1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
පෙත්සම්කාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම් මඟින් සඳහන් කර තිබුණේ, 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බවය.
එම අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු නවාස් මහතා පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බව සඳහන් කර ඇත.










