පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් ලුනුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් පසු, පලා ගිය බස් රථයට ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
අනතුරෙන් පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර ලුනුගල – බදුල්ල මාර්ගයේ මෙවැනි මාර්ග අනතුරු සිදුවිය හැකි ස්ථාන කිහිපයක් පවතින බව දැනගන්නට ඇත.
අනතුරට ලක්වූ බස් රථයේ හිමිකාරීත්වය දරන නිශාන්ත ජයවර්ධන සඳහන් කළේ අද අනතුරට පත්වූ බස් රථය පැදවූ රියදුරා බිරිඳට අසනීප වීම හේතුවෙන් නිවාඩු ලබා සිට පැමිණ අද බස් රථය ධාවනය කර ඇති බවයි.
කෙසේවෙතත් ඊයේ දිනයේදී ඔහු බස් රථයේ සේවය නොකළ ද බස් රථයේ ගමන් කර ඇතැයි ද හිමිකරු කියාසිටියේය.
මෙම රියදුරා ලුණුගල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි නතරවී බස් රථයේ සේවය කරන බවද ඔහු සඳහන් කළේය.
බස් රථයේ සේවයට රියදුරන් තුන්දෙනෙකු සිටින අතර කොන්දොස්තරවරුන් දෙදෙනෙකු ද සිටින බව හිමිකරු ප්‍රකාශ කළේය.
අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් ඇති අතර බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී දර්ශනවල සඳහන්ය.
ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.
මේ අතර මෙම මාරක බස් රථ අනතුරින් එහි රියදුරා මියගොස් නොමැති බවට මේවනවිට අනාවරණ වී තිබේ.
රියදුරා මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේය.










