කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, රටට ආයෝජන ගෙන ඒම ජාතික සම්පත් විකිණීමක් නොවන්නේ යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 4 වන සංවත්සරය වෙනුවෙන් , උඩුගම්පළ නගරයේ පෙරේදා (23) පැවති මිනුවන්ගොඩ ආසන සමුළුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
කෙසේවෙතත් මීට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් සිදු කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේම රාජ්‍ය අමාත්‍යවරයකු වූ නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළේ කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත්ය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා (24දා) වත්තල කෙළවරපිටියේදී වත්තල ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය අමතමින් මේ බව කීය.
එහිදී තව දුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
” රජයක් ලෙස අපි ප්‍රකාශ කරන්නේ අපි රාජ්‍ය දේපළ විකුණාගෙන කන්නේ නෑ. අපි කරන්නේ නැගෙනහිර ජැටියට ආයෝජන කරන්න ඉන්දියානු සමාගමකට බදු දීමයි. ඉන්දියාව වේවා, ජපානය, චීනය, ඇමරිකාව වේවා ඕනෑම රටක් ලංකාවේ ආයෝජනයට එනවා නම් අපි ඒ අයට අවස්ථාව දෙනවා.”










