දුම්වැටි හා දුම්කොල භාවිතා කිරීම ශරීරයට අහිතකර බව තහවුරු කරගෙන තිබෙන හෙයින් දුම්වැටි භාවිතයෙන් ජනතාව ගලවා ගැනීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති නමුත් ඒ සඳහා ඇමතිරුන්ට ව්‍යාපාරිකයන්ගේ හිතුමනාපයට ආදේශක නිපදවා හඳුන්වාදීමට ඉඩ තැබිය නොහැකි බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීම මත හඳුන්වා දුන් කුරුඳු සිගරැට්ටුව පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ඔහු පවසන්නේ කුරුඳු දහනයෙන් නිපදවන දුම ශරීරයට අහිතකර නොවන බවට කිසිදු පර්යේෂණයකින් තහවුරු වී නොමැති බවයි.
මෙම යෝජනාව තමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඉදිරිපත් වූ බවත්, තමාට ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැති බැවින් එම යෝජනාව දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා වෙත යොමුකළ බවත් සේනාරත්න මහතා පැවසීය.
එහිදී සිදුකළ සොයා බැලීමේදී කුරුඳු දුමාරය ශරීරයට අහිතකර නොවන බවට අදාළ යෝජනාව ඉදිරිපත් කළ ආයතනය විසින් කිසිදු පර්යේෂණයකින් තහවුරු කර නොමැති බව තහවුරු වූයේ යැයිද හිටපු ඇමතිවරයා පවසයි.
අද විමල් වීරවංශ මහතා දුම්වැටි භාවිතා කරන්නන්ට ප්‍රසිද්ධියේ මෙවැනි ආදේශක නිර්දේශ කරන්නේ කිසිදු සොයා බැලීමකින් තොරව බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා පවසන්නේ කිසිදු සොයා බැලීමකින් තොරව, වගකීමකින් තොරව කටයුතු කරන මෙවැනි ඇමතිවරුන් එළවා දැමිය යුතු බවයි.









