පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ බව මිනුවන්ගොඩ නගරයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු විසින් නැකත් සීට්ටුව හා ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනු ලබන අත්පත්‍රිකා බෙදාදීම අද (03) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයෙන් ආරම්භ වුණි.
ඊට සමගාමීව මිනුවන්ගොඩ නගරයේදී අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ද පවත්වා තිබුණි.
“ඒක ආරම්භක සාකච්ඡාවක්. ඒ අය කිව්වා, හැම මාසෙම රැස්වෙලා ප්‍රශ්න සාකච්ඡා කළොත් හොඳයි කියලා. පළවෙනි සාකච්ඡාවේදී තීරණයකට එළඹීමට පුළුවන්කමක් තිබුණේ නෑ. අපේ උත්සාහය හදපු සන්ධානය රැක ගැනීම. පළාත් සභා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොටසක්. පළාත් සභා සම්පූර්ණයෙන් අමතක කරලා, මැතිවරණ පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්කමක් නෑ,” යනුවෙන් එහිදී අදහස් දැක්වූ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.










