පුනරුත්පත්තිය සහ පුනර්භවය සම්බන්ධ කතාබහ අපේ සමාජයට අලුත් දෙයක් නොවේ. විවිධ අවස්ථාවල එවැනි ආකාරයේ පුවත් අපේ රටෙන් අසන්නට දකින්නට ලැබී ඇත. පුනරුත්පත්තිය පිළිබඳ සමාජ කතාබහ නැවත වරක් අලුත් වූයේ පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නයිවල ප්‍රදේශයේ දරුවකු සම්බන්ධ සිදුවීම නිසාය. මේ සිද්ධියට සම්බන්ධව ඇත්තේ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පදිංචි සෙනුර වීරසිංහ නැමැති 7 හැවිරිදි දරුවෙකි. මේ වන විට බොහෝ දෙනකුගේ අදහස වී ඇත්තේ මේ කුඩා දරුවා 2003 වසරේදී මියගිය කල්පනා චව්ලාගේ පුනරුත්පත්තිය විය හැකි බවය. ඉන්දියාවෙන් බිහි වූ පළමු ගගනගාමීවරිය වන කල්පනා චව්ලා මියගොස් ඇත්තේද අභ්‍යවකාශ අනතුරක් හේතුවෙනි.
සෙනුර සම්බන්ධයෙන් නිමවූ යූටියුබ් වැඩසටහන් කිහිපයක්ම දැක ගත හැකි වුවත් ඒ අතරින් වැඩි දෙනාගේ අවධානය යොමු වූයේ ජනප්‍රිය මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහතා මෙහෙයවූ වැඩසටහන වෙතටය. එබැවින් මේ සටහන සඳහා අප ප්‍රධාන වශයෙන් යොදා ගන්නේද එම වැඩසටහනය. සැබැවින්ම එම වැඩසටහන ඉතාම අපූර්ව එකකි. අවුරුදු 7ක දරුවකුට එවැනි ආකාරයේ දැනුමක් සහ චතුර කථිකත්වයක් ඇද්දැයි ඕනෑම අයෙකු පුදුම කරවන තරමේ හැකියාවක් කුඩා සෙනුරට ඇත. සිංහල පමණක් නොව ඉංග්‍රීසි සහ හින්දි භාෂාවද මේ කුඩා දරුවා ඉතාම හොඳින් හසුරුවන්නේ විශ්වාස කළ නොහැකි ආකාරයටය. සෙනුර පවසන්නේ තමන් කැමැතිම සත්වයා ඩයිනෝසර් බවය. එමෙන්ම ඩයිනෝසරයන්ගේ සහ මකරුන්ගේ ඇටකටු සොයා ගැනීමට කැමැති යැයි පවසන සෙනුර ගහක් හැදෙන ආකාරය සහ වතුර පොළොවේ සිට අහසට යන ආකාරය දැන ගැනීමටද තමන් කැමැති යැයි පවසන්නේ වැඩසටහන නරඹන සියලු දෙනාගේ ලොමු ඩැහැගැන්වෙන ආකාරයටය. සත්ව විද්‍යාව පමණක් නොව ආකාශ විද්‍යාව සහ තාරකා විද්‍යාව සම්බන්ධයෙන්ද සෙනුර සතු දැනුම පුදුමසහගත එකකි. වැඩසටහන ආරම්භයේදීම හරීන්ද්‍ර ජයලාල් මහතා පවසන්නේ සෙනුරගෙන් සිංහලෙන් අසනා සියලුම ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බවය.
පාසල් යාමටත් පෙර සිට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ කෙසේදැයි අසන පැනයට කුඩා සෙනුර පවසන්නේ තමන් එය නොදන්නා බවය.
“ඉංග්‍රීසි මං ඉක්මනින් මොළෙන් අල්ලගෙන ලොක් කරගෙන ඉන්නවා. මට ඕනෑ ප්‍රමාණයට එළියට එවනවා.” ඒ සෙනුරගේ පිළිතුරය.
“ඔයාට ඉංග්‍රීසි කතා කරද්දී, මොනවා හරි මතක් වෙනවද? කලින් කාත් එක්ක හරි ඉංග්‍රීසි කතා කරපු විදිය වගේ දේවල් හරි මොනවා හරි” යැයි ජයලාල් මහතා අසන පැනයට සෙනුර පිළිතුර දෙන්නේ මෙසේය.
“එහෙම නම් දන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඔක්කොම දේවල්. මනුස්සයෙකුට හදවතක් ඕනෑ. මොළයකුත්, ලේත් ඕනෑ. ආත්මයකුත් ඕනෑ. ඒවා අපේ ඇඟට ඕනෑ.” සෙනුර පවසන්නේ එසේය. එතැන් පටන් සංවාදයේදී මතුවූ රසවත් අවස්ථා කිහිපයක් මෙසේය.
හරීන්ද්‍ර- ඔයා භාවනා කරාද?
සෙනුර- ඔව්.
හරීන්ද්‍ර- මොනවද ඔයා කෙරුව භාවනාව?
සෙනුර- ඒක නම් මට මතක නැහැ.
හරීන්ද්‍ර- කොහොමද භාවනා කළේ?
සෙනුර- හාමුදුරුවෝ කරනවා වගේ.
හරීන්ද්‍ර- කරලා පෙන්වන්න එහෙනම්?
සෙනුර- ඒක නම් මට මතක නැහැ හැබැයි.
අනතුරුව සෙනුර භාවනා කර පෙන්වන්නේ එරමිණිය ගොතා ගනිමින් තම දෑත් දෙක දණහිස් මත තබා ගනිමිනි. එහිදී ඔහු ඇඟිලි තබා ගන්නේද අමුතු ආකාරයටය.
හරීන්ද්‍ර- ඔයා ඔය විදියට භාවනා කරාද?
සෙනුර- ඔව්.
හරීන්ද්‍ර- කොහෙදිද ඔයා භාවනා කළේ?
සෙනුර- අපේ ඉරේදී.
හරීන්ද්‍ර- අපේ ඉර තියෙන්නේ උඩනේ?
සෙනුර- එතකොට මං උඩ හිටියේ.
හරීන්ද්‍ර- ඉර ගාව ඉන්න බැහැනේ ඉතිං.
සෙනුර- හැබැයි මගෙ කකුල් පිච්චුණේ නැහැ. මං ඉර උඩ පියාඹනවා.
දිගින් දිගට ඇදී යන සංවාදය අතරේදී එක් අවස්ථාවක සෙනුර පවසන්නේ තමන් පිච්චිලා මැරුණු බවත් ඉන් පසු මෙතැන නැවත ඉපදුණු බවත්ය.
හරීන්ද්‍ර- ඔයාට ඒවා මතකද?
සෙනුර- ඔව්.
හරීන්ද්‍ර- ඔයා කාන්තාර දන්නවාද? Desert?
සෙනුර- Yes. i know desert. එතැන ඉන්නේ උකුස්සෝ, ඔටුවෝ උන් විතරයි.
හරීන්ද්‍ර- ඔයා එතැන ඉඳලා තියෙනවද?
සෙනුර- මාව එතැනට ලෑන්ඞ් වුණා. එතැන ලෑන්ඞ් වුණා. මාව ක්‍රෑෂ් වුණා.
හරීන්ද්‍ර- මොනවා කරන්න ගිහිල්ලද?
සෙනුර- වෙන ප්ලැනට් එකක ඉඳලා ආවේ. මාව හරවන්න ගිහිල්ලා වැදිලා මාව වැටුණා. ඊට පස්සේ මාව ඉරේ පිච්චිලා මැරුණා. ඊට පස්සේ මම මෙහෙ ඉපදුණා.
හරීන්ද්‍ර- ඉරෙන් පිච්චිලා මැරෙන්නේ කොහොමද ඩෙසර්ට් එකේදි ක්‍රෑෂ් වුණා නම්?
සෙනුර- එතකොට මං ඉරෙන් මීටරයක් විතර ඈතනේ. රස්නේ නිසා ළඟට එන්න බැරි වුණානේ. ඊට පස්සේ මං එතැනට ගිහිල්ලා මගේ ඇසුයි, ඇඟයි, හදවතයි, මොළෙයි ඔක්කොම පිච්චුණා. එතකොට මගෙ ළඟ එච්චරක් විතර දැනුමක් තිබුණේ නැහැ. එතකොට මගෙ මොළේ නිකම් නෝර්මල් වගේ. දැන් මගේ මොළේ බලන්න නිකම් බිත්තරයක් වගේ.
හරීන්ද්‍ර- ක්‍රෑෂ් වෙනකොට ඔයා පොඩියිද, වයසයිද, තරුණයිද?
සෙනුර- තරුණයි.
හරීන්ද්‍ර- ඔයා හිටපු රටවල් මතක නැද්ද?
සෙනුර- ඒක නම් මට අමතක වුණා හැබැයි.

අනතුරුව එම සංවාදයට එක්වන තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන යේෂිත රොද්‍රිගු මහතා එම කුඩා දරුවා සමඟ සත්ව විද්‍යාව පිළිබඳව සංවාදයේ යෙදෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. එහිදී ඩයිනෝසරයන් සම්බන්ධව විද්‍යාත්මක කරුණු බොහොමයක් සෙනුර හෙළි කරන්නේ ඔහු සතු සෙල්ලම් බඩුද උපයෝගී කර ගනිමිනි. සැබවින්ම සෙනුර සතු සත්ව විද්‍යාත්මක දැනුම ඉතාම සුවිශේෂී එකකි.
අනතුරුව සංවාදයට එකතු වන කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ උපාධිධාරී අශෝක දිසානායක මහතා සමඟ සෙනුර සංවාදයේ යෙදෙන්නේ හින්දි භාෂාවෙනි. එහිදී සෙනුර ඉතා චතුර ලෙස හින්දි භාෂාව හසුරුවන්නේ විශ්මයජනක ආකාරයෙනි.
මේ සංවාදය අවසානයේ අදහස් දක්වමින් සෙනුරගේ පියා පවසන්නේ පාසල් යෑමට පෙර සිටම සෙනුර ඉතා චතුර ආකාරයෙන් හින්දි බස සහ ඉංග්‍රීසි බස කතා කළ බවය. මීට පෙර සෙනුරගේ පියා ඩුබායි රාජ්‍යයේ රැකියාව කර ඇති අතර ඔහු පවසන්නේ තමන්ටද හින්දි භාෂාව තරමක් හැසිරවිය හැකි බවය. කෙසේ නමුත් සෙනුරට ඒ ආභාෂය තමන්ගෙන් නොලැබුණු බවද ඔහුගේ අදහස වී ඇත.
සෙනුර ඉන්දීය ගගනගාමීවරියක වන කල්පනා චව්ලාගේ නැවත ඉපදීම යැයි බොහෝ දෙනකු උපකල්පනය කරන්නේ ඔහු සතු හින්දි දැනුම සහ ඔහු මියගිය ආකාරය පිළිබඳව සිදුකරන පැහැදිලි කිරීම මතය. 1962 වසරේදී ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේදී උපත ලද කල්පනා නාසා ආයතනය සමඟ සම්බන්ධ වී ඇත්තේ 1988 වසරේදීය. 1997 වසරේදී ීච්ජැ ීයමඑඑකැ ක්‍දකමපඉස් මෙහෙයුමට සම්බන්ධ වූ කල්පනා එහිදී අභ්‍යවකාශය ජයගත් ප්‍රථම ඉන්දීය කාන්තාව ලෙස ලෝකයේම ගෞරවයට පාත්‍ර විය. ඉන්පසු නැවත වරක් 2002 වසරේදී දියත් වූ එහි දෙවැනි අදියරටද ඇය සම්බන්ධ වූ නමුත් මෙහෙයුම අවසානයේ අභ්‍යවකාශයේ සිට නැවත පැමිණීමේදී ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ ගුවනේදී සිදුවූ අනතුරින් ඇය ජීවිතක්ෂයට පත් විය. ඒ 2003 වසරේ පෙබරවාරි පළමු වැනිදාය.
කෙසේ නමුත් කල්පනා චව්ලා නැවත ඉපදුණු බවට තොරතුරු පළ වූ පළමු අවස්ථාව මෙය නොවීමද විශේෂත්වයකි. මීට පෙර 2007 වසරේදී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී එවකට සිවු හැවිරිදි වියේ පසු වූ උප්සානා නැමැති දැරියකද තමන් කල්පනා චව්ලාගේ නැවත ඉපදීම යැයි ප්‍රකාශ කර ඇත. එම දැරිය ඉපදී ඇත්තේ කල්පනා චව්ලාගේ මරණයෙන් මාස දෙකකට පසුව වීම හේතුවෙන් එම සිදුවීම කෙරෙහිද එකල බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
පුනරුත්පත්තිය හෝ පුනර්භවය යනු තවමත් විද්‍යාත්මකව ඔප්පු කර නැති විශ්වාසයන්ය. එක් එක් ආගම් අනුවද පුනරුත්පත්තිය පැහැදිලි කරන ආකාරය එකිනෙකට වෙනස්ය. එබැවින් සෙනුර වීරසිංහ දරුවාගේ මෙම දක්ෂතාවයට හේතුව පෙර ආත්මයක බලපෑමක් නොවන බවට තර්ක කරන බොහෝ දෙනකුද ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ සෙනුර යනු නිරන්තරයෙන් අන්තර්ජාලය භාවිතා කරන දරුවකු වීම හේතුවෙන් ඒ හරහා මෙම දැනුම ඔහු ලබා ගන්නට ඇති බවය. කුඩා දරුවන්ට මෙවැනි ආකාරයේ ගැඹුරු කාරණා උගන්වන නාළිකා රාශියක් යූටියුබ් ජාලයේ ඇති අතර ඒ බොහොමයක් ඉන්දියානුවන් විසින් හසුරුවන ඒවා වීමද විශේෂත්වයකි. ඩයිනෝසරයන් සහ අභ්‍යවකාශය වැනි ගැඹුරු කරුණු කාරණා සිත් ගන්නා ආකාරයෙන් දරුවන් වෙත ගෙන ඒමට එම නාළිකා ක්‍රියාකරුවන් කටයුතු කර ඇත.
සෙනුරගේ හින්දි දැනුමට පියාගේ ආභාෂයද හේතු වන්නට ඇති බව පවසන පුනරුත්පත්තිය විශ්වාස නොකරන පිරිසගේඅදහස වී ඇත්තේ දරුවාගේ ඉංග්‍රීසි දැනුමද අන්තර්ජාලය හරහා දියුණු වන්නට ඇති බවය.
කොයි හැටි වෙතත් සෙනුර වීරසිංහ නැමැති මේ සුවිශේෂී කොලුගැටයා ඉතාම වටිනා වස්තුවක් වන බව පැවසිය යුතුමය. ඔහු සතු මේ අසාමාන්‍ය බුද්ධිය නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගතහොත් ඔහු අනාගතයේදී ලෝකය වෙනස් කරන පුද්ගලයකු වන බව නොඅනුමානය. මේ සුවිශේෂී හැකියාව පෙර ආත්මයකින් ගෙන ආ දෙයක් වුවත් නැතත් සෙනුර වීරසිංහ නැමැති දරුවාගේ අනාගතය හැඩ ගැස්සවීම වෙනුවෙන් එය බාධාවක් කර ගත යුතු නැත. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ වීමෙන් පසු සෙනුර සඳහා ශිෂ්‍යත්වයක් ලබා දීමට ජාත්‍යන්තර පාසලක් ඉදිරිපත් වී ඇති බවද දැන ගත හැකි විය. සැබවින්ම එය මේ දරුවාගේ සුවිශේෂී දක්ෂතාවය ඔප්නංවා ගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් වනු ඇත. සමාජයක් ලෙස දැන් අප කළ යුත්තේ තවදුරටත් අතීතය හාරා අවුස්සා සෙනුරව පීඩාවට ලක් කිරීම නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් හැකි උදව්වක් සිදු කිරීමය.
චන්දන පොන්නම්පෙරුම










