡන්දෙදි අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්.” යනුවෙන් කියමින් නිමල් අදහස් දක්වද්දී අනෙක් පාර්ශ්වයෙන් ඊට බරපතළ විරෝධයක් එල්ල විය. ඊට මූලිකත්වය ගත්තේ දුමින්දත්, දයාසිරිත්ය.
“එහෙම කොහොමද? අපි ඔක්කොම එක ස්ථාවරයක ඉන්න ඕනෙ. අපි මීට කලින් තීන්දු කළානෙ පොහොට්ටුව ලකුණට සහාය දක්වන්න බෑ කියලා. ඉතින් එහෙම තියෙද්දි ඔබතුමාල කොහොමද අපෙනුන් අහන්නෙ නැතුව ගිහිල්ල පොහොට්ටුවට සහාය දක්වන්නෙ. අපි තීන්දු කළා නම් සහාය දෙන්න සලකුණ වෙනස් වෙන්න ඕනෙ කියල අනිවාර්යෙන්ම පොහොට්ටුව ලකුණ වෙනස් වෙන්න ඕනෙ. එතකොට අපිට පුළුවන් ඒ අයට සහාය දක්වන්න” යනුවෙන් දුමින්දත්, දයාසිරිත් කියද්දි මෛත්‍රි බොහොම නිහඬව ඒ දෙස බලා සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. මීට පෙරත් මෙම ප්‍රශ්නය සාකච්ඡාවට ගැනුණු අවස්ථා කිහිපයකදීම මෛත්‍රි එක් පාර්ශ්වයක් නොගෙන සිටින ආකාරයක් දැකගන්නට ලැබුණද මෙම වාදය යද්දී බොහෝ දෙනකුට මෛත්‍රිගේ මුහුණේ ඉරියව්වලින් පෙනුණේ නිමල් සිරිපාලලාගේ ස්ථාවරයට විරුද්ධව පළවූ සලකුණුය. එම නිසා වාදය තදට ඇදීයද්දී මෛත්‍රි එක්තරා තැනකදී යෝජනාවක් කළේය. ඒ, ශ්‍රීලනිපය ගතයුතු විකල්ප ස්ථාවරයක් පිළිබඳවය.
මෛත්‍රිට වෙන දේ දුමින්ද පෙන්වා දෙයි
“පොහොට්ටුවයි අපියි අතරේ මේ වගේ මතභේදයක් තියෙනවා නම් අපි තනියම තරග කරන්න ඇප මුදල් බඳිමු. ඒ අයට වෙනම තරග කරන්න කියමු” යනුවෙන් මෛත්‍රි සිය ස්ථාවරය පැහැදිලි කරද්දී ඊට කිසිවකුගෙන්වත් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව මෛත්‍රි කළ මෙම ප්‍රකාශයත් සමඟ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් දෙපිළ බෙදී නිමල්ලාත්, දයාසිරිලාත් දිගු වේලාවක් ගෙනගිය වාදය යට යන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ සමඟම ඉන් අනතුරුව කතා කළේ දුමින්දය. එහිදී දුමින්දද බරපතළ ප්‍රකාශයක් සිදුකළ ආකාරයක් දැකගත හැකි විය.
“ජනාධිපතිතුමනි, දැන් මේ නිමල් සිරිපාල ඇමැතිතුමා කරන යෝජනාවට එකඟ වෙලා අපි පොහොට්ටුව යටතේ තරග කරල යම් විදිහකින් නොවැම්බර් 17 වැනිදා ගෝඨාභය ජනාධිපති වුණොත් එතැනින් එහාට ඔබතුමාගෙන් කාටවත් කිසි වැඩක් නෑ. අපි යන්න ඕනෙ ගෝඨාභයත් එක්ක එතුමගෙ පිටිපස්සෙන්. ඒ හින්ද ඔබතුමා මේ වෙලාවෙ මේ තීන්දුව හරියට ගන්න. ඔබතුමාට මෙතැනින් එහාටත් දේශපාලනය කරන්න ඕනෙ කියල නිකම් හරි අදහසක් තියෙනව නම් මේ වෙලාවෙ හරි තීන්දුවක් ගන්න ඕනෙ. එහෙම නැති වුණොත් මෙතැනින් පස්සෙ ඔබතුමාගෙ දේශපාලනෙත් ඉවරයි. මේ ඉන්න කාටවත් ඔබතුමාගෙන් වැඩක් නෑ” යනුවෙන් කියමින් දුමින්ද කිසිවකුත් නොදුටු සහ කිසිවකුත් නොසිතූ ප්‍රශ්නයේ එක් පැත්තක් මෛත්‍රිට පෙන්වා දෙද්දී මෛත්‍රිගේ මුහුණද අඳුරු වී යන ආකාරයක් දැකගන්නට ලැබිණි.
දයාසිරි අනුර යාපාගේ රෙදි ගලවයි
ඒ සමඟම දයාසිරිද පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර ඇති ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක්ද මෙහිදී මෛත්‍රිගේ අවධානයට යොමු කළේය.
“දැන් බලන්න මේ අයගෙ ප්‍රතිපත්ති මොනාද කියල. අපි පහුගිය කාලෙ මේ ආණ්ඩුව ඇමෙරිකාවත් එක්ක ඇක්සා ගිවිසුමයි, සෝෆා ගිවිසුමයි ගහන්න යද්දි විරුද්ධ වුණා. අපි විතරක් නෙමෙයි පොහොට්ටුවත් විරුද්ධ වුණා. අනුර ප්‍රියදර්ශනත් විරුද්ධ වුණා. හැබැයි ඊයේ පෙරේදා අනුර යාපා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල කියනවා සෝෆා, ඇක්සා ගිවිසුම්වලට ඒ අයගේ විරෝධයක් නෑ කියලා. ඒවයෙ තියෙන සමහර යෝජනා සංශෝධනය කරලා ඒවා ආයෙමත් අස්සන් කරනවා කියලා. ඉතින් මේ වගේ ප්‍රතිපත්ති තියෙන අයත් එක්ක අපි කොහොමද එකට ගිහින් හිටගන්නෙ.” යනුවෙන් කියමින් දයාසිරි පොහොට්ටුවට එරෙහිව බරපතළ විවේචනයක් මතුකරද්දී ඊට පිළිතුරු ලෙස මෛත්‍රිගේ කටින්ද බරපතළ ප්‍රකාශයක් නිකුත් විය.
මෛත්‍රි ඇමරිකන් ඒජන්තයො කිව්වෙ කාටද?
“ඉතින් ඒක එහෙම වෙන්න ඕනෙනෙ. ඒ අය ඔක්කොම ඇමරිකන් ඒජන්තයොනෙ” යනුවෙන් මෛත්‍රි කියද්දී එහි සිටි සියල්ලන්ගේම පාහේ ඇස් උඩ යන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ, මෛත්‍රි එය හිතාමතාම කීවාද එසේත් නැතිනම් නොදැන කියැවුණාද යන්න සිතාගත නොහැකිවය. කෙසේ වෙතත් අවසානයේදී මෛත්‍රි කියා සිටියේ මේ පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම සඳහා මහින්ද, ගෝඨාභය, බැසිල් යන රාජපක්ෂ සහෝදරවරුන් තිදෙනා සමඟම තමන් සාකච්ඡා කිරීමට සූදානම් යැයි කියාය. ඒ අනුව එතැන සිටම මහින්දටත්, බැසිල්ටත්, ගෝඨාටත් දුරකතන ඇමැතුම් දුන් මෛත්‍රි එහි සිටි සියලුදෙනාටම ඇසෙන්නට කියා සිටියේ තමන්ට වහාම ඔවුන්ව මුණගැසීමට අවශ්‍ය බවත්, සෙනසුරාදා 12ට පැමිණ තමන්ව හමුවන ලෙසත්ය.
මහින්දගේ පක්ෂ නායකයන්ට මෛත්‍රිගෙන් ආරාධනාවක්
ඒ ආකාරයට රාජපක්ෂවරුන්ට කතා කරමින් අදාළ සාකච්ඡාව නිමා කළ මෛත්‍රි ඊට සුළු මොහොතකට පසු තවත් විශේෂ සාකච්ඡාවක් සඳහා පිරිසකට ආරාධනා කිරීමට කටයුතු කළේය. ඒ පිරිස වෙන කවුරුවත් නොව මහින්දත් සමඟ එකට සිටින පොහොට්ටුවේ අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන්ය. ඒ අනුව මහින්දට සෙනසුරාදා 12ට තමන්ව මුණගැසෙන ලෙසට වේලාව දුන් මෛත්‍රි පොහොට්ටුවේ සෙසු පක්ෂ නායකයන්ට සෙනසුරාදා පෙරවරු 10.30ට තමන්ව මුණගැසෙන ලෙසට දැනුම්දී සිටියේය. ඒ අනුව සාකච්ඡාව අරඹන විට ඊට දිනේෂ්, වාසු, ඩිව්, විමල්, උදය, තිස්ස විතාරණ සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදීද පිරිස අතර සාකච්ඡාවට මාතෘකාව වූයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලකුණය. එහිදී මෛත්‍රි සාකච්ඡාව ආරම්භ කරමින් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීන්දුව පිරිසට දැනුම්දී සිටියේය. ඔහු කියා සිටියේ පොහොට්ටුව ලකුණ වෙනස් නොවන්නේ නම් තමන්ට ගෝඨාභයට සහාය ලබාදීමට නොහැකි යැයි කියාය. මෙහිදී විමල්ලා, දිනේෂ්ලාද අඩ වශයෙන් මෛත්‍රිගේ ස්ථාවරයේ සිටීම විශේෂ සිදුවීමක් විය.
“අපිත් පිළිගන්නවා ජනාධිපතිවරණයේදී සියල්ලන්ටම එකඟ වෙන්න පුළුවන් පොදු ලකුණක් තිබුණ නම් හොඳයි කියලා. හැබැයි මේ වෙලාවේ අපිට ඒ ගැන අවදානමක් ගන්න අමාරුයි. අනෙක අපි කොහොම හරි මේ ඡන්දෙ දිනන්න ඕනෙ. මේ ප්‍රශ්නෙ හින්ද අපිත් පොහොට්ටුව එක්ක අවබෝධතා ගිවිසුම් අස්සන් කළේ නෑ. අපිත් ඉන්නෙ ඊළඟ මහ ඡන්දෙදි පොදු ලකුණකින් තරග කරන්න ඕනෙ කියන ස්ථාවරයේ. ජනාධිපතිතුමත් ඒ ස්ථාවරයේ ඉන්න එක අපිට හයියක්. ඒ හින්ද අපි ඔක්කොම එකතු වෙලා මේක හිටපු ජනාධිපතිතුමාට කියමු” යන්න එහිදී පැමිණ සිටියවුන් මෛත්‍රිට කියා සිටි කාරණය විය.
දවල් 12ට රැස්වීම ඇරඹෙයි
මෛත්‍රි දහවල් දොළහට මහින්ද, ගෝඨාභය, බැසිල් මුණගැසුණේ එම සාකච්ඡාවෙන් අනතුරුවය. මෙම සාකච්ඡාවට එම සියලුදෙනාට අමතරව වෙනත් කිසිවකුත් සහභාගි වී නොසිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සාකච්ඡාව ආරම්භයේදීම මෛත්‍රි පොහොට්ටුව ලකුණ යටතේ ගෝඨාභයට සහාය පලකිරීමට ශ්‍රීලනිපයට නොහැකි බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගෙන ඇති තීන්දුව රාජපක්ෂවරුන්ට දැනුම්දීමට කටයුතු කළේය. මෛත්‍රිගේ අදහස් දැක්වීමට සාවදානව අසා සිටි රාජපක්ෂවරුන්ගෙන් මුලින්ම ඊට පිළිතුරු ලබාදීමට ඉදිරිපත් වූයේ බැසිල්ය. බැසිල් එහි ඇති අසීරු පැත්ත මෛත්‍රිට පැහැදිලි කරන්නට විය.
“අපිට මේ ලකුණ කියන එක නෙමෙයි ප්‍රශ්නය. අපි මේ වෙලාවෙ වෙන ලකුණකින් ඉල්ලන්න ගියොත් නීතිමය ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. දැන් ගෝඨාභය ඇප බැඳලත් ඉවරයි. අපිට ඊළඟට වෙන ලකුණකින් ආයෙමත් ඇපබඳින්නත් බෑ. අනෙක පුටුව ලකුණ ගත්තොත් ඒක තියෙන්නෙ දී.මු. යටතෙ. ඒ පක්ෂය දැන් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. එතුමා ඒක නොදුන්නොත් ඒකත් ප්‍රශ්නයක්. අනෙක දැන් පොහොට්ටුව කියන ලකුණ මුළු රටම දන්නව. අලුත් ලකුණක් මාකට් කරන්න දැන් අපිට තියෙන වෙලාවත් මදි. ඒ නිසා පොහොට්ටුව ලකුණින් දෙගොල්ලන්ටම එකතු වෙලා යන එක තමයි හොඳම විදිහ.” යනුවෙන් කියමින් බැසිල් තත්ත්වය පැහැදිලි කරද්දී මෛත්‍රිගෙන් ඊට එකඟතාවයක් පලවනු දැකගත නොහැකි විය. මෛත්‍රිත් දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ ශ්‍රීලනිප ස්ථාවරය සහ අවසන් තීන්දුව එය යැයි කියාය. එවිට බැසිල් තවත් ප්‍රශ්නයක් මෛත්‍රිගෙන් විමසා සිටියේය. ඒ, මෛත්‍රිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා බලපෑම් එල්ලවනවාද කියාය. එවිට මෛත්‍රි එය කෙළින්ම ප්‍රතිකේෂ්ප කරමින් කියා සිටියේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නැතැයි කියාය. එසේ වුවත් සිය දේශපාලන අනාගතය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කිරීමටද මෙහිදී මෛත්‍රි කටයුතු කළේය.
මෛත්‍රිගෙන් රාජපක්ෂවරුන්ට සහතිකයක්
“නෑ. මගේ වචනෙ ඔබතුමාල පිළිගන්න. මම ජනාධිපතිවරණයට තරග කරන්නෙ නෑ. මම 2015දි දළදා හාමුදුරුවො ඉස්සරහ පොරොන්දු වුණා ආයෙමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා. ඒ හින්ද මට ඒක කරන්න බෑ. හැබැයි මට කියන්න එක කාරණාවක් තියෙනවා. මම ජනාධිපතිවරණයට ඉල්ලුවෙ නැතත් දේශපාලනයෙන් සමුගන්න මම තීන්දු කරල නෑ. ඒ හින්ද මම ඉදිරියටත් දේශපාලනය කරන්න තීන්දු කරල ඉවරයි.” යනුවෙන් මෛත්‍රි තම අනාගත සිතැඟි එළියට දමද්දී වහාම ඊට ගැළපෙන පිළිතුර දුන්නේ ගෝඨාභයය.
“ඔබතුමා මාව විශ්වාස කරන්න. මාව දිනවන්න වැඩකටයුතු කරන්න. මම ඔබතුමත් එක්ක තමයි මගේ දේශපාලන ගමන ඉස්සරහට යන්නෙ. ඒ ගැන මට සහතික කරල කියන්න පුළුවන්” යනුවෙන් කියමින් ගෝඨාභය මෛත්‍රිගේ අනාගතයට පැහැදිලි උත්තරයක් දෙද්දී මෛත්‍රිගේ මුහුණද පිබිදී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. එය තවත් දෙගුණ තෙගුණ වූයේ මහින්දද ඊට මැදිහත් වෙමින් දුන් පිළිතුරත් සමඟය.
“ඔව්. ඔව් දැන් ඉතින් අපිත් වයසයිනෙ. ඔයාට තමයි ඉස්සරහට ගෝඨාභයයි, බැසිලුයි එක්ක දේශපාලනය කරන්න වෙන්නෙ.” යන්න මහින්ද සිනාසෙමින් දුන් පිළිතුර විය. එහිදී මෛත්‍රි කියා සිටියේ සඳුදා දිනයේ තවත් විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බවත්, එහිදී පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත හැකි බවත්ය. ඒ අනුව සාකච්ඡාව නිමාකොට හතරදෙනාම එකවර කාමරයෙන් එළියට පැමිණියේ සිනාසෙමින් දැඩි කුළුපග භාවයක් එකිනෙකා වෙත පෙන්වමින්ය. ඒ අනුව එළියේ සිටි සියලුදෙනාම මේ හතරදෙනාගේ හිතවත්කම දුටු පසු සිතා සිටියේ පොහොට්ටුවයි, ශ්‍රීලනිපයයි එකතු වෙන සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වී ඇතැයි කියාය.
මෛත්‍රි ආයෙමත් සිග්නල් එක මාරු කරයි
නමුත් අප මීට පෙර අවස්ථා කිහිපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ උදාහරණ දක්වමින් පෙන්වා දී ඇති කාරණයක් වන්නේ ජනාධිපතිවරයාගේ විටින් විට වෙනස්වනසුළු ස්වභාවයය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා උදේ කියන කරුණු සවස වෙනස් කරන ආකාරයත්, රාත්‍රියට තවත් වෙනස්ම කාරණයක් ප්‍රකාශයට පත්කරන ආකාරයත් උදාහරණ සහිතව අප පෙන්වා දුන්නේ වරක් දෙවරක් නොවේ. මෙවර අප කියන්නට යන්නේ ඊට තවත් උදාහරණයක්ය. ඒ අනුව සෙනසුරාදා දිනයේදී රාජපක්ෂවරුන් සමඟ ඉතා සිනාමුසු අයුරින් අවසන් එකඟතාවක් ඇතිකරගත්තා සේ හැසිරුණු ජනාධිපතිවරයා ඉරිදා දිනයේදී සිදුකළේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. එනම් ඉරිදා දින කුරුණෑගල පැවැති ශ්‍රීලනිප බලමණ්ඩලයට සහභාගි වූ ජනාධිපතිවරයා එහිදී රනිල්ට පමණක් නොව රාජපක්ෂවරුන්ටද නම නොකියා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. එහිදී කිසිසේත්ම පොහොට්ටුව සංකේතය යටතේ සන්ධානගත නොවන බව කියා සිටි මෛත්‍රි, දින 52ක් පැවැති මෛත්‍රි – මහින්ද ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් හරි හැටි කටයුතු නොකළ බව කියමින් එහි වරදද රාජපක්ෂවරුන් පිට පැටවීමට කටයුතු කළේය.
වෙනස්වුණු හේතුව සජිත්
මේ ආකාරයට මෛත්‍රි පැය කිහිපයක් ඇතුළත අංශක 180කින් ආපස්සට හැරී වෙනස් වූයේ ඇයි, ඊට බලපෑ හේතු මොනවාද යන්න පිළිබඳව සොයා බැලීමට අපි මෙහිදී කටයුතු කළෙමු. ඊට බලපෑ හේතුව වී තිබුණේ වෙන කිසිවක් නොව සජිත් සමඟ සන්ධානයක් ගොඩනඟා ගැනීමට මෛත්‍රි තුළ තිබූ අවශ්‍යතාවයය. ඒ වන විටත් මෛත්‍රි සජිත්ට කතාකොට සාකච්ඡාවන් සඳහා අවශ්‍ය පසුබිම සකස් කර තිබීම එහි පිටුපස පැවැති කාරණයය. ඒ අනුව සෙනසුරාදා දිනයේම මෛත්‍රි සජිත්ට කියා තිබුණේ එජාපය හා ශ්‍රීලනිපය අතර සාකච්ඡා වටයක් ආරම්භ විය යුතු බවත්, එහි ඉල්ලීම නිල වශයෙන් එජාපය පාර්ශ්වයෙන් එන්නේ එනම් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත්ය. ඒ අනුව වහාම සජිත් රනිල් මුණගැසී ඔහුට මේ බව දැනුම්දී එජාප – ශ්‍රීලනිප සාකච්ඡා සඳහා රනිල්ගේ අවසර ලබාගැනීමට පියවර ගත්තේය. සෙනසුරාදා දිනයේදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර වෙත එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් සාකච්ඡා සම්බන්ධව විමසීමක් කරමින් නිල ලිපියක් ලැබෙන්නේ එම පසුබිම යටතේය. මෛත්‍රි සෙනසුරාදා දොළහට රාජපක්ෂවරුන් හමුවූයේත්, ඉන් අනතුරුව ඉරිදා දිනයේදී කුරුණෑගල පැවැති හමුවේදී රාජපක්ෂවරුන්ට නම නොකියා ප්‍රහාර එල්ල කළේත් මෙම ලිපිය අතේ තබාගෙනය.
ඒ අනුව ඉරිදා කුරුණෑගලදී මෛත්‍රි එල්ල කල ප්‍රහාරය සවස රූපවාහිනී නාලිකාවල ප්‍රධාන පුවත වී තිබූ අතර අදාළ පුවත ප්‍රචාරය වීමත් සමඟ සෙනසුරාදා සාකච්ඡාවලින් පසුව රාජපක්ෂ කඳවුරේ මුහුණුවල තිබුණු ප්‍රීතිමත් ස්වභාවය අවසන් වූ ආකාරයක් දැකගන්නට තිබිණ. එමෙන්ම සෙනසුරාදා සාකච්ඡා සාර්ථක වූ බව කී බොහෝදෙනකු යළිත් වතාවක් මහින්දටත්, බැසිල්ටත්, ගෝඨාභයටත් කතාකොට කීවේ කිසිසේත්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සහ වචන විශ්වාස කිරීමට කටයුතු නොකරන්න යැයි කියාය.
මෛත්‍රිගෙන් බැසිල්ට දුරකතන ඇමැතුමක්
ඒ කෙසේ වෙතත් පොහොට්ටුවේ පාර්ශ්වය තවදුරටත් සන්ධානගත වීමේ උත්සාහය අත්හැර දමා ඇති බවක් පෙනෙන්නට නොතිබුණේ සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ ගනු ලබන තීරණය සම්බන්ධයෙන් සියලුදෙනාම දෑස් දල්වා බලා සිටි නිසාය. නමුත් මධ්‍යමකාරක සභා රැස්වීම ආරම්භ වීමට පැය කිහිපයක් තියා මෛත්‍රිගෙන් බැසිල්ට දුරකතන ඇමැතුමක් ලැබිණ. එම ඇමැතුමෙන් කියැවුණේ තමන්ට බැසිල්ව වහාම හමුවීමට අවශ්‍ය යැයි කියාය. ඒ අනුව බැසිල්ද වහාම ගොස් මෛත්‍රි සමඟ සාකච්ඡා කළ අතර එහිදීද මාතෘකාව වූයේ සලකුණ වෙනස් කිරීමය. මෛත්‍රි මෙහිදී දීර්ඝව කරුණු පැහැදිලි කරද්දී එතෙක් සලකුණ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් දැරූ බැසිල් ඒ අවස්ථාවේදී කිසියම් නම්‍යශීලී භාවයක් පෙන්නුම් කරමින් අදහස් දැක්වීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් විය. එසේ සලකුණ වෙනස් කිරීමේදී මතුවිය හැකි සියලු නීතිමය කරුණු පිළිබඳව මෛත්‍රිට පැහැදිලි කිරීමක් කළ බැසිල් එසේනම් ගැටලු මතුවිය හැකි පුටුව, බුලත්කොළය වැනි ලකුණු අත්හැර දමා වෙනත් පොදු ලකුණකින් තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව සලකා බැලිය හැකි යැයි මෛත්‍රිට දැනුම්දී සිටියේය. සඳුදා රෑ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වූයේ බැසිල්ගෙන් මෛත්‍රිට ලැබුණු මේ නම්‍යශීලී ප්‍රතිචාරයත් සමඟමය.
පොහොට්ටුවෙන් කොහොමත් බෑලු
කෙසේ වෙතත් පෙර හමුවේදී මෙන්ම මෙම හමුවේදීද දයාසිරිලා හා සියඹලාපිටිය අතර සලකුණ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද සිදුවනු දැකගන්නට ලැබිණ. මෙහිදී බැසිල් සමඟ එක්ව සකස් කළ අවබෝධතා ගිවිසුම් තුනක්ද නිමල් සිරිපාල ද සිල්වා මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කෙරුණු අතර ඒවාද සාකච්ඡාවට ලක්කිරීමට පිරිස කටයුතු කළේය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ මෙම අවබෝධතා ගිවිසුම් තුනට අමතරව ශ්‍රීලනිපයේ කොන්දේසි ඇතුළත් කරමින් තවත් යෝජනාවලියක් සකස් කිරීමටය. කෙසේ වෙතත් පොහොට්ටුව සලකුණ වෙනස් විය යුතු බව එම යෝජනාවලියට ඇතුළත් කළ යුතු බවටද එහිදී තීන්දු විය.
උසාවි තීන්දුවත් බලලම තීන්දුව ගන්න යයි
කෙසේ වෙතත් මෙහිදී සියලුදෙනාම මෛත්‍රිගෙන් විමසා සිටියේ පොහොට්ටුව හා ශ්‍රීලනිපය සන්ධානගත වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ලැබිය යුත්තේ කවදාද යැයි කියාය. එහිදී මෛත්‍රි ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අවසන් වන තෙක්ම මෙම තත්ත්වය ඉදිරියට පවත්වාගත යුතු යැයි කියාය.
“ඡන්දෙට අපෙන් ඉල්ලන බොහෝදෙනෙක් මට ඇවිත් කියනවා මේ තීන්දුව දැන්ම ගන්න එපා කියලා. ඇල්පිටිය ඡන්දය පැවැත්වෙන ලබන 11 වැනිදයින් පස්සෙ මේ තීන්දුව ගන්න කියල ඒ හැමෝම මට කියනවා. මොකද එහෙම නැතිවුණොත් අපිට ඡන්දෙ දෙන එකක් නෑ කියල තමයි ඒ අය කියන්නෙ” යැයි කියමින් මෛත්‍රි ඇල්පිටි ඡන්දය පැවැත්වෙන ඔක්තෝබර් 11 වැනිදා දක්වා මෙම සාකච්ඡා ඇදගෙන යෑමට උත්සාහ කළද සියල්ලන්ගෙන්ම ඊට එල්ලවූයේ පොදු විරෝධයකි. එතෙක් කල් මෙම ප්‍රශ්නය ඇදගෙන යෑ නොහැකි බව එහිදී මෛත්‍රිට පෙන්වා දුන් පිරිස එය ප්‍රායෝගික නොවන නිසා වහාම ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත යුතු බවද පෙන්වා දුන්නේය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ සෙනසුරාදා (5දා) දින රාත්‍රි 8.00ට මුණගැසී ඒ පිළිබඳ සාකච්ඡා පවත්වා අවසන් තීන්දුවක් ගතයුතු බවය. එතෙක් එජාපය සමඟ මෙන්ම පොහොට්ටුව සමඟද සාකච්ඡා දිගටම රැගෙන යෑමටද එහිදී තීන්දු විය.
ඒ ආකාරයට ජනාධිපතිවරයා සෙනසුරාදා දිනට මෙම තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවීමට තවත් විශේෂ හේතුවක්ද තිබිණ. එම විශේෂ හේතුව අන් කිසිවක් නොව ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව සිකුරාදාට (04) ලැබීමට නියමිතව තිබීමය. දැනටමත් ඒ සම්බන්ධයෙන් ලැබෙන අධිකරණ ආරංචිමාර්ගවලට අනුව ගෝඨාගේ නඩුව ඉතා අවදානම් සහගත තත්ත්වයක තිබෙන බවට වාර්තා පලකොට ඇති හෙයින් පස්වැනිදා වන විට බොහෝවිට ගෝඨාභය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව නිකුත්කොට අවසන්ය. ඒ අනුව එහි තීන්දුවද බලා පොහොට්ටුව සමඟ සන්ධානගත වීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම සදහා මෙසේ මෙම සාකච්ඡාව සෙනසුරාදා රාත්‍රියට දැමීමට හේතුව විය.
මහින්ද විකල්ප හොයයි
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා වන විට සියලු අවශේෂ දේශපාලන මාතෘකා යටගොස් ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ගෝඨාභයට එරෙහිව අභියාචනාධිකරණයේ විභාග වූ පුරවැසිභාවය සම්බන්ධ නඩුවය. මේ නඩුවෙන් ගෝඨාභයගේ අපේක්ෂකත්වය අහිමි කරනු ඇතිද, ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිනොගන්නා ලෙසට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කර තිබූ ඉල්ලීම අභියාචනාධිකරණය පිළිගනීද යන්න සෑම තැනකම සාකච්ඡාවට ලක්වූ කාරණාව විය. මෙම තත්ත්වය වඩාත් උණුසුම් වූයේ සඳුදා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙද්දී මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාමේ පිහිටි මහින්දගේ නිල නිවෙසේදී විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට පියවර ගැනීමත් සමඟය. ඊට බැසිල්, ගෝඨාභය, වාසුදේව, විමල්, ඩලස්, ගම්මන්පිල ඇතුළු සියලුම පක්ෂ නායකයන් රැස්ව සිටි අතර බැසිල් එහිදී සියලුදෙනාටම කියා සිටියේ එම නඩු තීන්දව සම්බන්ධයෙන් කිසිදු අවදානමක් ගැනීමට නොහැකි නිසා එන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සූදානමින් තවත් ස්වාධීන අපේක්ෂකයකු වෙනුවෙන් ඇප මුදල් බැඳීමට පොහොට්ටුව කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව ඉතා දීර්ඝව මේ පිළිබඳව සාකච්ඡා කළ පිරිස එන ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ගැනීමටද එකඟතාවයක් ඇතිකර ගත්තේය.
මීට අමතරව නඩු තීන්දුවෙන් ලැබිය හැකි වාසි අවාසි තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළ පිරිස යම් හෙයකින් නඩුවෙන් අවාසිසහගත තත්ත්වයක් පොහොට්ටුව පාර්ශ්වයෙන් ඇතිවුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට සූදානම් විය යුතු බවද, එසේම නඩු තීන්දුවෙන් වාසිසහගත තත්ත්වයක් පොහොට්ටුව ලැබුණහොත් අගතියට පත්වන පාර්ශ්වයද නියත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට කටයුතු කිරීම නිසා එම නඩු කටයුත්ත ජනාධිපතිවරණ කාලසීමාව දක්වාම ඇදී යන එකක් බවට පත්වනු ඇති බවද පෙන්වා දුන්නේය. ඒ අනුව ගෝඨාභයට තරග කළ නොහැකි තත්ත්වයක් මතුවුවහොත් වෙනත් අපේකෂකයකු, වෙනත් ලකුණකින් නාමයෝජනා ලබාදී තිබිය යුතු බව පිරිස පෙන්වා දුන්නේය. ඒ අනුව යම්හෙයකින් ගෝඨාභයට තරග කළ නොහැකි වුවහොත් විකල්ප අපේකෂකයකු වෙනුවෙන් නාමයෝජනා භාරදිය යුතු බවත්, එම විකල්ප අපේක්ෂකයා බොහෝදුරට චමල් විය යුතු බවටත් එහිදී තීන්දු විය. ඒ අනුව බදාදා දිනයේදී පොහොට්ටුවේ කණ්ඩායමක් මැතිවරණ කොමිසමට ගොස් චමල් වෙනුවෙන් නාමයෝජනා භාරදීම සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන සියල්ලම රැගෙන එන ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෛත්‍රි සජිත් සාකච්ජා ඇරඹේ
මේ ආකාරයට ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර එක පැත්තකින් සාකච්ඡා පැවැත්වෙද්දී මෛත්‍රි හදිසියේම දයාසිරිට දුරකතන ඇමැතුමක් ලබාදෙමින් කියා සිටියේ එජාපයෙන් ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අඟහරුවාදා දිනයේදී එජාප – ශ්‍රීලනිප සාකච්ඡා පැවැත්වීමට හැකි බව දන්වමින් පිළිතුරු ලිපියක් යොමුකරන ලෙසටය. මෛත්‍රි මේ ලිපිය යවන ලෙසට දයාසිරිට දැනුම්දුන්නේ ආවට ගියාට නොව හරියට කල්යල් බලා සියලු සැලැසුම් සකස් කිරීමෙන් අනතුරුවය. එමෙන්ම වහාම සජිත්ට කතා කළ මෛත්‍රි තමා හමුවීමට පැමිණෙන ලෙසට දැනුම්දීමක්ද කර සිටියේය. මෛත්‍රිගේ මේ ආරාධනාව ලැබීමෙන් පසුව සජිත් වහාම කළේ රනිල්ව මුණගැසී මෙම සාකච්ඡා පිළිබඳ දැනුම්දීමට කටයුතු කිරීමය. ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරයට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව රනිල්ගෙන් විමසූ සජිත් යම් හෙයකින් එසේ සාකච්ඡා සඳහා සහභාගි වන්නේ නම් රනිල්ටද ඊට සම්බන්ධ වන ලෙසට කියා සිටියේය. නමුත් මෙහිදී දැඩි ස්ථාවරයක සිටිමින් රනිල් කියා සිටියේ මෛත්‍රි සමඟ මුල් වටයේදී පැවැත්වෙන සාකච්ඡාවලට තමුන් සහභාගි නොවන නමුත්, අවසන් වටයේ සාකච්ඡාවලට තමන්ට සහභාගි වීමට හැකි යැයි කියාය. එමෙන්ම මෛත්‍රි සමඟ තනිවම සාකච්ඡාවට නොයන ලෙසට උපදෙසක්ද දුන් රනිල් කණ්ඩායමක් සමඟ ඊට සහභාගි වන ලෙසත්, කිසිදු අවස්ථාවක මෛත්‍රිව විශ්වාස නොකරන ලෙසත් සජිත්ට දැනුම්දී සිටියේය.
රනිල් සජිත්ට දුන් උපදෙස
“මම මුල් වටයේ ඔය සාකච්ඡාවලට සම්බන්ධ නොවී ඉන්නම්. හැබැයි සාකච්ඡාවල ප්‍රගතියත් එක්ක මම ඒවට සම්බන්ධ වෙන්නම්. හැබැයි ඔයා කොයි වෙලාවකවත් තනියම සාකච්ඡාවලට යන්න එපා. අනෙක කොයිම වෙලාවකවත් ජනාධිපතිවරයා කියන දේවල් ගැන විශ්වාසය තියන්න එපා. මොකද එතුමා කරන්නෙ කියන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි හින්දා. එතුමා හැම දෙයක්ම එතුමගෙ වාසියට අරගෙනයි වැඩ කරන්නෙ.” යනුවෙන් කියමින් රනිල් සජිත්ට උපදෙස් දෙන අතරවාරයේදී කබීර් හෂීම්ද පැමිණ මෙම සාකච්ඡාවට එකතු විය. ඒ අනුව කබීර්ද සජිත්ට කියා සිටියේ මෛත්‍රි සමඟ පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් එජාපය ඇතුළේත් කිසිදු ප්‍රසාදයක් නොමැති බවත්, එවැනි සාකච්ඡාවකට මේ අවස්ථාවේදී සහභාගි වීම එතරම් සුබදායී නොවන බවත්, ජනාධිපතිවරයා සමඟ ගනුදෙනු කිරීමේදී ඉතාම පරෙස්සමෙන් එය කළ යුතු බවත්ය. කෙසේ වෙතත් සජිත්ගේ ස්ථාවරය වී තිබුණේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ලද ආරාධනාවක් නිසා එය ඉවතදැමිය යුතු නැති බවත්, එම පාර්ශ්වය සමඟද සාකච්ඡා කරමින් සුහදතාවයකින් යුතුව ජනාධිපතිවරණ සටන ඉදිරියට මෙහෙයවිය යුතු බවත්ය. ඒ අනුව රනිල්ද ඊට අනුමැතිය පළකිරීමෙන් පසු මංගල, කබීර්, මලික්, අකිල යන පිරිස සමඟ ජනාධිපතිවරයා මුණගැසීමට යෑමට සජිත් තීරණය කළේය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ජනාධිපතිවරයා හා එජාප කණ්ඩායම අතර පමණක් පැවැත්වෙනු ඇති බව එජාප කණ්ඩායම සිතා සිටියද අවසන් මොහොත වන තෙක්ම ශ්‍රීලනිපයෙන් ඊට සහභාගි වන පිරිස පිළිබඳව ජනාධිපතිවරයා වචනයක් හෝ කියන්නට එකඟ වී තිබුණේ නැත. ඒ අනුව අවසන් මොහොතේදී දයාසිරිටත්, ලසන්ත අලගියවන්නටත් කතා කළ මෛත්‍රි එම සාකච්ඡා සඳහා සහභාගි වන ලෙස ඔවුන් දෙදෙනාටද දැනුම්දී සිටියේය. පසුව ඉතා සුහදව පැවැති මෙම සාකච්ඡාවේදී එජාප කණ්ඩායම මුලින්ම විමසා සිටියේ පොහොට්ටුව සමඟ පැවැත්වෙන ශ්‍රීලනිප සාකච්ඡාවල තත්ත්වය කෙබඳුදැයි කියාය. එහිදී මෛත්‍රි ඊට පිළිතුරු දෙමින් කීවේ තවම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන නමුත්, පොහොට්ටුව ලකුණ යටතේ සන්ධානගත වීමට ශ්‍රීලනිපය කිසිසේත්ම සූදානම් නොමැති බවකි. පොහොට්ටුව සලකුණ යටතේ එක වේදිකාවකට ගොඩවීමට ශ්‍රීලනිපයට නොහැකි බව මෙහිදී පෙන්වා දුන් මෛත්‍රි, සජිත් එජාප අපේක්ෂකයා බවට පත්වීම සම්බන්ධයෙන් තමන් අවංකවම සතුටු වෙන බවත්, මෙවැනි අවස්ථාවක් එජාපය වැනි දැවැන්ත පක්ෂයකින් තරුණ වියේ සිටින සජිත්ට හිමිවීම විශේෂ අවස්ථාවක් බවත් කියා සිටියේය.
මෛත්‍රිගෙන් සජිත්ටත් සහතිකයක්
කෙසේ වෙතත් මෙහිදී සජිත්ට එක් සහතිකයක් ලබාදීමට මෛත්‍රි කටයුතු කළේය. ඒ, ශ්‍රීලනිපය යම් හෙයින් පොහොට්ටුව සමඟ සම්බන්ධ වුවද කිසිසේත්ම සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට හානියක් වන ආකාරයට ශ්‍රීලනිපය කටයුතු නොකරනවා යැයි කියාය.
“සමහර වෙලාවකට අපිට මේ සාකච්ඡාවලදි දේශපාලන තීන්දුවක් අරගෙන පොහොට්ටුවත් එක්ක එකට යන්න සිද්ධවෙයි. හැබැයි මම මෙතැනදි එක සහතිකයක් ඔයාට දෙන්නම් සජිත්. මමවත්, ශ්‍රීලනිපයත් කිසිම වෙලාවක ඔයාට හානියක් වන දෙයක් කරන්නෙ නෑ. එහෙම දෙයක් කරන්න මම ඉඩ තියෙන්නෙත් නෑ. ලබන 5 වැනිදා ඒ සන්ධානය හදනවද නැද්ද කියන එකේ අවසන් තීන්දුව අපි ගන්නවා…” යනුවෙන් මෛත්‍රි කියද්දී සජිත්ද සිය මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට කටයුතු කළේය.
“මගේ කැම්පේන් එකට ඔබතුමා උදව් කරනව නම් අපිට ඒක ලොකු හයියක්. අපි 2015ත් මේ විදිහටම ඔබතුමාව ජයග්‍රහණය කරන්න වැඩ කළා. හැබැයි ආණ්ඩුව කරද්දි අපේ පැත්තෙනුත් විවිධ වැරැදි සිද්ධවුණා. නමුත් ඉදිරියෙදි එවැනි කිසිදු දෙයක් මගේ ආණ්ඩුවක් යටතේ සිද්ධ වෙන්න මම ඉඩ තියෙන්නෙ නෑ.” යනුවෙන් සජිත් කියද්දී මෛත්‍රිද පිරිසට එක්තරා විශේෂ උපදේශයක් ලබාදෙනු දැකගන්නට ලැබිණි.
“මේ ඡන්දය ඕගොල්ලො ලේසියට ගන්න එපා. මට එන ආරංචිවල හැටියට දැනුත් ගෝඨාභය ඉන්නෙ ඉස්සරහින්. ඒ නිසා මේ කැම්පේන් එක මහන්සි වෙලා කරලා දිනන්න සැලැසුම් ටික හදාගන්න.” යන්න මෛත්‍රි එහිදී දුන් උපදෙස විය.
මෛත්‍රි එනවා නම් රංගේ-ෆොන්සේකා නෑ
මේ ආකාරයට ශ්‍රිලනිපයත් එජාපයත් අතර සාකච්ඡාව අවසාන අදියරට පැමිණෙද්දී දෙපාර්ශ්වයම එක් ඉල්ලීමක් කරනු දැකගත හැකි විය. ඒ, සාකච්ඡාවේදී වූ කිසිදු කරුණක් කුමන තත්ත්වයක් යටතේ හෝ භාහිර පාර්ශ්වයන්ට ලබා නොදෙන ලෙසටය. තවමත් පොහොට්ටුව සමඟ සාකච්ඡා පැවැත්වෙන නිසා එවැන්නක් සිදුවුවහොත් සාකච්ඡාවට එය අහිතකර ලෙස බලපානු ඇති බව පොහොට්ටුවේ අදහස විය. ඒ අනුව මාධ්‍ය මේ පිළිබඳව විමසුවහොත් සාකච්ඡා සාර්ථක බව පමණක් ප්‍රකාශ කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට එළැඹිණ. අඟහරුවාදා දිනයේදී සාකච්ඡාවල ඇතිකරගන්නා එකඟතාවයන් සම්බන්ධයෙන් සහ ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කොන්දේසි ඇතුළත් කොට පොහොට්ටුව වෙත ලිපියක් යවන ලෙසට මෛත්‍රි දයාසිරිට දැනුම්දුන්නේ එජාපයත් සමඟ පැවැති මෙම සාකච්ඡාව අවසන් කිරීමෙන් පසුවය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය මුල්කරගෙන එජාපය මෛත්‍රි මුණගැසී ඇති බවත්, එජාප වේදිකාවට මෛත්‍රිව ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා දියත් වී ඇති බවත් මොහොතක් යෑමට මත්තෙන් එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ කනට වැටිණ. ඒ අනුව හැරෙන තැපෑලෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ වෙන කවුරුවත් නොව එජාපයේ හිටපු ඇමැතිවරුන් වූ සරත් ෆොන්සේකාත්, රංගෙ බණ්ඩාරත්ය. දෙදෙනාම ප්‍රසිද්ධියේම එජාප ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී සිටියේ යම් හෙයකින් මෛත්‍රිව එජාප මැතිවරණ වේදිකාවට රැගෙන එන්නේ නම් තමන් කිසිසේත්ම සජිත්ගේ මැතිවරණ වේදිකාවට පැමිණෙන්නේ නැතැයි කියාය. රංගේ සහ ෆොන්සේකා පමණක් නොව නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකුද රනිල් මුණගැසී සඳහන් කර සිටියේ එජාපය විනාශ කිරීමට මෛත්‍රි ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ විශාල උත්සාහයක් දැරූ නිසා කිසිදු මොහොතක එජාපයේ වැඩකටයුතුවලට මෛත්‍රි ගාවාගත යුතු නැති බවත්, එසේ මෛත්‍රි සම්බන්ධ කරගන්නේ නම් තමන්ද කිසිදු ආකාරයකින් සජිත්ගේ මැතිවරණ වේදිකාවට ගොඩවන්නේ නැති බවත්ය. ඒ අනුව මෛත්‍රි සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් මේ වන විට එජාපය ඇතුළේ බලවත් විරෝධයක් ගොඩනැඟෙන ආකාරයක්ද දැකගන්නට තිබේ.
රනිල් දෙමළ සන්ධාන සහාය සජිත්ට අරන් දෙයි
මේ අතරතුර දකුණේ දේශපාලනය මේ ආකාරයට හැසිරෙද්දී බොහෝ දෙනා බලා සිටින්නේ උතුරේ දේශපාලනය මෙවර ජනාධිපතිවරණයේදී කුමන ආකාරයෙන් හැසිරේද යන්න කියාය. විශේෂයෙන්ම උතුරේ තීරණාත්මක සාධකය වූ ලක්ෂ 10කට අධික ඡන්ද සංඛ්‍යාවකට උරුමකම් කියන දෙමළ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණයේදී කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න පිළිබඳව බොහෝදෙනා විමසිල්ලෙන් යුතුව බලා සිටින ආකාරයක් පෙනෙන්නට තිබිණ.
එවන් පසුබිමක් යටතේ පසුගිය සතියේදී එජාපය හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් ආරම්භ විය. එජාප අපේක්ෂකයා වූ සජිත්ට සහාය ලබාගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාවට මූලිකත්වය ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව එජාප නායක රනිල් වික්‍රමසිංහය. ඒ අනුව රනිල් සමඟ සජිත්, මලික් සහ කබීර් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දෙමළ සන්ධානය පැත්තෙන් ඊට එක්වී සිටියේ එහි නායක ආර්.සම්බන්ධනුත්, එම්.ඒ. සුමන්තිරනුත්ය.
මෙහිදී සාකච්ඡාව ආරම්භ කරමින් සම්බන්ධන් කෙළින්ම කියා සිටියේ තම පක්ෂයට මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අලුත් කොන්දේසියක් නොමැති බවත්, 2015දී පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කරන විට කරුණු ලැබූ ඉල්ලීම් තවමත් ඒ ආකාරයෙන්ම පවතින බවත්ය. මෙම ඉල්ලීම්වලින් බොහෝ කරුණු මෙතෙක් ඉටුකර නොමැති බව පෙන්වා දුන් සම්බන්ධන් ආණ්ඩුව ඇතුළේ ඇති කඹ ඇදිල්ල නිසා එම පොරොන්දු ඉටු කිරීම සිදුනොවූ බවද පෙන්වා දුන්නේය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ලිඛිතව කිසිදු ඉල්ලීමක් නොඉල්ලන බව කියා සිටි සම්බන්ධන් බලය බෙදීම, 13 වන සංශෝධනයේ බලතල ලබාදීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ආදී යෝජනා ප්‍රතිපත්ති ප්‍රකාශයට ලිඛිතවම ඇතුළත් කරන ලෙස එජාප කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය. එවිට තම පක්ෂයට සහාය ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත හැකි බවද සම්බන්ධන් මෙහිදී රනිල් ඇතුළු කණ්ඩායමට කියා සිටියේය.
ගෝඨාලා හොරෙන්ම දෙමළ සන්ධානය හමුවෙලා
ඒ අනුව රනිල් කියා සිටියේ එහි කිසිදු ගැටලුවක් නොමැති බවත්, 2015 සිටි ප්‍රතිපත්තියේම එජාපය තවදුරටත් සිටින බවත්ය. එසේ වුවත් අපේක්ෂකයා ලෙස සජිත් ඒ පිළිබඳ අවසන් තීන්දුව ගතයුතු බවද රනිල් එහිදී කියා සිටියේය. ඒ අනුව සජිත් කියා සිටියේ අනෙකුත් පක්ෂ නායකයන් සියල්ල සමඟ සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදිය හැකි යැයි කියාය. එවිට නැවැතත් සම්බන්ධන් කියා සිටියේ තමන්ට සජිත් සමඟ ගිවිසුම් අස්සන් කිරීමට උවමනා නැති බවත්, සියලු යෝජනා ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව දෙමළ සන්ධානයට සලකාබැලිය හැකි යැයි බවත්ය.
මේ ආකාරයට එජාපය හා දෙමළ සන්ධානය අතර ප්‍රසිද්ධියේ සාකච්ඡා වටයක් පැවැත්වුණත් අප්‍රසිද්ධියේ සහ ඉතා රහසිගතව දෙමළ සන්ධානය හා දකුණේ තවත් පක්ෂයක් අතර සාකච්ඡා වට තුනක් පසුගිය සතිය වන විට පැවැත්වී තිබිණ. එම පක්ෂය වෙන කිසිවක් නොව රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවය. පොහොට්ටුව හා දෙමළ සන්ධානය අතර පැවැති පළමු රහස් සාකච්ඡාව පිළිබඳව පසුගිය සතියේදී රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප විශේෂ අනාවරණයක් කළ අතර මෙවර අප හෙළි කරන්නේ ඉන් අනතුරුව පැවැති ඊළඟ රහස් සාකච්ඡා දෙක පිළිබඳවය. පළමු සාකච්ඡාවට සම්බන්ධන් හා සුමන්තිරන් යන දෙදෙනාම එක්වුවත්, දෙවැනි තෙවන සාකච්ඡාවලට සහභාගිව සිටියේ සුමන්තිරන් පමණක් වීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී මහින්දත්, ගෝඨාභයත්, බැසිලුත් යන තිදෙනාම සුමන්තිරන්ගෙන් ඉල්ලා සිටියේ එකම ඉල්ලීමකි. එනම් මෙවර ජනාධිපතිවරණයේදී කිසිවකුටත් සහය නොදී මධ්‍යස්ථව සිටීමට දෙමළ සන්ධානය ලෙස තීන්දුවක් ගන්නා ලෙසටය. දෙමළ සන්ධානය කිසිවිටෙකත් පොහොට්ටුවට සහාය නොදක්වන බව දන්නා බව මෙහිදී කියා සිටි මහින්ද, දෙමළ ජනතාවට ස්වාධීන තීන්දුවක් ගැනීමට හැකි වන පරිදි කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන ලෙස සුමන්තිරන්ගෙන් ඉල්ලා සිටීමටද මහින්ද එහිදී කටයුතු කළේය. කෙසේ වෙතත් මෙහිදී සුමන්තිරන් මහින්දලාගේ මේ ඉල්ලීමට එකඟතාවයක් පළකරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව සජිත්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රසිද්ධ කළ වහා සජිත් වෙනුවෙන් උතුරේ දැවැන්ත ඡන්ද ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දෙමළ ජාතික සන්ධානය මේ වන විටත් තීන්දු කර අවසානය.
විග්නේෂ්වරන් අල්ලන්න ගිය අඩව්ව
ඉන් අනතුරුව සියල්ලෝම මේ වනවිට බලාගෙන සිටින්නේ උතුරේ හිටපු මහඇමැතිවරයා වන සී.වී. විග්නේශ්වරන් මහතා අල්ලන්නට යන දේශපාලන අඩව්ව පිළිබඳවය. විග්නේෂ්වරන් යනු සිය ජීවිත කාලය තුළදී මහත් පෙරළිකාර තීන්දු තීරණ ගත් චරිතයකි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස දකුණේ කටයුතු කළ විග්නේශ්වරන් හිටි හැටියේම දේශපාලනයට එන්නේ දෙමළ ජාතික සන්ධානයේ ආරාධනයෙනි. ඒ උතුරු පළාතේ මහ ඇමැති අපේක්ෂකයා ලෙසය. නමුත් මහඇමැතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු දෙමළ සන්ධානය සමඟ ගැටුම් ඇතිකරගත් විග්නේශ්වරන් අනතුරුව ඉන් ඉවත්වී වෙනම දේශපාලන පක්ෂයක්ද නිර්මාණය කිරීමට කටයුතු කළේය.
ඒ ආකාරයට උතුරේ දේශපාලනය කරන විග්නේශ්වරන් පසුගිය සතියේ තවත් ආන්දෝලනාත්මක කතා දෙකක් කළේය. ඒ උතුරට එකක් හා දකුණට තවත් එකක් වශයෙනි. විග්නේශ්වරන් දකුණේ ඉංග්‍රීසි පුවත්පතකට කළ ප්‍රකාශයකින් කියැවුණේ සජිත් හොඳම අපේක්ෂකයා යැයි කියාය. නමුත් උතුරේ දමිළ පුවත්පතකට එදිනම ප්‍රකාශයක් ලබාදෙමින් විග්නේශ්වරන් කියා තිබුණේ ගෝඨාභයගේ පැමිණීම දෙමළ ජනතාවට හොඳ යැයි කියාය. මේ ප්‍රකාශ දෙකම කළ විග්නේශ්වරන් තවත් පුවත්පතකට කියා තිබුණේ තමන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා යැයි කියාය.
ඉහත කී ප්‍රකාශ දෙකට වඩා දේශපාලකයන් වඩාත්ම කලබල වූයේ විග්නේශ්වරන් අවසානයට කර තිබූ ප්‍රකාශයටය. එනම් උතුරෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කළ ප්‍රකාශයය. ඒ අනුව බොහෝ පාර්ශ්ව විග්නේශ්වරන්ට කතා කොට මෙම කතාවේ ඇත්ත නැත්ත සොයද්දී විග්නේශ්වරන් ඔවුන්ට කියා සිටියේ තමන් කිසිසේත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමක් නැතැයි කියාය.
තොණ්ඩමන් සජිත්ට සෙට්වෙයි
මේ අතර තවත් පෙරළිකාර දේශපාලකයකු වන වතුකරයේ ආරුමුගම් තොණ්ඩමන්ද මෙවර ජනාධිපතිවරණයේදී පෙරළිකාර තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත්ට සහාය පලකිරීමට තීන්දු කිරීම හරහාය. ඉකුත් මැතිවරණ සියල්ලකදීම පාහේ තොණ්ඩමන් නියෝජනය කළේ රාජපක්ෂ කඳවුරය. නමුත් මෙවර රාජපක්ෂ කඳවුරෙන් ගැලවී තොණ්ඩමන් එජාපයට යොමුවීම හරහා වතුකරයේ ඡන්ද අතිබහුතරයක් සජිත්ගේ ඡන්ද පෙට්ටියට වැටෙන ලකුණු පහළකර ඇත.
මහේෂ් ආපු එකෙන් ඔක්කොම අවුල්
ජනාධිපතිවරණය ආරම්භයේදී බොහෝදෙනකු මත පළකර සිටියේ මෙවර මැතිවරණය තුන්කොන් සටනක් වනු ඇතැයි කියාය. එසේත් නොමැති නම් එජාප අපේක්ෂකයා සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට අමතරව ජවිපෙ නායකයා මෙවර සටනට ඉදිරිපත් වන බවට කල්තියාම දැනුම්දී තිබූ නිසා බොහෝදෙනා සිතා සිටියේ මෙවර ඡන්ද සටන තුන්කොන් සටනක් බවට පෙරළෙනු ඇතැයි කියාය. නමුත් හිටිහැටියේම මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ හිටපු හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කිරීමත් සමඟය. ජාතික ජනතා ව්‍යාපාරයේ මූලිකත්වයෙන් මෙසේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහේෂ් මේ වන විට පක්ෂ භේදයකින්, ජාති භේදයකින්, ආගම් භේදයකින් තොරව සියලු ස්ථරවල ජනතාව මහත් ආදරයෙන් වැළඳගෙන සිටින චරිතයක් බවට පත්ව ඇති ආකාරයක් පෙනෙන්නට ඇත.
මේ බව වඩාත්ම තහවුරු වූයේ මහේෂ්ගේ ආගමනයත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වාගේ කලබල වී ඇති ආකාරය දෙස බලන විටය. මහේෂ්ගේ පැමිණීමත් සමඟ මුළින්ම කියැවුණේ මෙය ගෝඨාභයගේ ඡන්ද ව්‍යාපාරයට ඉතා අහිතකර ලෙස බලපානු ඇතැයි කියාය. මන්ද ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ සමස්ත මැතිවරණ යාන්ත්‍රණයම ක්‍රියාත්මක වන්නේ රටේ ආරක්ෂාව තේමාකොටගෙනය. ඔවුන් කියන්නේ පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ ආරක්ෂාව දැවැන්ත ලෙස බිඳවැටී ඇතැයි කියාය. එම නිසා රට ඇතුළේ මුලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභයට විශාල ඉල්ලුමක් තිබුණද මහේෂ්ගේ සම්ප්‍රපාප්තියත් සමඟ දැන් ඒ ඉල්ලුම මහේෂ් දෙසට යොමුවී ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවූ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමේ මෙහෙයුම මහේෂ් අතින් ඉටුවීම නිසාය. කොටින්ම කියනවා නම් මහේෂ් යනු කවුරුන්දැයි මුළු ලංකාවම දැනගත්තේ මේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔහු රට ඇතුළේ දියත් කළ හමුදා මෙහෙයුම නිසාය. මේ හේතුව මත රටේ බාල, මහළු, තරුණ කොයි කාගේත් මේ වන විට අවධානය යොමුව තිබෙන්නේ මහේෂ් දෙසටය.
අනුරගෙන් මහේෂ්ට කෝල් එකක්
මේ තත්ත්වය මත පසුගිය සතිය වන විට මහේෂ්ව ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ජාලවල දැවැන්ත මඩ ප්‍රහාරයක් දියත්වන්නට විය. එය පොහොට්ටු පාර්ශ්වයෙන් එල්ලවූ බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ ගෝඨාගේ ඡන්ද කැඩීමට එජාපයේ ඉත්තකු ලෙස මහේෂ් ඉදිරිපත්ව ඇති බවට කර තිබූ චෝදනා මුල්කරගෙනය. එපමණක් නොව පසුගිය සතියේදී පොහොට්ටුවේ ප්‍රබලයකු වන විමල් වීරවංශ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රසිද්ධියේම මහේෂ්ට පහරදුන්නේ හෙතෙම ඇමරිකන් රූකඩයක් යැයි චෝදනා කරමිනි.
කෙසේ වෙතත් මේ වන විට දැකගන්නට ඇති කාරණය වන්නේ පොහොට්ටුවෙන් පමණක් නොව එජාපයෙන් සහ ජවිපෙන්ද විශාල ඡන්ද ප්‍රමාණයක් මහේෂ්ට යොමුවනු ඇති බවකි. විශේෂයෙන්ම ජවිපෙ සහ මහේෂ්ගේ මැතිවරණ සටන්පාඨයන් එකම ආකාරයක් ගෙන තිබීම ඊට හේතුවය. ඒ අනුව පසුගිය සතිය වන විට පක්ෂ දෙකේම අභ්‍යන්තරය තුළ ‘මහේෂ් සාධකය’ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ සාකච්ඡාවක් සිදුවන බවක්ද දැකගන්නට තිබිණ. ඉන් එපිටට යමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේදී මහේෂ්ට දුරකතන ඇමැතුමක් ලබාදීමටද කටයුතු කළේය. එසේ කතා කළ අනුර මහේෂ්ට දැනුම්දී සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කල්තියා මහේෂ් ප්‍රකාශ කර තිබුණා නම් ජවිපෙටද ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට හැකිව තිබූ බවත්, දැන් මතුව ඇති තත්ත්වය යටතේ ඡන්ද බෙදීයෑම වැළැක්විය නොහැකි බවත්ය.
ඊට අමතරව මේ වන විට තිරය පිටුපස මහේෂ් මුල්කරගෙන තවත් විශාල මෙහෙයුමක්ද දියත් වන ආකාරයක් දැකගන්නට ඇත. ඒ ජනාධිපතිවරණයට පෙර කෙසේ හෝ මහේෂ්ව ජනාධිපතිවරණ සටනින් ඉවත්කර ගැනීම මුල්කරගෙනය. ඒ අනුව පසුගිය සතිය වන විට මහේෂ්ගේ දුරකතනයට නිනව්වක් නැතුව ලැබුණු ඇමැතුම්වලින් කියැවුණේ ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමේ යෝජනාව සලකා බලන්න යැයි කියාය. නමුත් ඒ කිසිවකට මහේෂ්ගේ ගමන නවතාලිය හැකි ආකාරයක් දැකගන්නට නොතිබුණු නිසා නීතිමය ගැටයක් ගසා හෝ මහේෂ්ව සටනින් ඉවත් කිරීමට පිරිසක් මේ වනවිට කටයුතු කරමින් සිටින බව ආරංචිය.
රනිල් හේමාට දුන් පුදුම හිතෙන තෑග්ග
සජිත් එජාපයේ ජනපති අපේක්ෂකයා ලෙස කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කිරීමෙන් පසු නිල වශයෙන් එය රටට ප්‍රකාශ කළේ පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂයේ විශේෂ සම්මේලනයක් පවත්වමිනි. කොළඹ සුගතදාසයේ පැවැති මෙම රැස්වීමට විශාල පාක්ෂිකයන් පිරිසක් රැස්ව සිටි අතර පක්ෂයේ නායකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සජිත්ගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු සියල්ලන්ම එය ඒකමතිකව සම්මත කරනු දැකගත හැකි විය. නමුත් මෙම සමුළුවේදී සජිත්ගේ නම රනිල් විසින් යෝජනා කොට සම්මත කළද එම මොහොතේ සිට මුළු රටම කතා කළේ රනිල් සජිත්ගේ නම යෝජනා කිරීම නොව සජිත්ගේ මව වූ හේමා ප්‍රේමදාස මැතිනියට දැක්වූ ගෞරවය හා ආචාරයය. ඊට හේතුවූයේ සියල්ලන්ම පුදුම කරමින් රනිල් වේදිකාවට ගොඩවන්නට ප්‍රථම සිය අසුනට අසුන් දෙකකට එපිටින් සිටි හේමා ප්‍රේමදාස මැතිනියට අසලට ගොස් සිදුකළ ක්‍රියාව නිසාය. එහිදී හේමා මැතිනිය සිතුවේ රනිල් තමා අසලට පැමිණ යමක් කතා කරන්නට සූදානම් වනවා යැයි කියාය. නමුත් රනිල් කළේ එවැන්නක් නොව හේමා මැතිනියගේ අතින් අල්ලාගෙන ඇයව අසුනින් නැඟීසිටුවා තමන් සමගම ප්‍රධාන වේදිකාවට රැගෙන යෑමය. එම සංවේදී අවස්ථාව දෙස බලා සිටි සභාවේ සිටි සියල්ලන්ම එක දිගටම අත්පොළසන් දෙනු දැකගන්නට ලැබුණු අතර සජිත් කොතරම් සංවේදී වූවාද කියනවා නම් ඔහුගේ දෑසින් කඳුළු කඩාහැලෙන ආකාරයක් දැකගන්නට ලැබිණ. මෙසේ හේමා මැතිනියව වේදිකාවට රැගෙන ගිය රනිල් ඇය සිය දකුණුපසින් තබා සජිත්ගේ නම පක්ෂ අපේක්ෂකයා ලෙස රටටම ඇහෙන්නට ප්‍රකාශ කිරීමද විශේෂ සිදුවීමක් විය. ඒ හරහා රනිල් මුළු රටටම එජාපයේ සම්ප්‍රදාය සහ අනන්‍යතාවය පමණක් නොව පක්ෂයේ සමඟිය මේ යැයි පෙන්වාදීමට සමත් වීම විශේෂ සිදුවීමක් විය.
සජිත් වැඩිහරියක් අරලියගහ මැදුරේ
කෙසේ වෙතත් පක්ෂ අපේක්ෂකත්වය මුල්කරගෙන සජිත් හා රනිල් අතර පසුගිය කාලසීමාව තුළ විවිධ මතගැටුම් පැවැතියද කෘත්‍යාධිකාරී මණ්ඩලය අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීමත් සමඟ රනිල් මේ වන විට සිය මුළු ශක්තියම සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ඇති බවක් පෙනෙන්නට ඇත. ඒ අනුව රනිල් පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධානය සමඟද විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සජිත්ට සහාය ලබාගැනීම පිළිබඳව කතාබහක නිරත විය. මේ නිසාමදෝ මේ වන විට රනිල් හා සජිත් අතර විශේෂ හිතවත්කමක් සහ විශ්වාසයක් ගොඩනැඟී ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. මේ වන විට සෑම දිනකම උදෑසන සජිත් අරලියගහ මන්දියරයට පැමිණ මුලින්ම කරන්නේ රනිල් සමඟ එකට වාඩිවී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන සාකච්ඡා කිරීමය. සජිත් පක්ෂ නායකයන් හමුවන්නේ මෙම සාකච්ඡාවෙන් අනතුරුවය. මේ නිසා මේ දිනවල සජිත්ගේ රාජකාරි කාලසටහනෙන් වැඩිහරියක් ගෙවෙන්නේද අරලියගහ මන්දිරය තුළදීය.
කෙසේ වෙතත් සමුළුව පැවැත්වුණු බ්‍රහස්පතින්දා දිනයේද රනිල් සහ සජිත් සමුළුවට ආවේ අරලියගහ මන්දිරයේ සිට එකම වාහනයේ නැඟීය. සමුළුවේදී පාක්ෂිකයන්ට පක්ෂයේ එකමුතුභාවය පෙන්වීම උදෙසා මෙසේ දෙදෙනාම එකට ආ යුතු බවට එකඟතාවයක් දෙදෙනා අතර ඇතිවූයේ ඊට පෙර දිනය. ඒ අනුව රනිල් සජිත්ට ඒ පිළිබඳව සඳහන් කරද්දී සජිත්ද ඊට උඩින්ම එකඟතාව පළකරන ආකාරයක් දැකගත හැකි විය.
දෙන්නා ලෝක ඉතිහාසය කතා කරයි
කෙසේ වෙතත් මේ ඇතිවුණු එකඟතාවය නිසා බ්‍රහස්පතින්දා සජිත් කල්තියාම අරලියගහ මන්දිරයට පැමිණ රනිල් මුණගැසීමට පියවර ගත්තේය. ඒ වන විටත් රැස්වීමට පැමිණෙන ලෙස ආරක්ෂක අංශ විසින් රනිල්ට දැනුම්දී නොතිබීම නිසා දෙදෙනාම කළේ රනිල්ගේ කාර්යාලයේ වාඩිවී බරපතළ දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතවීමය. මෙහිදී කතාබහට ලක්වූයේ මෙරට දේශපාලන කරුණුවලට වඩා ඉතිහාසගත ජාත්‍යන්තර සිදුවීම්ය. ඉන් පළමු සිදුවීම වූයේ 1939 සිට 1945 දක්වා ඇදීගිය දෙවැනි ලෝක යුද්ධයය. එහිදී ඇමෙරිකාව විසින් ජපානයට බෝම්බ හෙලනු ලැබීමත්, යුද්ධයේදී හිට්ලර්ට වැරැදුණු තැන්, හිට්ලර්ගේ ජයග්‍රහණ සහ පසුබෑම් ආදිය පිළිබඳවත් රනිල් දීර්ඝ සහ පැහැදිලි විස්තරයක් සජිත් හමුවේ තැබුවේය. එහිදී සජිත්ද තමන්ට අපැහැදිලි තැන් පිළිබඳව රනිල්ගෙන් ප්‍රශ්න කළ අතර රනිල් ඒ සියල්ලටම පිළිතුරු දෙන ආකාරයක්ද දැකගත හැකි විය.
ඉන් අනතුරුව රනිල් කතා කළේ 1941 දී පර්ල් වරායට එල්ලවූ ප්‍රහාරය පිළිබඳවය. මේ පිළිබඳවද සජිත් රනිල්ගෙන් දීර්ඝව ප්‍රශ්න කරද්දී රනිල් සජිත්ගේ අපැහැදිලි තැන් සියල්ලටම පිළිතුරු සපයන ආකාරයක් දැකගත හැකි විය. එම ප්‍රහාරයෙන් අනතුරුව ජපානය නැවැත ගොඩනැඟුණු හැටි පිළිබඳවද රනිල් එහිදී සජිත්ට පැහැදිලි කර සිටියේය.
රනිල්ගේ ආරක්ෂක අංශ වෙතින් සමුළුවට පැමිණෙන ලෙස ඇමැතුම ආවේ මේ අතරවාරයේදීය. ඒ අනුව රනිල් “අපි දැන් යමු” යැයි කියමින් සජිත් සමඟ සිය කාර්යාලයෙන් එළියට පැමිණෙද්දී මුලින්ම මුණගැසුණේ රනිල්ගේ අතිරේක ලේකම්වරයකු වන සමන් අතාවුදහෙට්ටිය. රනිල් සහ සජිත් එකට කාමරයෙන් එළියට එනු දුටු සමන් දෙදෙනාටම ඇසෙන්නට කීවේ “සර් මේක ඓතිහාසික අවස්ථාවක්. අපි මේකෙ ෆොටෝ එකක් ගහමු” යැයි කියාය. ඒ අනුව රනිල් සහ සජිත් එකට සිටිද්දී සමන් සිය දුරකතනය ගෙන ෆොටෝ එකක් ගැනීමට කටයුතු කළේය. එහිදී සජිත්ද සිනාසෙමින් කීවේ “මේක ඓතිහාසික අවස්ථාවක් හින්ද සමන් ඔයත් එන්න අපිත් එක්ක ෆොටෝ එකකට” යැයි කියාය. ඒ අනුව සමන්ද රනිල් සහ සජිත් සමඟ එක්ව සෙල්ෆි ඡායාරූපයකට පෙනීසිටීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් සජිත් සහ රනිල් සම්මේලනයට එකට එද්දී අරලියග මන්දිරයේ සිදුව තිබූ මේ සිදුවීම මාධ්‍යවේදීන්ටද වාර්තා වී තිබිණ. ඒ අනුව බොහෝදෙනකු සමන්ට කතා කොට සිද්ධිය විමසද්දී සමන්ද ඡායාරූප ගැනීමේ සිද්ධිය ඔවුන්ට විස්තර කිරීමට කටයුතු කළේය.
මේ ආකාරයට සජිත් සහ රනිල් අතර ඇතිව තිබූ සමගිසම්පන්න බව සම්මේලනයේදී මොනවට ප්‍රදර්ශනය වූයේ රනිල් විසින් සජිත්ගේ මව වූ හේමා මැතිනියව අතින් අල්ලාගෙන වේදිකාවට රැගෙන ඒම හරහාය.
කපිල පුංචිමාන්නගේ