ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළේ පසුගිය 12 වැනිදා මධ්‍යම රාත්‍රියේදීය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එදින සවස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ මුල්වරට කරුණු අනාවරණ කළ අතර ජනතාව අනවශ්‍ය පෝලිම්වලට එකතු විය හැකි බැවින් ඉන්ධන මිල ඉහළ නංවන දිනය ඒ මොහොතේ ප්‍රසිද්ධියට පත් නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාම ආණ්ඩුවට දරාගත නොහැකි වීම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුවේ අනුමැතිය හිමි වූ බවය. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබියදී මාස 21ක කාලයක් මෙරට මිල සංශෝධනය නොකළ බවද සඳහන් කළ ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙතරම් කාලයක් තෙල් මිළ වැඩි නොකළ ආණ්ඩුවක් ඉතිහාසයේ නොතිබූ බවය.
එම මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ මේ මොහොතේ තෙල් මිල ඉහළ නොදැමුවහොත් මෙරට සියලු අංශවල ස්ථායීභාවයට එය ගැටලුවක් වනු ඇති බවය.
තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබුණේ ජන ජීවිතය අඩාල වී තිබෙන මෙවැනි අවස්ථාවක තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තම පක්ෂය විරුද්ධ වන බවය. ජනතාව අසීරුතාවයට පත්වන ආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට රජය පත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා වගකිව යුතු බවත් එම වගකීම බාරගෙන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය’.
වර්තමාන රජයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කළ මෙම නිවේදනයෙන් මෙරට දේශපාලනය උඩු යටිකුරු විය. රජය ගත් තීරණයක් සම්බන්ධයෙන් රජයේම ප්‍රධාන පක්ෂය විරුද්ධ වීම බොහෝ දෙනකු විමතියට පත් කළ කරුණක්ද විය.
සාගර කාරියවසම් මහතාගේ නිවේදනය නිකුත් වීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකක් පමණක් වන බවය. ඉන්ධන මිල වැඩි කළේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ විෂය භාර ඇමැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැති ජීවන වියදම් අනුකමිටුවේදී සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව වන බවද එම නිවේදනයේ සඳහන් විය.
සාගර කාරියවසම් මහතාගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදීම සඳහා උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවූයේ ඉන් අනතුරුවය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තීරණය ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ ජීවන වියදම් අනුකමිටුවේ අනුමැතිය සහිතව ගත් තීරණයක් බවය. තමන් සිදුකළේ ජනාධිපතිවරයා වෙනුවෙන් එම තීරණය ප්‍රකාශයට පත්කිරීම පමණක් වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
“පසුගිය ජුනි 09 වැනිදා ජීවන වියදම් අනුකමිටුව රැස්වුණා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මැතිතුමා, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා, බලශක්ති අමාත්‍යවරයා විදියට මම වගේම ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා තමයි එතැන හිටියේ. එතැනදි තමයි මේ තීරණය ගත්තේ.
ඉන්ධන මිල වැඩිකිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විදියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ලිඛිත අවසරය මට එව්වේ ජුනි 10 වැනිදා. මම කළේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සමස්ත ආණ්ඩුවක් ගත්ත තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පමණයි.
අග්‍රාමාත්‍යතුමාගේ ඡායාරූපය තියෙන ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් ගරු අග්‍රාමාත්‍යතුමාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න සාගර කාරියවසම් මැතිතුමා කටයුතු කරලා තියෙනවා.”
එලෙස අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම සඳහා සාගර කාරියවසම් මහතාට බලය පැවරුවේ කවුරුන්දැයි යන්න සොයා බැලිය යුතු බවය.
ඉන් අනතුරුව මේ පිළිබඳ විවිධාකාරයේ අදහස් උදහස් ප්‍රකාශ වන්නට විය. ඉන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී මාධ්‍ය සමඟ අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ තමන් ප්‍රකාශ කළේ තම පක්ෂයේ මතය බවත්, තමන් තවමත් එම මතයම දරමින් සිටින බවත්ය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමැතිවරුද මේ පිළිබඳ විවිධ අදහස් දක්වන්නට විය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු සඳහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සිටියේ නම් කිසිසේත්ම තෙල් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙනු ඇති බවය. තෙල් මිල ඉහළ දැමීමට පක්ෂයක් ලෙස තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරු කිහිප දෙනකුම මාධ්‍යයට පවසන ආකාරයද දැකගත හැකි විය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසර පුරාවට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගොස් තිබූ නමුත් එම වාසිය මෙරට ජනතාවට ලබාදීමට රජය කටයුතු කළේ නැත. ඒ පිළිබඳව අදහස් දක්වමින් රජයේ අමාත්‍යවරු සඳහන් කළේ එලෙස ලබන ලාභය තෙල්මිල ස්ථායීකරණ අරමුදලට බැරකරන බවත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියහොත් මෙරට ඉන්ධන මිල වැඩි නොකොට එම අරමුදලේ මුදල් භාවිත කර පාඩුව පියවා ගන්නා බවත්ය. නමුත් මේ වන විට රජය පවසන්නේ එම අරමුදල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවූ බවය. එම අරමුදලට සිදුවූයේ කුමක්දැයි යන්නද දැන් රට තුළ දැඩි කතාබහකට ලක්වී ඇත.
තෙල්මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසංභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කළේ ඒ අතරතුරේය. කරුණු 10ක් ඔස්සේ ගොනුකර ඇති එම විශ්වාසභංග යෝජනාව මේ වන විට කතානායකවරයාට භාරදී ඇත.
සමගි ජන බලවේගය ප්‍රධාන වශයෙන් එම විශ්වාසභංගයට කරුණු ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ ප්‍රකාශය මුල්කර ගනිමිනි. ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා නොදීමත්, තෙල් මිල ස්ථායීකරණ අරමුදල පිළබඳවත් කරුණු එහි අඩංගු වී ඇත.
සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පදනම් විරහිත එකක් වන බැවින් තමන් එය ප්‍රතික්ෂේප කරන බව උදය ගම්මන්පිල මහතා මේ වන විට අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇත. නමුත් දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඇතුළු මන්ත්‍රීවරු එම විශ්වාසභංගය සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳවය.
මේ පිළිබඳ අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගෙන් කරුණු විමසූ අතර එහිදී ඒ මහතා සඳහන් කළේ තමන් ඉදිරිපත් කළේ පක්ෂයේ මතය වන බැවින් විශ්වාසභංගය සම්බන්ධයෙන්ද පක්ෂයේ තීරණය සමඟ කටයුතු කරන බවය.
“පක්ෂයේ මතය තමයි මම ඉදිරිපත් කළේ. පක්ෂයක් විදියට අපි තෙල් මිල ඉහළ දැමීමට විරුද්ධයි. දැන් ඊට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒකෙදි කරන්න ඕනෑ මොකක්ද කියන එකත් පක්ෂයක් විදියට සාකච්ඡා කරලා තමයි අපි තීරණය කරන්නේ. තවම ඒ ගැන අවසන් තීරණයක් අරගෙන නැහැ. ඉදිරියේදී පක්ෂයක් විදියට සාකච්ඡා කරලා අපි ඒ ගැන තීරණය කරනවා. මොන දේ වුණත් අපි කටයුතු කරන්නේ පක්ෂයක් විදියටයි.”
සාගර කාරියවසම් මහතා පිළිතුරු දුන්නේ එසේය.
මේ අතර ආණ්ඩුව තුළ බැසිල් කණ්ඩායම නමින් වෙනම කණ්ඩායමක් නිර්මාණය වී ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග හරහා දැනගන්නට ඇත. මේ පිළිබඳ කළ විමසීමට පිළිතුරු දුන් කාරියවසම් මහතා සඳහන් කළේ එවැනි වෙනම කණ්ඩායමක් නැති නමුත් තමන්ට හානිකර දේට එරෙහිව නැඟී සිටීමට පියවර ගන්නා බවය.
“එහෙම වෙනම කණ්ඩායමක් නැහැ. අපි එක පක්ෂයක්. ඒත් අපිට හානිකර දේවල්වලට එරෙහිව අපි නැඟී සිටිනවා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා පිළිතුරු දුන්නේ එසේය.
අනතුරුව අප මේ පිළිබඳ කරුණු විමසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතාගෙනි. එහිදී ඒ මහතාද සඳහන් කළේ එම තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගතයුතු එකක් වන බවය.
“පක්ෂයක් විදියට අපි තවමත් තෙල් මිල ඉහළ දැමීමට විරුද්ධයි. ඒක පක්ෂයක් විදියට අපි ගත්ත තීරණයක්. විශ්වාසභංගයේදී මොකක්ද කරන්න ඕනෑ කියන එකත් අපි පක්ෂයක් විදියට සාකච්ඡා කරලා තමයි තීරණය කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දු තීරණ ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ හරහා ගන්න තීරණය පිළිබඳ අපිව දැනුවත් කරනවා. ඒ අනුවයි අපි කටයුතු කරන්නේ.”
බණ්ඩාර මහතා අදහස් දැක්වූයේ එසේය.
විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළහොත් එය තෙල් මිල ඉහළ දැමීමට විරුද්ධව ගත් තීරණයට පරස්පර නොවන්නේදැයි යන පැනයද අනතුරුව අප බණ්ඩාර මහතාට යොමු කළෙමු. ඊට ඒ මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
“ඊට කලින් ගම්මන්පිල මහත්තයා තෙල් මිල පහළ දාවිද කියන්න අපි දන්නේ නැහැනේ. ඒ හින්දා අපි බලාගෙන ඉමු. ඒ වෙලාවට ඒ ගැන කතා කරමු.”
ඒ, රන්ජිත් බණ්ඩාර මහතාගේ පිළිතුරය.
කෙසේ වෙතත් ජනතාවගේ එකම අපේක්ෂාව වී ඇත්තේද තෙල් මිල යම් තරමකින් හෝ පහළ යනු ඇති බවය. මේ මොහොතේ ජනතාවගේ සහාය හිමිවන්නේ ඒ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමට වන බවටද විවාදයක් නැත. නමුත් මේ සියල්ල හුදු නාට්‍යයක් පමණක් වේදැයි යන සැකයද බොහෝ දෙනකු තුළ හටගෙන ඇත. ඒ මේ රටේ දේශපාලනය පිළිබඳ ජනතාව ඉතාම හොඳින් දන්නා නිසාය.
චන්දන පොන්නම්පෙරුම










