කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් තීරණය කොට ඇත.
මේ හේතුවෙන් අද (23) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ, මෘත දේහ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරෙන්නේ නැත.
එමෙන්ම අධිකරණ වෛද්‍යවරුන් විසින් දෛනිකව සිදුකරන, රිය අනතුරුවලින් තුවාල ලබන රෝගීන් පරීක්ෂා කිරීම හා විවිධ අතවරයන්ට පත්වන පුද්ගලයන්ට හා බීමත් රියදුරන් සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීම ඇතුළු සියළුම අධිකරණ වෛද්‍ය කටයුතු නවතා දමා තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමේ දී රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය හා නීතිඥ යූ.සී.පී.පෙරේරා පවසා සිටියේ මෙම මෘත දේහය කොරෝනා ආසාදිත මෘතදේහයක් බවට තහවුරුවීමෙන් අනතුරුව එය හැකි ඉක්මණින් ආදාහනය කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා උපදෙස් දී තිබිය දී අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් මෙම දේහය ආදාහනය කිරීම ප්‍රමාද වී ඇති බවයි.










