මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඊයේ (06) සිය නිවසින් පිටත සිදුවූ පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව එරට පොලිසිය ඊයේ රාත්‍රීයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
එරට වත්මන් පාර්ලිමේන්තු කථානායකවරයාද වන මොහොමඩ් නෂීඩ් සිය නිවස අසල ඇති වූ පිපිරීමකින් තුවාල ලබා ඇති බව පමණක් පොලිසිය දැනට ප්‍රසිද්ධ කර තිබෙන අතර වැඩි විස්තර ලබාදී නැත.
මාලදිවයිනේ රූපවාහිනී නාලිකාවක් වන පීඑස්එම් හි රූපරාමුවලින් දැක්වෙන්නේ මාලේ අගනුවර සිදුවීම සිදු වූ ස්ථානය ආරක්ෂක සේවා වටකර ඇති බවයි.
විදේශීය සංචාරකයෙකු ද තුවාල ලබා ඇති බව නාලිකාව වාර්තා කර තිබුණි.
වසර 30ක් පැවති අත්තනෝමතික පාලනයක් නිමා කරමින් 2008දී නෂීඩ් මාලදිවයින් දූපත් සමූහයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ පළමු නායකයා බවට පත්විය.
ඔහු 2012 වන තෙක් ජනාධිපති ලෙස සේවය කරන ලදි.
ඔහුගේ තත්වය දැනට යහපත් බව රෝහල් ආරංචිමාර්ග පවසයි.










