එක්සප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් සමඟ ශ්‍රි ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගන්නා රටවල් එම මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතින බව ශ්‍රි ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනරුවන්ගේ සංගමයේ සභාපති දිනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ නැව්ගත කිරීමට සූදානම් කර තිබූ මත්ස්‍ය නිෂ්පාදන ඇණවුම් කිහිපයක්ම මේ වනවිට මෙසේ අවලංගු කිරීමට කටයුතු කර ඇති අතර එම ආනයනකරුවන් මෙම නිෂ්පාදනවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් සහතික කරන ලෙස ඉල්ලා ඇති බවය.
ගින්නට හසුවූ නැවේ රසායන ද්‍රව්‍ය තොගයක් පැවතිම හේතුවෙන් එයින් ශ්‍රි ලංකාව අවට මුහුදට අහිතකර ද්‍රව්‍ය මුසු වීමේ තත්ත්වයට ලෝ පුරා ප්‍රචාරයක් ලැබුණු අතර මෙම සිදුවීම හේතුවෙන් මෙසේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් රටවල ආනයනකරුවන් කටයුතු කර තිබේ.
දිලාන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ බොහෝ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට යැවෙන අතර එම රටවල අපනයනකරුවන් මෙම මත්ස්‍ය නිෂ්පාදනවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි සහතිකකරණයක් සිදු කළ යුතු බවට දැනුම් දී ඇති බවය.
කොවිඩ් අවදානම් කාලයේදීද මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් විදේශ රටවලින් පැවතුණු අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ විදේශ ආදායමක් ධීවර කර්මාන්තය තුළින් 2020 වසර තුළ උපයාගෙන තිබේ.
මත්ස්‍ය නිෂ්පාදන අපයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ රජය හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ පවත්වා එහි පිළිගත හැකි සාක්ෂි සාධක සමඟ මෙරට මත්ස්‍ය නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට මෙම රටවලට ආරක්ෂන සහතික ඉදිරිපත් කළ යුතු බවය.










