කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද නව කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය පවසයි.
හලාවත ප්‍රදේශයේ පදිංචි මෙම 50 හැවිරිදි සේවිකාව මෙම රෝගී තත්වයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග ඇය මීගමුව මහ රෝහල වෙත ඊයේ (06) දින සවස ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර තිබේ.
එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇයට මෙම කොරෝනා රෝගී තත්වය වැළදී ඇති බවට සනාථවුවද අද (07) දින උදෑසන ද යළිත් ඇය මීගමුව රෝහලේ දී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ. එම පරීක්ෂණයෙන් ද ඇයට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ වනවිට මෙම සේවිකාව මීගමුව මහ රෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත මාරු කර යවා තිබේ. මේ අතර කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවකයින්ගේත් පී.සී.ආර්.පරීක්ෂණ සදහා සෙම පටල ලබා ගැනීම සිදු කිරීම අරඹා ඇත.
එසේම මෙම සේවිකාවගේ පවුලේ සාමාජිකයන් ද පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කරන ලෙස සහ ඊට අදාළ පියවර ගන්නා ලෙස හලාවත ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද දැනුවත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.










