ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
“සමස්ත මරණවලින් සියයට 70ක් වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි අය. ඒ නිසා මෙන්න මේ ඉලක්ක කණ්ඩායම් හරියට තෝරගෙන ඒ අය නිවැරදිව කලමනාකරණය කර විශේෂයෙන් එන්නත් වැඩසටහනේ දී ඒ අය ඉලක්ක කර ක්‍රියාත්මක කිරීම මීට වඩා කාර්යක්ෂමව සිද්ධවෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ජනවාරි සමස්ත මාසයට ම අපිට මරණ වාර්තා වුණේ 112ක් වගේ ප්‍රමාණයක්. පෙබරවාරි මාසය ඇතුළත මේ දවස් 20ක් ගත වෙනකොට ඒ ජනවාරි සමස්ත මාසයට වාර්තා වුණ මරණ ගාන ඉක්මවලා වාර්තා වෙනවා. මේක එතරම් සුබදායි තත්ත්වයක් නෙමෙයි. “
එමෙන්ම බිම් මට්ටමේ දී සිදුවන කොවිඩ් මරණ නිසිලෙස සංඛ්‍යා ලේඛන සඳහා යොමු නොවීම හේතුවෙන් ජනතාව හා සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
“බිම් මට්ටමේ සිදුවන මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන විදියට එළියට එන්නේ නෑ. ඒ හරහා මතුවෙලා තියෙන තත්ත්වය තමයි සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා. උදාහරණය තමයි ගමක මරණයක් වුණාම ජාතික මට්ටමෙන් සහ වසංගත රෝග අංශය මඟින් දත්ත ප්‍රකාශ වෙනකොට ගමේ සිදුවුණ මරණය ඒ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නේ නැත්නම් ඒක කොවිඩ් මරණයක් ද නැද්ද කියන සැකය ඥාතීන් තුළ එනවා. බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් මේ හරහා සමාජය හා සෞඛ්‍ය වෘත්තීතයන් අතර ඇති වෙන්න පුළුවන්.“










