ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නත ලබාදීම හෙට (08) ආරම්භ කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
මෙම දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කිරීම සඳහා සයිනොෆාම් එන්නත් මිලියනයක් ඊයේ (06) උදෑසන මෙරටට රැගෙන ආ බවත් තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් ලබන 09 වැනිදා මෙරටට රැගෙන එන බවත් ඉන් අනතුරුව බස්නාහිර පලාත, කුරුනෑගල, රත්නපුර, යාපනය, ගාල්ග සහ මාතර ප්‍රදේශවල මැයි මාසයේ දී එන්නත් ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව වශයෙන් ලබා දෙන බවත් පැවසීය.
එසේම හෙට සිට තවත් දිස්ත්‍රික්ක 12ක් ආවරණය කරමින් සිදුකරන එන්නත්කරණ වැඩසටහන්වලදී වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ට පුරවැසියන්ට, කොරෝනා මර්ධන වැඩපිලිවෙලේ ඉදිරිපෙළ කටයුතු කරන රජයේ සේවකයින්ට, ඇඟළුම් කම්හල් සේවකයින්ට සහ සංකූලතා නොපෙන්වන ගර්භනී මාතාවන්ට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කිරීමටත් අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් ලබාදුන් බවත් යුද්ධ හමුදාධිපතිවරයා කීය.
එසේම කොවිඩ් 19 වෛරසය මෙරට පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ගතයුතු සියලුම ක්‍රියාමාර්ග මේවන විට සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශවලට අනුකූලව ගෙන ඇති නමුත් දිනකට ආසාදිතයින් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සැලකිය යුතු තත්ත්වයක් නිසා ඒ බව රටේ ජනතාව අවබෝධ කරගෙන තමන් කොවිඩ් පතුරවන පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිතතයෙකු නොවී සිටීමට කටයුතු කළ යුතු බවද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
එසේම රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන්වලදී ප්‍රතිචාර දක්වමින් ආපදා සහන සේවා කටයුතු මෙන්ම ගලවාගැනීමේ ක්‍රියාන්විත සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මේවන විටත් කටයුතු කරමින් සිටින බව යුද්ධ හමුදාධිපතිවරයා පැවසීය.
එසේම ගුවන් හමුදාව අවශ්‍ය කටයුතු සඳහා සිය දායකත්වය මේවන විට ලබා දෙමින් සිටින බවට හෙතෙම කීය.
එසේම රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා කර සියලු සෞඛ්‍ය අංශවල නිර්දේශවලට අනුව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණයකරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දිලංක ගුණතිලක










