දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන ඇති මීමුරේ ගම්මානයට ප්‍රවේශවීමට ඇති මාර්ගයේ හුන්නස්ගිරිය කෝබට්ස් ගැප් සිට මීමුරේ දක්වා වූ මාර්ග කොටස සංවර්ධනය කිරීම අද (17) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 13 ක් වන අතර මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 235 කි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ NEM කොන්ත්‍රාත් සමාගම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහාමාර්ග අමාත්‍යංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ පරිසර පද්ධතියට හා එහි ස්වාභාවික සුන්දරත්වයට හානි නොවන ලෙස මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මීමුරේ වැසියන් කාලයක් තිස්සේ මෙම මාර්ගය සංවර්ධනය කරන දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය සංවර්ධනය සිදුකරන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
එම මාර්ගය 2013 වසරේ එවකට හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාර්ගය සෑදීම ආරම්භ කර කිලෝමීටර් තුනකට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කළ නමුත් 2015 යහපාලන රජය පත්වීමෙන් අනතුරුව එහි වැඩකටයුතු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අතහැර දමන ලදී නැවත 2013 වසරේ ආරම්භ කළ මාර්ග සංවර්ධන ක්‍රියාවලියේ දිගුවක් ලෙස වර්තමාන රජය අද මෙය ආරම්භ කරනවා.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා , මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මඩුගල්ල , මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් භාර අධ්‍යක්ෂ විජයපාල, ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම් වල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.












