වර්තමානයේදී සමස්ත ලෝකයම මුහුණපා සිටින්නේ පෙර කිසිදා අත්නොදුටු තත්ත්වයකටය. ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවලට එම තත්ත්වය ඉතාම තදින් බලපා ඇත. අද වන විට මෙරට බොහෝ දෙනකු තම දෛනික ජීවිකාව අහිමි වූ තත්ත්වයකට පත් වී ඇත. ජනතාව පමණක් නොව රජයද වර්තමානයේදී පත්ව ඇත්තේ ඉතා අසීරු මට්ටමකටය. රජයේ ඇතැම් ඇමැතිවරු කොවිඩ් මැඬලීම සඳහා දානපතියන්ගෙන් උපකාර ඉල්ලන තැනට පත්ව ඇත්තේ එම අසීරුතාව නිසාය. නමුත් රජයට එවැනි ආර්ථික අපහසුතාවක් නොමැති බවට පවසන ඇමැතිවරුද දක්නට ඇත.
මෙවැනි පසුබිමක රජයේ භාවිතය සඳහා අධික මුදලක් වැයකරමින් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ සූදානමක් ඇතැයි පැතිර ගිය පුවත පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය. එම වාහන ගෙන්වනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වන බවට තොරතුරු දැනගැනීමත් සමඟ එය රජයට එරෙහි ජනතා විරෝධයක් බවට පත්වන ආකාරයද දැකගත හැකි විය.
විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා ආනයන සීමාකිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වූ අතර නව රජය බලයට පත්වූ දා සිටම එම ප්‍රතිපත්තිය ඉතාම තදින් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම නතර කෙරුණේ ඒ අනුවය. අද වන විටද එම තහනම ඉතාම තදින් ක්‍රියාත්මක වන අතර මේ වන විටද ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ඇත්තේ තෝරාගත් කාණ්ඩ කිහිපයක වාහන පමණි. ඒ හේතුවෙන් මෙරට වාහන මිල ඉතිහාසයේ පෙර කෙදිනකවත් නොතිබූ තරමට ඉහළ ගොස් ඇත.
වාහන පමණක් නොව වාහන අමතර කොටස්, ටයර්, ගොඩනැඟිලි ද්‍රව්‍ය, ආහාරද්‍රව්‍ය මෙන්ම අවසානයේ පොහොර ආනයනය පවා තහනම් කිරීමට රජය පියවර ගත්තේය. අද ඇතැම් වාහන සඳහා අවශ්‍ය ටයර් වෙළෙඳපොළෙන් සොයාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ එම තහනම නිසාය. ටයිල් ඇතුළු ගොඩනැඟිලි ද්‍රව්‍ය සෑම එකකම මිල වෙනදාට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. ආනයන තහනම් කිරීම නිසා මෙරට වෙළෙඳපොළේ කහ හිඟයක් නිර්මාණය වූ අතර පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්ද බොහෝ දෙනා සැමරුවේද කහ භාවිතයෙන් තොරවය. සැමන් ආනයනය තහනම් කිරීම හේතුවෙන් අද වෙළෙඳපොළේ සැමන් ටින් එකක මිල රුපියන් 350 ඉක්මවා ගොස් ඇත. නමුත් මිල ඉහළ ගොස් තිබුණද පාරිභෝගිකයන් පවසන්නේ එම සැමන්වල ගුණාත්මකභාවය ඉතාම අඩු බවය.
ඒ සියල්ලත් සමඟම පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් ජනතාව කබලෙන් ළිපට ඇදවැටුණු තත්ත්වයක් නිර්මාණය වී ඇත. වී ගොවිතැන පමණක් නොව තේ, කුරුඳු වැනි අපනයන භෝග රාශියක් මේ වන විට නඩත්තු කරගත නොහැකි තැනට පත් වී ඇත්තේ රසායනික පොහොර නොමැති වීම මතය. ඒ හේතුවෙන් සුළු පරිමාණ වතු හිමියන්ගේ දෛනික ආදායම සීග්‍රයෙන් කඩාවැටී ඇත.
නමුත් ජනතාව මේ සියල්ල දරාගැනීමට සූදානම් වූයේ ඒ හරහා ඉදිරියේදී හෝ රටේ ආර්ථිකය යහපත් අතට පත් වෙනු ඇතැයි යන විශ්වාසය මතය. නමුත් රජයේ භාවිතය සඳහා අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීමට සූදානම්වන බවට දැන ගැනීමත් සමඟ බොහෝ දෙනකු විමසන්නට වූයේ තමන් මෙතරම් කැපකිරීම් සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැප ලබාදීම සඳහාද යන්නය.
මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබූ ආකාරයට රජය ඒ ආකාරයෙන් වාහන ගෙන්වීමට සැලසුම් කර තිබුණේ ලංකා බැකුවේ ලීසිං පහසුකම යටතේය. ඒ සඳහා රුපියල් බිලියන 3.5ක මුදලක් වැයවන බව වාර්තා වූ අතර ඒ යටතේ අධි සුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වාහන 228ක්, හීනෝ කැබ් 52ක්, ඇම්බියුලන්ස් 50ක් සහ ඩබල් කැබ් රථ 69ක් ගෙන්වීමට නියමිත බවටද තොරතුරු වාර්තා විය. ඒ සඳහා පසුගිය අප්‍රේල් 29 වැනිදා ණයවර ලිපි විවෘත කර ඇති බවද වාර්තා විය.
මේ අතරින් ඇම්බියුලන්ස්, ඩබල් කැබ් සහ කැබ් රථ ගෙන්වීමට සැලසුම් කර ඇත්තේ සෞඛ්‍ය, කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවී සහ වනසංරක්ෂණ ක්ෂේත්‍ර සඳහාය. ඉතිරි අධි සුඛෝබභෝගී වාහන ආනයනය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාය. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීම සඳහා මෙලෙස වාහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවටද මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විය. එම වාහන ගෙවීමේ පදනම යටතේ මන්ත්‍රීවරුන්ට ලබාදීමටද යෝජනා වී තිබිණි. ඒ ආකාරයෙන් වාහන ලබාදීමට තීරණය කර ඇත්තේ මන්ත්‍රීවරුන්ට හිමි වාහන බලපත්‍රය අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීම මතය.
මේ සිද්ධිය වාර්තා වීමත් සමඟ මේ පිළිබඳ බොහෝ දෙනා රජයෙන් තොරතුරු විමසන්නට වූ අතර ඊට පිළිතුරු දෙමින් එක් අවස්ථාවක කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ වාහනයක් නොමැති වීම මත තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ නවක මන්ත්‍රීවරුන් රාශියක් තමන්ට කිහිපවරක් දැනුම් දී ඇති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වාහන බලපත්‍රයක් හිමි වීම අතීතයේ සිට පැවැති සම්ප්‍රදාය විය. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන විට වාහනයක් නොතිබූ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට තේරී පත්වූ සැණින් වාහනයක හිමිකරුවකු බවට පත්විය. එමෙන්ම වාහන හිමි ඇතැම් මන්ත්‍රීවරු එම බලපත්‍රය විකුණන බවටද චෝදනා එල්ල විය.
නමුත් මෙවර තත්ත්වය වෙනස් වී ඇත්තේ වාහන බලපත්‍රය ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීම මතය. එමෙන්ම වර්තමානයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරයෙකුට පෞද්ගලික වාහනයක් නැතැයි පිළිගැනීමට අපේ රටේ ජනතාවද සූදානම් නැත. ඒ එම මන්ත්‍රීවරුන් මැතිවරණ ප්‍රචාරණයේදී වියදම් කරන අධික මුදල හේතුවෙනි.
අප මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් මේ පිළිබඳ විමසීමට අදහස් කළේ එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව විමසීම සඳහාය. එමෙන්ම එම මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් එවැනි ඉල්ලීමක් සිදු කළේද යන්න දැන ගැනීමටද අපට අවශ්‍ය විය.
අප පළමුව ඒ සඳහා සම්බන්ධ කරගත්තේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාවය. එහිදී ඒ මහතා සඳහන් කළේ තමන් පෞද්ගලිකව එවැනි ඉල්ලීමක් කර නොමැති නමුත් වාහනයක් නොමැති නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන බවය.
“වාහනයක් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවිය යුතු දෙයක්. සති කිහිපයක් සඳහා පාර්ලිමේන්තුවට තේරී පත්වුණු සමන් රත්නප්‍රිය මහත්මයාත් වාහනයක් ලබාගන්නා ආකාරය අපි දැක්කා. ඒත් මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය මත කිසිම මන්ත්‍රීවරයෙක් වාහන ඉල්ලාවි කියලා මම හිතන්නේ නැහැ.
එදිරිමාන්න මහතා අදහස් දැක්වූයේ එසේය.
අනතුරුව අප මේ පිළිබඳ විමසීම සඳහා සම්බන්ධ කර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාවය. එහිදී ඒ මහතා සඳහන් කළේ තමන්ටද මෙතෙක් වාහනයක් නැති බවය. නමුත් නවීන වාහන ආනයනය කර තමන්ට ලබාදෙන ලෙස නවක මන්ත්‍රීවරුන් ඉල්ලා ඇතැයි යනුවෙන් කතානායකවරයා පැවැසූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් වන බවද පැවසූ ඒ මහතා, තමන් ඉල්ලා සිටියේ හැකි නම් අමාත්‍යාංශයකින් ඉවත් කළ වාහන පිළිසකර කර ලබාදෙන ලෙස යැයිද සඳහන් කළේය.
“මමත් වාහනයක් නැති නවක මන්ත්‍රීවරයෙක්. මොකද මම පළාත් සභාවට තේරී පත්වුණු වෙලාවෙත් පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාහන ලබාදෙන බලපත්‍රය අහෝසි වුණා. පාර්ලිමේන්තුවට පත් වුණාමත් එහෙමයි. අදටත් මම රුපියල් ලක්ෂයකට ආසන්න කුලියක් දරමින් තමයි වාහනයක් පාවිච්චි කරන්නේ. ඇත්තටම මන්ත්‍රීවරයෙක් වුණාම වාහනයක් නැතිව අපිට මේ වැඩ කරන්න බැහැනේ.
ඒ හින්දයි අපිටත් වාහනයක් ලබාදෙන්න කියන ඉල්ලීම අපි කතානායකතුමාගෙන් කළේ. හැබැයි අපි ඉල්ලුවේ අලුත් වාහන නෙවෙයි. අලුත් වාහන අපි ඉල්ලුවා කියලා එතුමා කියන්නේ බොරු. අමාත්‍යාංශවලින් ඉවත් කෙරුව වාහන ඕනෑ තරම් තියෙනවා. අන්න ඒ වගේ වාහන පිළිසකර කරලා අපිට දෙන්න කියලයි අපි ඉල්ලීමක් කළේ. අපි දැන් කියන්නෙත් ඒකයි. මේක වාහන ගෙන්වන වෙලාවක් නෙවෙයි. එහෙම පුළුවන් කාලෙක අලුත් වාහන ගෙන්වන්න. එතකම් මේ තියෙන වාහනයක් අපිට දෙන්න. එහෙම නැති වුණොත් ඉතාම යහපත් චේතනාවෙන් දේශපාලනය කරන අයටත් ඒක කර ගන්න බැරි වෙන එකයි වෙන්නේ.”
එල්ලාවල මහතා අදහස් දැක්වූයේ එසේය.
ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂය නියෝජනය කරන නවක මන්ත්‍රීවරු කිහිප දෙනකුටද වාහන නොමැතිවීමේ ගැටලුව බලපා ඇති බව අපට දැනගත හැකි විය. ටී.එන්.ඒ. සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද ඒ අතර ඇත. මේ පිළිබඳ කළ විමසීමකදී ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරයකු සඳහන් කළේ තම පක්ෂයේද එවැනි මන්ත්‍රීවරු කිහිප දෙනකුම සිටිනා බවය. ඔවුන් කතානායකවරයාගෙන් එවැනි ඉල්ලීමක් කර ඇද්දැයි තමන් නොදන්නා නමුත් ඒ පිළිබඳ ස්ථිරවම තහවුරු කිරීමට තමන්ට නොහැකි බවද මන්ත්‍රීවරයා අවාධාරණය කළේය.
මෙහිදී මතුවන ප්‍රධාන කාරණය වන්නේ පැරැණි වාහන ඉල්ලූ මන්ත්‍රීවරුන්ට අධි සුඛෝපභෝගී වාහන ලබාදීමට රජය තීරණය කළේ ඇයිදැයි යන්නය. එමෙන්ම නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම සඳහා එවැනි වාහන 227ක් ආනයනය කිරීමට රජය තීරණය කළේ ඇයිදැයි යන්නද ගැටලුවකි. මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 79ක් වන අතර ඒ අතරින් කිහිප දෙනකුම කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් ලෙසද කටයුතු කරමින් ඇත.
කෙසේ නමුත් ජනතාවගෙන් පැමිණි දැඩි විරෝධය හමුවේ එලෙස වාහන ගෙන්වීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය පසුගිය 24 වැනිදා තීරණය කළේය. එහෙත් ඒ පිළිබඳවද දැන් මතුව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි. ඒ, කිසියම් කටයුත්තක් සඳහා නිකුත් කළ ණයවර ලිපි එක් පාර්ශ්වයකගේ කැමැත්තට පමණක් අත්හිටුවීමට නොහැකි වීම නිසාය.
ලංකා බැංකුව විසින් එච්.එස්.බී.සී. ජාත්‍යන්තර බැංකුව වෙත මෙම ණයවර ලිපි නිකුත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය. එබැවින් එම ණයවර ලිපි අත්හිටුවන්නේ නම් ඒ සඳහා අනෙක් පාර්ශ්වයේත් කැමැත්ත අත්‍යාවශ්‍යය. ඒ පිළිබඳ කිසිවක් මේ වන විට දැනගන්නට නැත. එම ණයවර ලිපිවලට සිදුවන්නේ කුමක්ද යන්න ලංකා බැංකුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ කළ විමසීකට පිළිතුරු දුන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින සෑම දෙයක් සම්බන්ධයෙන්ම තමන් දැනුවත් නොවන බැවින් ඒ පිළිබඳ කිසිවක් තමන්ට පැවැසිය නොහැකි බවය.
මේ පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මේ හරහා පිළිබිඹු වී ඇත්තේ රජයේ ආකාර්යක්ෂමතාව වන බවය. පසුගිය අප්‍රේල් මාසයේදී ගත් තීරණය එක්වරම වෙනස් කිරීමට රජයට සිදුව ඇත්තේ ඒ නිසාය. මෙම තීරණය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් වීමට ඉඩ ඇති බවද විචාරකයන්ගේ අදහස වී ඇත. එසේ වුවහොත් එය වාහන ගෙන්වීමට වඩා විශාල පාඩුවක් වනු ඇත.
චන්දන පොන්නම්පෙරුම










