මේ වනවිට රට ඇතුළේ සිදුවන පරිසර විනාශයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ අදහස් පළ කළේය.
ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කිහිපයක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමටද විපක්ෂනායකවරයා කටයුතු කළේය.
එහිදී ප්‍රේමදාස මහතා දැක්වූ අදහස් මෙසේය.
වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශයේ අංක 05/2001 චක්‍රලේඛය මගින් “අවශේෂ කැලෑ” වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා, ආරක්ෂාව තහවුරු කර තිබූ වනාන්තර පද්ධතිවල කළමනාකාරීත්වය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට මේ වනවිට රජය විසින් කටයුතු කර තිබෙනවා.
මෙම අවශේෂ කැලෑ යටතට ජෛව විද්‍යාත්මකව ඉතා ඉහළ වටිනාකමක් සහිත අක්කර දහස් ගණනක් අයත්වන අතර විශාල වනාන්තරවල සිට කුඩා සංවේදී පරිසර කලාප ද මීට අයත් වනවා. ගංගා ඇළදොළ රක්ෂිත, ඇතැම් ජලපෝෂක ප්‍රදේශ, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් මෙම අවශේෂ වනාන්තර තුළ දක්නට ලැබෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හුදෙකලා වන-රක්ෂිතවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් වනාන්තර වැස්ම එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා තමයි, මෙම චක්‍රලේඛය නිකුත් කරල තියෙන්නෙ, මෙම චක්‍රලේඛය නිසා මෙරට සමස්ත වන ආවරණයෙන්, වැඩි කොටසක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. චක්‍රලේඛයට අනුව තෝරාගත් රජයේ කැලෑ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරී තිබෙන අතර විධිමත් පරිසර ඇගයීමේ වාර්තාවලින් තොරව ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ ඉඩම් ලබාගැනීම දුෂ්කර වෙලා තිබුණා.
එසේම මෙම පරිසර පද්ධති විනාශ කිරීම මගින් නොයෙකුත් සත්ව විශේෂවල ජානමය හුදකලා තත්වයන් ඇතිවීම සහ සම්පූර්ණයෙන්ම විනාශ වීමත් සිදුවෙන්න පුළුවන්. උරගයින් සහ පක්ෂීන්ගේ වාසස්ථාන විනාශ වීම මගින් නොයෙකුත් අසමතුලිතතා තව තවත් වර්ධනය වීම සිදුවෙන්න පුළුවන්. වඳුරන් සහ රිලවුන්ගේ වාසස්ථාන අහිමි වීම තුලින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපෑම් සිදුවීම වැළැක්වීමට නොහැකි වේවි.
ඒ වගේම, අලි මිනිස් ගැටුම උග්‍ර වීමටත් මෙම අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීම හේතු වෙන්න පුළුවන්. වන අලි ගහනයෙන් 60%ක ටත් වැඩියෙන් රක්ෂිත ප්‍රදේශ වලින් පිටත සිටින නිසා අලි මිනිස් ගැටුම විසඳිය නොහැකි තත්වයකට පත්වීම අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීම මගින් සිදුවෙන්න පුළුවන්.
මෙසේ අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීම මගින් තෙත් කලාපයේ වසන නොයෙකුත් ආවේනික උරග සහ පක්ෂි විශේෂ සදහටම නැතිවීමද ජල මූලාශ්‍ර සිදීයාම වගේම පානීය ජලයේ ගුණාත්මක භාවය අඩුවීමත් පස නිසරැ වීම ආදී නොයකුත් සංකූලතා ද ඇතිවිය හැකියි.
මෙයින් පෙනී යන්නේ නිසි අධ්‍යයනයකින් තොරව ක්‍රියාත්මක කරන ඉතා සුළු වෙනස්කමකින් වුවද යළි කිසිදා යථා තත්වයට පත්කළ නොහැකි ලෙස බරපතල පාරිසරික හානි අදාළ ප්‍රදේශවලට මෙන්ම සමස්ත රටටම බලපාන අයුරින් සිදුවීමට වඩාත් ඉඩ කඩ ඇති බවයි.
එබැවින් යෝජිත පරිදි මෙම අවශේෂ වනාන්තර පද්ධති වෙනත් කටයුතු වලට යොදා ගැනීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේනම් මෙම අවශේෂ වනාන්තර පද්ධති වෙන වෙනම තනි තනියෙන් නොසලකා, ප්‍රාදේශීය වශයෙන් සහ පළාත් වශයෙන් පුළුල් පද්ධති වශයෙන් සලකා විද්වත් අධ්‍යයනයකට යොමු කිරීම සහ ජෛවපද්ධති තක්සේරු කිරීමකට භාජනය කීරීමෙන් අනතුරුව ජෛවපද්ධති සේවාවන් හඳුනාගැනීමද, පාරිසරිකමය සහ ආර්ථිකමය ප්‍රතිලාභ සංසන්දනය කිරීමකට භාජනය කිරීමෙන් පසු විද්වතුන් සමග සහ පුළුල් මහජන සංවාදයකින් අනතුරුව ඉතා වගකිවයුතු ලෙස තීරණ ගතයුතුයි.
එසේ නොවුන හොත් අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීමේ අහිතකර ප්‍රතිවිපාක මේ රටේ අනාගත පරපුරට විඳීමට සිදුවීම වළක්වා ගැනීමට නොහැකිවනු ඇති.
මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.
1) වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශයේ අංක 05/2001 චක්‍රලේඛය මගින් අවශේෂ කැලෑ වශයෙන් ආරක්ෂා කර තිබූ වනාන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වය, ජෛව විවිධත්වය රැකගැනීමටත් සමාජ-ආර්ථික වශයෙනුත් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවත් රජය විසින් පිළිගනු ලබන්නේ ද? එසේ පිළිනොගන්නේ නම් ඒ සඳහා හේතු කවරේද?
2) පරිසර සංරක්ෂණ විෂයානුබද්ධ විද්වතුන් සහ මෙම සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළත්වන විශේෂ උපදේශක කමිටුවක් පත්කර මේ සඳහා නිර්දේශ ලබාගැනීමටත් ඒ පිළිබඳ මෙම ගරු සභාව දැනුවත් කිරීමටත් රජය විසින් කටයුතු කරන්නේද ? නොඑසේනම් එසේ නොකිරීමට හේතු කවරේද?
3) වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ අංක : MWFC/1/2020 දරණ 2020/11/04 දිනැති චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම, ඉහත සඳහන් විශේෂ උපදේශක කමිටුවේ නිර්දේශය ලැබෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු යොදන්නේද? නොඑසේනම් එසේ නොකිරීමට හේතු කවරේද?
සජිත් ප්‍රේමදාස (පා.ම.)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක










