රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයකු හෝමාගම තලගල යාලකැලේ ප්‍රදේශයේ ඉඩමක් බලෙන් අත්පත්කර ගැනීම සඳහා එහි කොටසක පදිංචි වී සිටි පිරිසක් පොලිසිය යොදවා බලහත්කාරයෙන් ඉවත් කර නිවාස කඩා දැමූ බවත්, ඒ හේතුවෙන් පවුල් 150ක් පමණ දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇති බවත් එහි පදිංචිකරුවෝ පවසති.
මෙම ප්‍රදේශය වසර 70කටත් අධික කාලයක සිට පාළුවට ගොස් තිබූ ප්‍රදේශයක් බැවින් මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම ප්‍රදේශයට හිමිකරුවකු නොමැති බවට අනාවරණය වූ බවත්, එම දේශපාලනඥයාට සම්බන්ධ යැයි සැක කරන පිරිසක් පෙරේදා (16දා) පැමිණ එම ප්‍රදේශය ගුවන් කැමරා මගින් වීඩියෝ ගතකරගෙන ගිය බවත් ඔවුහු කියති.
හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම ඉඩම රජයට අයත් නොවන ඉඩමක් බවට තහවුරු කර ඇති අතර, එසේ තිබියදීත්, ප්‍රබල දේශපාලනඥයකුගේ අවශ්‍යතාවකට පොලිසිය උසාවි නියෝගයක්වත් නොමැතිව එහි පදිංචිකරුවන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කර නිවාස කඩා දැමීම නිසා පවුල් 150කට පමණ කුලී නිවාස සොයා යෑමට සිදුවූ බව ඔවුහු සඳහන් කරති.
මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු රජයේ බලධාරීන්ගේ අවධානය යොමුකර නිවෙසක් නොමැතිව අසරණ වී සිටින මෙහි පදිංචිකරුවන්ට සාධාරණයක් ඉටුකර දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.








