කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ටම සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ටද ආරාධනා කරමින් ඊයේ (10) රාත්‍රියේ කතානායක නිල නිවසේ පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහය විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතිබහුතරයක් විසින් වර්ජනය කරනු ලැබ ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සහ අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකු ඊට සහභාගී වී ඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ සිටින සියලු මන්ත්‍රීවරුන් ගණන 10කි.
ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේදීද සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අදහස් පළ කරමින් කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතින මෙම අවස්ථාවේ මෙවැනි රාත්‍රි භෝජන සංග්‍රහ නොපවත්වා එම මුදල්ද කොරෝනා මර්දනය කිරීම පිණිස යොදවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.










