ගලේවෙල පට්ටිවෙල හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (03) දින තියුණු ආයුධයකින් ඇණ තරුණියක් ඝාතනය කර තිබෙන බව ගලේවෙල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 19ක ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි ඒ .ජි .රශ්මිකා දිල්මිනි තිලකරත්න නමැති තරුණියකි.
මෙම තරුණිය තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම මියගිය තරුණියගේ ළඟම ඥාතියෙකු වන 42 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.
මෙම තරුණිය 03 දින පස්වරුවේ ඇය විසින් පවත්වාගෙන යන පට්ටිවෙල ප්‍රදේශයේ පොත් අලෙවිසැලක සිටියදී එම ස්ථානයට පැමිණි මෙම ඥාතියා එක වරම ඇයට පිහියකින් ඇන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන අතර මූලික රෝහලේ දී මෙම තරුණිය ජීවිතක්ෂයට පත්වී ඇතැයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා පවසයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තම දියණිය වයස අවුරුදු 17ක් වන බවත් මව නොමැතිව තම දියණිය ළමා නිවාසයක හැදී වැඩී ඇති බවත්ය.
පසුව අවුරුදු නිවාඩුව සඳහා ළමා නිවාසය තම දියණිය තමා වෙත මීට දින කිහිපයකට පෙර භාරදුන් බවද පොලිසියට ප්‍රකාශ කොට ඇත .
නිවසේ තනිවම සිටීමට නොහැකි නිසා අසල නිවසේ සිටින ළඟම ඥාති කාන්තාවක ගේ නිවසේ තම දියණිය නවතා තැබූ බව හෙතෙම පොලිසියට ප්‍රකාශ කොට ඇත .
ඥාති නිවසේ සිටි මියගිය තරුණිය තම දියණිය 34 වියැති පුද්ගලයෙකුට විවාහ කර දීමට යන බවට තමාට දැනගන්නට ලැබුණු බවද සැකකරු ප්‍රකාශ කොට තිබේ.
පසුව අවස්ථා කිහිපයක තම දියණිය බැලීම සඳහා එම නිවසට ගිය ද තමන්ට දියණිය නොපෙන්වා සඟවාගෙන සිටි බවද එම නිසා ඇති වූ කෝපයෙන් මෙම ඝාතනය සිදුකළ බවට ඔහු පාපොච්ඡාරණය කළ බවද පොලිසිය පවසයි.










