කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වලව්වත්ත සහ බණ්ඩාරවත්ත ප්‍රදේශවල නිවෙස් දෙකක කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු නිවෙස් තුළම මියගොස් ඇත.
ඔවුන් මිය යාමෙන් පසුව සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයේ දී ඔවුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක සුසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ වලව්වත්තේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක් සහ බණ්ඩාරවත්තේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
විශේෂත්වයක් වන්නේ ඔවුන් නිවෙස් තුළම රැඳී සිටි අය වීම බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නොතිබීම බවත් ඔහු සඳහන් කළේය.
මිය ගිය පුද්ගලයින් පවුල්වල සාමාජිකයින්ගේ ද පීසීආර් සාම්පල ලබාගෙන ඇති බව පැවසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.








